සහෝදරවරුන් සමග යන හිසින් කොටස් වශයෙන් මෙහි පලවනුයේ ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් Walking with the comrades යන නමින් 2010 මාර්තු මස ඉන්දීය Outlook සගරාවට ලියන ලද දීර්ඝ ලිපියේ අනුවර්තනයකි.මේ වන විට ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් තිබෙන මාඕවාදී ගරිල්ලා ව්‍යාපාරය විසින් පාලනය කරන ප්‍රදේශ වෙත ඇය කල පෞද්ගලික සංචාරයකදී ලත් අත්දැකීම් මෙම ලිපියට ප්‍රස්තුත වේ.
මාඕවාදී සන්නද්ධ ව්‍යාපාරය ඉන්දීය දේශපාලන සිතියම තුල මේ වන විට නොසලකා හල නොහෙන බලයක් අත්පත් කර ගෙන තිබේ.මෑතකදී එය වනාහි ඉන්දීය ජාතික ආරක්ෂාවට ඇති ගැඹුරුතම අභ්‍යන්තර තර්ජනය ලෙස ඉන්දීය රජය විසින් ප්‍රකාශ කරන්නට යෙදුනි.ඉන්දීය ජන ජීවිතයේ එක්තරා අදුරු කලාපයක් පිලිබද විනිවිද යන සුලු විස්තරයක් ඉදිරිපත් කිරීමට මෙහිලා රෝයි උත්සාහ ගෙන තිබේ.
අරුන්දතී රෝයි සම්මානනීය ඉන්දීය ලේඛිකාවකි.සමාජ ක්‍රියාකාරිනියකි.එක්සත් ජනපදය විසින් ඉරාකයේ සිදුකරනු ලබන සංහාරය වැනි ගෝලීය බල දේශපාලනික කරුනු කෙරෙහි විවේචනාත්මක ආස්ථානයක් දරන ඇය ඉන්දීය රාජ්‍යයේ අධිපති මතවාදයට විකල්ප අදහස් වෙනුවෙන් පෙනි සිටීම මත සමාජ සංවාද කවයන් තුල ආන්දෝලනාත්මක අදහස් දක්වන්නියක ලෙස ප්‍රචලිතව සිටී.
***
පලමු කොටස
ඉන්දීය ජාතික ආරක්ෂාවට ගැඹුරුතම අභ්‍යන්තර තර්ජනය එල්ල කරන සතුරාව මුහුනට මුහුන මුන ගැසීමට මා තුල වූ දිගුකාලින ආශාව සදහා අනුමැතිය පල කරමින් ලියුම් කැබැල්ලක් යතුරු ලියනය කරනු ලැබ,සීල් තැබූ කවරයක බහා කාමරයේ දොර යටින් රිංගවා තිබුනි.
ඔවුන්ගේ මෙම පිලිතුර මට ලැබෙන්නේ මාස ගනනාවක බලාසිටීම අවසානයේ නිමාවට පත්කරමිනි.දොර යටින් රිංගවූ චිට් කැබැල්ලට අනුව මා හට චත්තිස්ගාර් ප්‍රාන්තයේ දාන්තේවාද හි දාන්තෙශ්වරි මන්දිරයේ රැදී සිටීමට සිදුවනු ඇත.දෙන ලද දින දෙකක් ඇතුලත දෙන ලද වේලාවන් හතරක් තුලදී ඕනෑම එක් වේලාවක ඔවුන් මුනගැසීම සදහා මා හට අවසරය ලැබී තිබිනි.එවැනි තෝරා ගැනීමේ අවස්ථා කිහිපයක් දී තිබෙන්නේ නරක දේශගුනය,අනපේක්ෂිත විරාමයන්,ආරක්ෂක මුරකපොලු වල බාධා,ප්‍රවාහන සේවා වර්ජන සහ අවසන් වශයෙන් හුදු අවාසනාවන්ත අහඹු ප්‍රමාදයන් වැනි මතුවිය හැකි අවදානම් සලකා බලාය.අමුත්තා විසින් රැගෙන ආ යුතු දේ කොල කැබැල්ලේ සටහන් ව තිබුනි.කැමරා ආම්පන්න,පොල් ගෙඩියක් සහ පොට්ටුවක් හදුනාගැනීමේ සලකුනු ලෙස මා විසින් ගෙන ආ යුතුව තිබේ.මුන ගැසෙන පුද්ගලයා තොප්පියක් පැලද සිටිනු ඇත.ඔහු අත Outlook හින්දි සගරාව සහ කෙසෙල් ඇවරියක් පවතිනු ඇත.
රහස් පදය - නමස්කාර් ගුරු ජී යන්නයි.
"නමස්කාර් ගුරු ජී".මුනගැසෙන්නා හා සුබපතන්නා පිරිමියෙක් අපේක්ෂා කරනවා වැන්න.මා උඩු රැවුලක් පැලදිය යුතුව තිබේද යන හාස්‍යජනක සිතුවිල්ල මා තුල ඇතිවිය.
මා යා යුතුව තිබෙන්නේ දාන්තේවාද නගරයටයි.දාන්තේවාද - එය විවිධ ආකාර වලින් පැහැදිලි කල හැක.එය වූ කලී විකාරරූපි ප්‍රලාපයකි.මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්ත මායිමක සිරවුනු නගරයක් වන මෙය සංග්‍රාමීය භූමිකම්පාවක අපි කේන්ද්‍රයයි.එය උඩ සිට පහලට හැරවුනු නගරයකි.ඇතුලත සිට පිටතට දිග හැරුනු නගරයකි.
දාන්තේවාදහි පොලිසිය සාමාන්‍ය ඇදුම් අදිද්දී කැරලිකරුවෝ නිල ඇදුම් පලදිති.බන්ධනාගාර නිලධාරීහු සිරගෙවල් තුල පසුවෙද්දී සිරකරුවෝ නිදහසේ දවසරිති.
(වසර දෙකකට පෙර තුන්සියයක් සිරකරුවන් එකවර පැරනි නාගරික බන්ධනාගාරයෙන් පැනගොස් තිබුනි)
දූෂනයට ලක්වූ ස්ත්‍රීහු පොලිස් අත්අඩංගුවේ පසුවෙති.දූෂකයෝ කඩමන්ඩියේ කතා පවත්වති.
ඉන්ද්‍රාවතී ගංගාවෙන් ඔබ්බෙහි ප්‍රදේශය පොලිසිය විසින් "පකිස්ථානය" ලෙස හදුන්වනු ලැබේ.මෙය මාඕවාදින්ගේ අනසක සහිත ප්‍රදේශයයි.එම ප්‍රදේශ වල ගම්මාන හිස්ය.නමුත් වනාන්තර මිනිසුන්ගෙන් පිරී පවතී.පාසල් යා යුතු වයස්වල ලමයි කැලෑවේ සරති.අලංකාර වනාන්තරබද ගම්මාන වල කොන්ක්‍රීට් පාසල් ගොඩනැගිලි පුපුරුවනු ලැබ ඇත නැතිනම් පොලිස් නිලධාරීන්ගෙන් පුරවා ඇත.වනාන්තර තුල දිග හැරෙන මාරාන්තික සංග්‍රාමය වනාහි ඉන්දීය ආන්ඩුව ආඩම්බර වන,ඒ අතරම කතා කිරීමට මැලිවෙන්නා වූද සංග්‍රාමයකි.මාඕවාදීන්ට එරෙහි ග්‍රීන් හන්ට් මෙහෙයුම (operation green hunt)ප්‍රකාශයට පත්කොට තිබෙන අතරේම ඒ පිලිබද වාර්තා ප්‍රතික්ෂේප කිරීමද සිදුවේ.ඉන්දියානු අභ්‍යන්තර කටයුතු ඇමති පී.සිදම්බරම් ( හෙතෙම සංග්‍රාමයේ ප්‍රධාන විධායකයාද වන්නේය ) ට අනුව එවැනි මෙහෙයුමක් නොපවතී.එම වදන හුදු මාධ්‍ය ප්‍රබන්ධයක් පමනි.නමුත් විශාල වශයෙන් අරමුදල් දෛනිකව හමුදා මෙහෙයුම් වෙනුවෙන් යෙදවෙමින් පවතින අතර දහස් ගනන් හමුදා ඛන්ඩ ඒ වෙනුවෙන් බලමුලු ගැන්වෙමින් පවතී.යුද්ධයේ වේදිකාව මධ්‍යම ඉන්දියාවේ ඝන කැලෑ තුල පැවතියද එය අප සියලු දෙනා මත බරපතල ප්‍රතිවිපාක පතිත කරනු ඇත.
රතු සෙවනැල්ල - බස්තාර්හි ආදිවාසී නැගිටීම සමරන ගරිල්ලාවරු පිරිසක්
අවතාරයක් යනු යමෙකුගේ හෝ යම්කිසිවක මිය ගිය ආත්මය නම්,මංතීරු හතරක් සහිතව වනාන්තරය කපාගෙන ඉදිරියට ඇදෙන නව අධිවේගී මාර්ගය කැලෑ තුල සරන අවතාරයන්ට මුහුන ලා ඉදිවූවකි.
එය ඇතැම්විට ඉදිරියට සිදුවීමට නියමිත බිහිසුනු දේවල් පිලිබද පනිවුඩය ගෙන එන්නා වූ සංඥාකරුවෙකු වැන්න.
කැලෑ තුල සැගව ඇති ප්‍රතිරෝධයන් සෑම අතින්ම අසමානය.සෑම අතින්ම විසදෘශ්‍යය.
ඝන කැලෑ තුල එක් අතෙකින් මුදල්,ගිනි අවි,මාධ්‍ය සහ නැගීඑන සුපිරි බලසම්පන්න රාජ්‍යයක ආධාරය ලබන අතුරු සන්නද්ධ හමුදා සමූහයකි.අනෙත් අතින් සාම්ප්‍රදායික ආයුද වලින් සන්නද්ධ සාමාන්‍ය ගම්මුන් ගෙන් සැදුම් ලත් මාඕවාදී ගරිල්ලා කන්ඩායම්ය.අසාමාන්‍ය වූද ප්‍රචන්ඩ වූද කැරලිකාරී අතීතයක සහ විශිෂ්ට ලෙස ගොඩනගන ලද සංවිධානයක පිටුබලය මෙම කැරලිකරුවන් වෙත ලැබී තිබේ.අතුරු සන්නද්ධ හමුදා සහ මාඕවාදීහු ඉපැරනි සතුරෝ වෙති.මීට පෙර අවස්ථා ගනනාවක ඔවුහු යුද වැදුනාහ.50 දශකයේදී තෙලෙන්ගානා හී දී,60 දශකය අග භාගයේ හා 70 දශකයේ බටහිර බෙංගාලයේ,බිහාරයේ,අන්ද්‍රා ප්‍රදේශයේ සහ නැවත 80 දශකයේදී අන්ද්‍රා ප්‍රදේශය,බිහාරය හා මහාරාෂ්ට්‍රයේ ඔවුහු එකිනෙකා හා ගැටුනාහ.මෙම අරගලය වර්තමානය දක්වා දිග්ගැස්සෙමින් පවතී.මොවුන් එකිනෙකාගේ යුද උපක්‍රම ගැන අවබෝධයෙන් පසුවේ.එකිනෙකාව ඔවුහු නිරන්තරයෙන් සියුම්ව අධ්‍යයනය කොට තිබේ.සෑම අවස්ථාවකදීම පෙනෙන්නට තිබුනු දෙය වූයේ මාඕවාදීන් ( නැතිනම් ඔවුන්ගේ පූර්වගාමී අවතාර ) පරාජය කලා පමනක් නොව සමූලඝාතනය ද කරන ලදුව සහමුලින් වැනසූ බවයි.නමුත් ඒ සෑම අවස්ථාවකදිම පෙරටත් වඩා සංවිධානාත්මකව,පෙරටත් වඩා අධිෂ්ඨානශීලීව හා පෙරටත් වඩා බලපෑම්සහගතව ඔවුහු නැවත නැගිට තිබේ.අද නැවත වතාවක් මාඕවාදින්ගේ කැරැල්ල ඛනිජ සම්පත්වලින් පොහොසත් චත්තිස්ගාර්,ජාර්කන්ද්,ඔරිස්සා හා බටහිර බෙංගාලයේ වනාන්තර ඔස්සේ පැතිර යමින් පවතී.මෙම ප්‍රදේශ සමූහය වූ කලී මිලියන සංඛ්‍යාත ඉන්දීය ගෝත්‍රික ජනයාගේ නිජභූමියයි.ලෝක සමාගම් ජාලයේ ස්වප්නමය බලාපොරොත්තුවයි.
වනාන්තර තුල ඇවිලෙමින් ඇති යුද්ධය හුදෙක් මැතිවරන යනු ව්‍යාජයක් ලෙස හෙලාදකින,පාර්ලිමේන්තුව හිස් ගුහාවක් ලෙස බැහැර කරන,ඉන්දීය රාජ්‍යය බලහත්කාරයෙන් පෙරලා දැමීමට දිවුරුම් දී සිටින මාඕවාදීන් හා ඉන්දීය ආන්ඩුව අතර ද්වන්ද්ව සටනකි යන සරල ලිබරල් අදහස ඇතිකරගැනීම පහසුය.මධ්‍යම ඉන්දියාවේ ගෝත්‍රික ජනයා හට මා ඕ සේතුං වද පසුකර යන සටන් කිරීමේ විශාල ඉතිහාසයක් තිබෙන බව අමතක කිරීම ඊටත් වඩා පහසුය. (එය පැහැදිලි යථාර්තයකි.ඔවුන් සටන් නොවැදුනා නම් ඔවුන් වද වී යනු ඇත)හෝවරු,ඕරාන්වරු,කෝල්වරු,සන්තාල්වරු ,මුන්දාස්වරු හා ගොන්ද්වරු වැනි ගෝත්‍රික ප්‍රජාවන් කිහිප වරක්ම ඉතිහාසයේ කැරලි ගසා ඇත.වරෙක බ්‍රිතාන්‍යයන්ට එරෙහිවද ,වරෙක සමින්දාර්වරු හා පොලිකරුවන්ට එරෙහිවද ඔවුන් කැරලි ගසා තිබේ.මෙම කැරලි නිර්දය ලෙස මර්ධනය කෙරිනි.දහස් ගනන් මරා දැමිනි.නමුත් ජනතාව කිසිවිටෙක යටත් වීමට ලක්නොවීය.නිදහසින් පසු ද මාඕවාදී ලෙස හැදින්විය හැකි පලමු නැගිටීම බටහිර බෙංගාලයේ නක්සල්බාරි ගම්මානයේ හටගත්‍තේය.මෙම අරගලය මධ්‍යයේ ගෝත්‍රික ප්‍රජාවෝ සිටියහ.මාඕවාදීන් හැදින්වීමට අද දවසේ පුලුල්ව යෙදෙන නැක්සලයිට් යන වහර උත්පාදනය වූයේ නක්සල්බාරි ගම්මානයේ සටන ඇසුරෙනි.එම සටන ඇති වූ දා පටන් නක්සලයිට්වරුන්ගේ දේශපාලනය දැඩි ලෙස ගෝත්‍රික නැගීසිටීම් සමග සම්බන්ධ වි තිබේ.මෙම අරගල නක්සලයිට්වරුන්ගේ අතීතය පිලිබද සේම ගෝත්‍රිකයන්ගේ අතීතය පිලිබදද කතා පුවත වන තරමට මෙම සම්බන්ධය ඉතා කිට්ටු එකකි.
බෝධිගාත් වේල්ලට එරෙහිව උද්ඝෝෂනය කරන කුදුර් ගම්වාසීන් - "එය ධනපතීන්ට අයිති නැත.බස්තාර් හි අයිතිය අපටය"
කැරැල්ලේ උරුමය භාර ගෙන තිබෙනුයේ කාලාන්තරයක් පුරා ඉන්දිය ආන්ඩුවේ කොන්කිරීම හා නොසලකා හැරීම් නිසා වියරු වැටුනු ප්‍රජාවක් විසිනි.ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මය වන ඉන්දීය ව්‍යවස්ථාව 1950 දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.එය ගෝත්‍රික ජනයාට අවාසනාවන්ත දවසක් වූයේය.ව්‍යවස්ථාව යටත්විජිතවාදී ප්‍රතිපත්තිය යාවත්කාලින කරමින් ගෝත්‍රික නිජබිම් රාජ්‍ය ආධිපත්‍යය තුල රදවා ගන්නා ලදී.එක් රැයෙන් සමස්ත ගෝත්‍රික ජනගහනය ඔවුන්ගේම නිජබිම් තුල අනීතික පදිංචිකරුවන් පිරිසකගේ තත්වයට පත්කෙරුනි.ව්‍යවස්ථාව ගෝත්‍රිකයන් හට වනාන්තර නිමැවුම් කෙරෙහි පැවති සාම්ප්‍රදායික අයිතිය පිලිගැනීම ප්‍රතික්ෂේප කලේය.එනයින් ඔවුන්ගේ මුලු මහත් ජීවන රටාවම අපරාධයක් ලෙස හංවඩු ගසන ලදී."ඡන්දය දීමේ අයිතියට" හිලවු වශයෙන් ව්‍යවස්ථාව ගෝත්‍රික ජනතාවගේ ජිවන රටාවේ අයිතිය මෙන්ම ඔවුන්ගේ ගෞරවයද උදුරා ගනු ලැබීය.
ඉඩම් වල භුක්තිය අහිමි වීම මත දරිද්‍රතාවයේ ගැඹුරු දගරය තුල ගිලී ගිය මෙම ජනයාට එරෙහිව ඉන්දීය රජය පෙරලා නිරනුකම්පික ලෙස භාවිත කලේ ඔවුන්ගේම දරිද්‍රතාවයයි.මහා පරිමාන වේලි බැදීම්,වාරිමාර්ග ව්‍යාපෘති,ඛනිජ නිධි සෑරීමේ ව්‍යාපෘති වෙනුවෙන් රජය සෑම අවස්ථාවකම විශාල ජනපිරිසක් අනාථයන් බවට පත්කරන ලදී.මෙම මෙගා ව්‍යාපෘති "ගෝත්‍රිකයන් ප්‍රධාන ජනජීවිතයට ගෙන ඒම" හා "නූතන සංවර්ධනයේ ඵල ගෝත්‍රිකයන් වෙත කැදවීම" වැනි සාඩම්බර ආටෝපයන්ගෙන් සරසා තිබුනි.ඉන්දීය "ප්‍රගතිය" විසින් අවතැන් කල මිලියන සංඛ්‍යාත අභ්‍යන්තර අනාථයන්ගේ අති මහත් බහුතරය ගෝත්‍රිකයෝ වූහ.මිලියන 30 කගේ පමන උන්හිටි තැන් විශාල වේලි බැදීමේ ව්‍යාපෘති නිසා පමනක් අහිමිව තිබුනි.මෙවැනි සන්දර්භයක් තුල රජය ගෝත්‍රික සුබසාධනය ගැන කතා කිරීම - එය සිතා බැලිය යුතු කරුනකි.
වඩාත්ම මෑත ප්‍රකාශනය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය පී.සිදම්බරම් වෙතින් නිකුත් විය.ගෝත්‍රික ජනතාව "කෞතුකාගාර සංස්කෘතීන්" තුල ජීවත්වනු දැකීම තමන්ට අවශ්‍ය නොවන බව හෙතෙම පවසයි.සමාගම් නීතිඥවරයෙක් ලෙස පතල් සමාගම් කිහිපයක උවමනා වෙනුවෙන් සිය වෘත්තිය ජීවිතය පුරා පෙනී සිට ඇති මෙම අමාත්‍යවරයාගේ ඉතිහාසය තුල ගෝත්‍රික සුභසාධනය යනු කෙසේ වුවද ඔහුට එතරම් වැදගත් "මාතෘකාවක්" ව තිබූ බවට කිසිදු සාධකයක් නැත.මේ නිසා ගෝත්‍රික "සුබසාධනය" කෙරෙහි ඔහුගේ මෙම හදිසි අවධානයේ පදනම විමසිල්ලට ලක්විය යුතු එකකි.
බූම්කාල් අරගලය අනුස්මරනය කිරීම - ඉන්දියාවේ ගැඹුරුතම අභ්‍යන්තර ආරක්ෂක සතුරා සමග මුහුනට මුහුනලා
පසුගිය වසර පහක පමන කාලය තුල චත්තිස්ගාර්,ජාර්ක්ලන්ද,ඔරිස්සා හා බටහිර බෙංගාල ආන්ඩු සිය ගනන් අවබෝධතා ගිවිසුම් වලට සමාගම් තන්ත්‍රයන් සමග එලඹුනහ.ඩොලර් බිලියන ගනන් වටිනා මෙකී ගිවිසුම් සියල්ල පාහේ රහසිගතය.වානේ කර්මාන්තශාලා,යකඩ කම්හල්,බලශක්ති ආකර,අලුමිනියම් නිෂ්පාදනාගාර,වේලි හා පතල් ඉදිකිරීම් මෙම ගිවිසුම් වලට වස්තු විෂය ව තිබෙන අතර අවබෝධතා ගිවිසුම් සැබෑ "මුදල්" බවට පත්කිරීමට නම් ගෝත්‍රික ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කල යුතුව තිබේ.මෙම සංග්‍රාමය ඒ නිසාය.
තමුන් ප්‍රජාතන්ත්‍රවාදී බව තමුන් විසින්ම ප්‍රකාශයට පත්කරගන්නා ලද රාජ්‍යයක් සිය දේශසීමා තුලම යුද්ධයක් විවෘතව ප්‍රකාශයට පත්කල විටෙක එම සංග්‍රාමය කවර ස්වරූපයක් ගනු ලබයිද?විරෝධය පෑම සදහා අවස්ථාවක් ලැබෙනු ඇද්ද?එය එසේ විය යුතුද?මාඕවාදීන් යනු කවුරුද?ඔවුන් හුදෙක් යල් පැන ගිය දෘෂ්ටිවාදයක් බලහත්කාරයෙන් ගෝත්‍රික ජනයා මත පටවමින් එම ජනතාව නිෂ්ඵල කැරැල්ලක් වෙත තල්ලු කරන ප්‍රචන්ඩ කැරලිකරුවන් පිරිසක් පමනක්ද?ඔවුන්ගේ පැරනි අත්දැකීම් වලින් ඔවුන් ඉගෙන ගෙන තිබෙනුයේ මොනවාද?සන්නද්ධ කැරලි අවශ්‍යයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීද?"සාමාන්‍ය" ගෝත්‍රිකයන් ආන්ඩුව හා මාඕවාදීන් අතර ගැටුමේදී තැලී චප්ප වීම පිලිබද සැන්ඩ්විච් න්‍යාය මුලුමනින්ම ඇත්තක්ද?"මාඕවාදීන්" හා "ගෝත්‍රිකයන්" යනු සැබැවින්ම මුලුමනින් එකිනෙකින් හුදෙකලා ආගන්තුක කොට්ටාශ දෙකක්ද?ඔවුන්ගේ අපේක්ෂා අතර සබදතාවයක් ඇත්තේම නැද්ද?ඔවුන් එකිනෙකාගෙන් කිසිවක් ඉගෙන ගෙන තිබේද?
ඔවුන් එකිනෙකාව වෙනස් කොට තිබේද?
No comments:
Post a Comment