Saturday, September 25, 2010

සහෝදරවරුන් සමග / Walking with the comrades - අවසන් කොටස


බුම්කාල් දිනයේ අලංකාර වස්ත්‍රාභරනයෙන්
 සැරසුනු ආදිවාසි තරුනයන් දෙදෙනෙක්
ලෝක කදම්බයක් වටා ඒකරාශී වූ මෙරු සමූහයක් සේ එම රාත්‍රියේ එම දසුන මට දිස්විය.ආලෝකය නැගෙන්නේ සුඛ්දේව් සහෝදරයාගේ පරිගනකයෙනි.සියල්ලෝ වට වී මදර් ඉන්ඩියා චිත්‍රපටය බලති.පරිගනකය සූර්ය කෝෂයකින් පන ගන්වා තිබේ.චිත්‍රපට ලෝලීන්ගේ තුවක්කු කටවල් අහස වෙත හැරී තිබුනි.කම්ලා තුල උනන්දුවක් නැතිවා සේය.චිත්‍රපට කෙරෙහි උනන්දුවක් නැද්දැයි මම ඇගෙන් අසමි."නැහැ අක්කා.මම බලන්නෙ පහර දීමේ ජවනිකා තිබෙන විඩියෝ විතරයි" ඇය කීවාය.මෙම පහර දිමේ ජවනිකා සහිත වීඩියෝ පට ගැන මම පසුව සුඛ්දේව්ගෙන් ඇසුවෙමි.ඇසිපිය හෙලන‍ මොහොතින් ඔහු මට එවැන්නක් ධාවනය කොට පෙන්වීය.

දන්ඩකාරන්‍යයේ සුන්දර දර්ශන සහිතව වීඩියෝව ආරම්භ වේ.ගංගා දිය ඇලි ගස් වල අතු වල සමීප රූප කුරුල්ලන්ගේ දර්ශන - මේ සියල්ල අතර එක්වරම IED උපාංගයක වයර් සවිකොට එය පොලොව යට වලලා කොල වලින් වසා දමන සහෝදරයෙකුගේ රූපයකි.මොහොතකින් මෝටර් සයිකල් සමූහයක් ඊට හසුව පුපුරා යනු දිස්වේ.ගිනිගත් යතුරු පැදි සහ මල සිරුරු සමූහයකි.ආයුද පැහැර ගැනේ.කම්පනයට පත්ව,සිහි එලවා ගත නොහැකිව සිටින පොලිස් නිලධාරීන් තිදෙනෙකු ගස්වලට බැද දැමේ.

මේවා රූපගත කරන්නේ කවුද?මෙම පහරදීම් සදහා අන දෙන්නේ කවුද?යටත් වුවහොත් නිදහස් වීමට ඉඩ දෙන බවට අල්ලා ගනු ලැබූ භටයන්ට විධාන ස්වරයෙන් පවසනුයේ කවුද?

මම එම සන්සුන් ගැඹුරු හඩ හදුනාගතිමි.ඒ ‍වෙනු සහෝදරයාය.

ගිනි තැබුනු ගම්මාන,ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ,මිය ගිය අයගේ ඥාතින්ගේ ප්‍රකාශ ඇතුලත් වීඩියෝ පට ගබඩාවක් සුඛ්දේව් සතුය.ගිනිතැබුන නිවෙසක ඉතිරිව තිබූ බිත්තියේ " නාගා - මිනීමැරීමට උපන්නෝ" යනුවෙන් ලියා තිබේ.එක් වීඩියෝවක බස්තාර් ප්‍රදේශයේ ග්‍රින් හන්ට් මෙහෙයුම ආරම්භ වූ වකවානුවේ ඇගිලි සියල්ල පෙති ගසා කපනු ලැබූ පිරිමි දරුවෙකුගේ තැති ගන්වන සුලු දර්ශනයක් විය.
( වෙනෙකක් තබා මා සහභාගී වූ රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක්ද මෙම වීඩියෝ එකතුවේ තිබුනි.මගේ අධ්‍යයනයන්.මගේ කෘති.තරමක් ගුප්ත සහගතය )

අවතැන් වීමේ අවදානමින් ශාප ලද්දෝ :යෝජිත බෝධිඝාත්
වේල්ල නිසා උන් හිටි තැන් අහිමි වීමට නියමිත ගැමියන් පිරිසක්
රාත්‍රියේ ගුවන්විදුලියේ තවත් නැක්සල් ප්‍රහාරයක් පිලිබද ප්‍රවෘත්තියක් ප්‍රචාරය වේ.මෙවර බිහාරයේය.මාඕවාදීන් 125 ක් පමන ගම්මානයකට කඩා වැදී කෝරා ගෝත්‍රයට අයත් 10 දෙනෙකු ඔත්තුකරුවන් වීම මත මරා දමා ඇති බව ඉන් ප්‍රකාශ වූයේය.එය මරා දැමූ මාඕවාදින් සයදෙනෙකු වෙනුවෙන් පලිය ගැනිමකි.මෙම මාධ්‍ය වාර්තාව අසත්‍ය විය හැක.සමහර විට සත්‍යයක් ද විය හැක.එය සත්‍යයක් නම් මෙය සමාව දිය නොහැක්කකි.රාජු සහ සුඛ්දේව් තුල තරමක අපහසුතාවයක් ඇතිව තිබේ.


ජාර්කන්ද් සහ බිහාර් ප්‍රදේශවලින් පැමිනෙන පුවත් කරදරකාරීය.ෆ්‍රැන්සිස් ඉන්දුවාර් නම් පොලිස් නිලධාරියාගේ හිස ගසා මරා දැමීම පිලිබද පුවත තවමත් අමතක ව නොගිය එකකි.එය සන්නද්ධ අරගලයක විනය සහ ශික්ෂනය කෙතරම් ක්ෂනිකව අපරාධකාරී සාහසිකත්වයෙන් යුක්ත ලුම්පන් පහරදීම් දක්වා පිරීහීමට ඉඩ තිබේද යන්න පෙන්වා දෙන සිදුවීමකි.අයුක්තිය ආයතනගත කිරීම හරහා ඉන්දීය රාජ්‍යය මේ රට අසහනයන් හා ආතතීන්ගෙන් යුක්ත පෙට්ටියක් බවට පත්කොට තිබේ."ඉලක්කගත පුද්ගලයන් ඝාතනය කිරීම" හරහා මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයෙහි හිස සුන් කොට එහි ප්‍රචන්ඩත්වය නතර කිරීමට රජය සිතන්නේ නම් එය මුලාවකි.ඊට පටහැනිව ප්‍රචන්ඩත්වය අලුත් වටයකින් කරලියට එනු ඇත.ආන්ඩුවට සාකච්ඡා කිරීමට කිසිවෙක් ඉතිරි නොවනු ඇත.


මා ගත කල අවසන් දවස් කිහිපයේදී අපි ඉන්ද්‍රාවති ගංගාවේ රමනීය ඉවුර ඔස්සේ ඇවිද ගියෙමු.අප කදුකර ප්‍රදේශයක් ඔස්සේ යමින් සිටියදී තවත් පිරිසක් ගගෙන් එහා පස ඉවුර දිගේ ප්‍රතිවිරුද්ධ දිශාවට ඇවිද යමින් සිටියේය.ඔවුන් කුදුර් ගම්මානයේ පැවැත්වෙන වේලි විරෝධී රැස්වීමකට සහභාගි වීමට යමින් සිටින බව මට දැනගන්නට ලැබුනි.ඔවුන් මුලුමනින් නිරායුධය.ඉවුර රැකගනු වස් පැවැත්වෙන ප්‍රාදේශීය රැලියක්.මමද ඔවුන් හා එක්වීමි.

බෝද්ඝාත් වේල්ල අපි දවස් ගානක් ඇවිදිමින් සිටි මුලු ප්‍රදේශයම ආවරනය කොට ඉදිකිරීමට නියමිතය.එය එම මුලු ප්‍රදේශය බොදකර දමනු ඇත.එම මුලු ප්‍රදේශයම,එම මුලු වනාන්තරයම,එම මුලු ඉතිහාසයම,ගම්මාන සියයකටත් අධික ප්‍රමානයක් සමග සියල්ලම බොදකර දමනු ඇත.ලෝහන්දිගුදා හි වානේ ආකරය සහ කේශ්කාල් හි බෝක්සයිට් හා ඇලුමිනියම් කර්මාන්තශාලා ආකර වලට ගංගාව ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි මිනිසුන්ව මීයන් මෙන් ගිල්වා දැමීම -එසේ නම් සැලැස්ම වූ කලී එයද?

රැස්වීමේදී සැතපුම් ගනන් ගෙවා එහි පැමින සිටි ජනයා අප වසර ගනනක් තිස්සේ නැවත නැවත අසා ඇති දේ උද්යෝගයෙන් කියති.අපව ගිල්වා දැමුවත් අප ඉවත් නොවන‍්නෙමු!දිල්ලියේ සිට පැමිනි අයෙක් තමා සමග සිටීම නිසා ඔවුහු සතුටට පත්ව සිටියාහ.දිල්ලිය ඔවුන් පිලිබද සැලකීමක්වත් දැනීමක්වත් නැති කෲර නගරයක් මිස වෙනකක් නොවන බව මම ඔවුන්ට පැවසූයෙමි.

දන්ඩකාරන්‍යයට පැමිනීමට සති කිහිපයකට පෙර මම ගුජරාටයේ සංචාරය කලෙමි.සර්දාර් සරෝවර් වේල්ල අඩු වැඩි වශයෙන් එහි උපරිම ලක්ෂ්‍යයට මේ වන විට පැමින තිබේ.නර්මදා වේල්ලට එරෙහි ව්‍යාපාරය විසින් සිදුවනු ඇතැයි අනතුරු හැගවූ සියල්ල එලෙසින්ම සිදුව ඇත.අවතැන් වූ අය නැවත පදිංචිකොට නැත.එය සම්පූර්නයෙන්ම අමතක කොට දමා තිබේ.උමං මාර්ග සාදා නැත.ඒ සදහා මුදල් නැත්තේලු.මේ නිසා නර්මදා ගංගාවේ ජලය සබර්මතී හි හිස් ඉවුරු වෙත හරවා තිබේ.සබර්මතී හි වේල්ලක් ඉදිව තිබුනේ බොහෝ කාලෙකට ඉහතදීය.විශාල නගර සහ කර්මාන්ත විසින් මෙම මහා ජලස්කන්ධය පරිභෝජනය කෙරේ.ජලයට ලුනු මිශ්‍ර වීම වැනි අතුරුප්‍රතිඵල සහ ගැටලු විසදීම අපහසු ආකාරයකින් වර්ධනය වෙමින් පවතී.

මහා පරිමාන වේලි ව්‍යාපෘති නූතන ඉන්දියාවේ "පූජනීය දේවාලයන්ය" යන අදහස නොමගයවන සුලු වූ එකක් වූවද එවැනි අදහසක් පැතිරීම තේරුම්ගත හැකියැයි කිව හැකි කාලයක් තිබුනි.නමුත් අද - මේ සකල විධ විනාශයන්ගෙන් ඉක්බිතිව,සිදු වන්නේ කුමක්දැයි අප සියලු දෙනා ඉතා හොදින් දන්නා සන්දර්භයක දී මහා වේලි නැවත නැවත ඉදිකිරීම මනුශ්‍යත්වයට එරෙහිව සිදුකෙරෙන අපරාධයකි.

1984 ස්වදේශික ජනයා උද්ඝෝෂනය කිරීම නිසා බෝධිඝාත් වේලි ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවන ලදී.එය දැන් නතර කරන්නේ කවුද?මුල්ගල තැබීම වලක්වනු ලබන්නේ කවුද?ඉන්ද්‍රාවති ගංගාව කොල්ලකෑම නවත්වනු ලබන්නේ කවරෙකු විසින්ද?
කවරෙකු විසින් හෝ එය කල යුතුය.


දින් අවසන් දින රාත්‍රියේ අපි තියුනු කන්දක් පාමුල කදවුරු ලූයෙමු.ඊලග දිනයේ මා ගෙන යාමට පැමිනෙන යතුරු පැදිය මුනගැසෙනු වස් පාරක් වෙත යාම මේ නිසා පහසු වනු ඇත.මා ඇතුලු වූ කාලයට වඩා වනාන්තරය වෙනස් වී තිබේ.මේ වන විට අඹ හා කපු ගස් වල මල් පිපෙන්නට පටන් ගෙන තිබුනි.

කුදූර් හි ගැමියන් අලුතින් අල්ලා ගත් මාලු වලින් පුරවන ලද විශාල භාජනයක් කදවුර වෙත එවනු ලැබ තිබුනි.මා වෙත ලැයිස්තුවක්ද එවා ඇත.ඔවුන් වනයෙන් ලබාගන්නා පලතුරු එලවලු කුඩා සතුන් වර්ග 71 ක නම් සහ ඒවායේ වෙලදපොල මිල එම ලැයිස්තුවේ සදහන්ව ඇත.එය හුදෙක් ලැයිස්තුවක් පමනක් විය හැක.නමුත් එය ඔවුන්ගේ ලෝකය පිලිබද සිතියමක්ද වන්නේය.

වනාන්තර තැපෑල පැමිනේ.මා වෙත එවනු ලැබූ 'බිස්කට්' දෙකකි.නර්මදා සහෝදරිය කවියක් එවා තිබුනි.මාසි ආදරනීය ලිපියක් එවා තිබුනි.

සුඛ්දේව් සහෝදරයා මගේ අයිපොඩයෙන් ඔහුගේ පරිගනකයට ගීත බාගත කල හැකිදැයි මගෙන් විමසීය.අපි ඉක්බාල් බානෝගේ හඩට සවන් දෙමු.හේ ෆාය්ස් අහමද් ෆායිස්ගේ Hum Dekhenge ( අප එම දවස පිලිබද සාක්ෂි දරමු ) නම් ගීතය ගයයි.සියා උල් හක්ගේ පාලනයේ මර්ධනකාරී අවධියේ ගැයුනු මෙම ගීතය ලාහෝරයේ පැවති ප්‍රසංගයකදී දැවැන්ත ලෙස ප්‍රතිචාර ලැබීය.

Jab ahl-e-safa-Mardud-e-haram,
Masnad pe bithaiye jayenge

( ද්වේශය සහ ක්‍රෝධය උත්සන්න වූ යම් දිනයෙක)

Sab taaj uchhale jayenge
Sab takht giraye jayenge

( සියලු සිහසුන් පෙරලී යනු ඇත.සියලු ඔටුනු ගැලවී යනු ඇත )

පකිස්ථානයේ පනස් දහසක පමන පිරිසක් සහභාගි වූ එම ප්‍රසංගයේදී Inqilab Zindabad! ( විප්ලවයට ජයවේවා!) යනුවෙන් දහස් මුවෙකින් නැගුනු හඩ අද මෙම වනාන්තරය පුරාද නින්නාද වන්නා සේය.සමානතා නිර්මානය වන ආකාරය ගුප්තය.අපූරුය.

අභ්‍යන්තර කටයුතු ඇමති "වැරදීමෙකින් හෝ මාඕවාදීන් වෙත ද්‍රව්‍යමය හෝ බුද්ධිමය ආධාර සැපයීම" දැඩි වරදක් බව පවසා එසේ ආධාර අනුබල සපයන අය වෙත අනතුරු හගවා තිබේ.මාඕවාදීන් සමග සංගීතය බෙදාහදා ගැනීම එවැනි ආධාර සැපයීමක් ගනයෙහිලා සැලකේද?

හිමිදිරියේ මම මාධව් සහෝදරයා සහ ජූරිට,තරුන මන්ග්ටු සහ අන් සියල්ලන්ට ආයුබෝවන් කියමි.චන්දු සහෝදරයා යතුරු පැදි ගෙන ඒමට ගොස්ය.මා පාරට ඇරලනු වස් ඔහු එනු ඇත.රාජු සහෝදරයා නොඑනු ඇත.නිටි සහෝදරිය,සුඛ්දේව්,කම්ලා සහ තවත් පස් දෙනෙකු මා කන්ද මුදුනට ගෙන යනු ඇත.අප ඇවිදීම ආරම්භ කල කල්හි නිටි සහ සුඛ්දේව් ඉතාම සාමාන්‍ය නමුත් සුපරික්ෂාකාරි අයුරින් සිය ගිනි අවි වල ආරක්ෂක අගුලු ඉවත් කලහ.ඔවුන් එය කරනු මා දුටු පලමු අවස්ථාව එයයි.අප ක්‍රමයෙන් "දේශසීමාව" වෙත ලගාවෙමින් සිටිමු."වෙඩි තැබීමක් වුනොත් කල යුත්තේ කුමක්දැයි දන්නවාද?"සුඛ්දේව් සැහැල්ලුවෙන් අසයි.එවැන්නක් වීම ලෝකයේ වඩාත්ම ස්වභාවික දෙය ලෙස ඔහු ගත් සෙයකි.

"ඔවු" මම කීවෙමි."වහාම මාරාන්තික උපවාසයක් පටන්ගන්නවා"

ගලක් මත හිදගත් ඔහු සිනාවෙන්නට වූයේය.අප පැයක් පමන කාලයක් කන්ද නැග්ගෙමු.මාර්ගය අද්දර අපි ප්‍රහාරක භට කන්ඩායමක් මෙන් එකා ලග එකා වාඩි වී පහල සිට ක්‍රමයෙන් ඇසෙන යතුරු පැදි ශබ්දයට සවන් දෙමින් පසුවිමු.යතුරු පැදි ලගා වූ විගස - සමුගැනීම වේගයෙන් කල යුතු විය.ආයුබෝවන් සහෝදරවරුනි.

නික්මුන පසු මම යලිත් හැරී බැලුවෙමි.ඔවුන් තවමත් එතනය.ඔවුහු මට අත වනති.සෙසු ලෝකයා නපුරු සිහින තුල ජීවත් වන විට තම සිහිනයන් වෙනුවෙන් ජීවත් වන පිරිසක්.ඉක්බිති එලඹෙන සෑම රැයකම මා මේ ගමන ගැන සිතනු ඇත.රාත්‍රී අහස,වනාන්තර තුලින් වැටි තිබුන පටු පාරවල්.මගේ විදුලි පන්දම් එලියට පෙනුන කම්ලා සහෝදරියගේ දෙපා.
ඇය තවමත් චලනය වෙමින් සිටින බව මම දනිමි.හුදෙක් ඇය උදෙසා පමනක් නොවේ,අප සියල්ලන් උදෙසාම බලාපොරොත්තුවක් ජිවත් කරවීම උදෙසා ඇය ගමනෙහි යෙදෙමින් සිටින බව මම දනිමි.












සහෝදරවරුන් සමග / Walking with the comrades - 10

දීර්ඝ පා ගමන - බස්තාර්හි ගමන් ගන්නාමාඕවාදී කන්ඩයක් :සැම විටම ඔවුහු තනි පේලියක ගමන් කරති
ලග දින කිහිපය තුල මම මහිලා සංගමයේ වැඩ කල කාන්තාවන්,විවිධ ප්‍රාදේශීය මහජන ආන්ඩුවල සාමාජිකයන්,මරා දැමුනවුන්ගේ පවුල් වල අය සහ මෙම භීම සමයේ හුදෙක් දිවි  ගැට ගසා ගැනීමට යන්ත දරන සාමාන්‍ය මිනිසුන් මුන ගැසුනෙමි.

නාරායන්පූර් දිස්ත්‍රික්කයේ සහෝදරියන් තිදෙනෙකු - සුකියාරි,සුක්දායි.සුක්කාලි - මම හමුවීමි.ඔවුන් අඩුම තරමින් වයස හතලිස් ගනන් වල පසුවනවා විය යුතුය.ඔවුන් මහිලා සංගමයේ වසර 12කට ආසන්න කාලයක් වැඩ කරයි.පොලිසිය සමග ගනුදෙනු බේරාගැනීමේදී ගම්මු ඔවුන් මත විශ්වාසය තබති."පොලිසිය දෙතුන් සියයක විතර කන්ඩායම් වලින් මෙහෙ එනව.ඔවුන් සියලුම දේ හොරකම් කරනව.ආභරන,කුකුල්ලු,ඌරන්,කල දුනු ඊතල සේරම"සුක්කාලි කියයි."අඩුම තරමින් පිහියක් තරම්වත් ඉතිරි කරන්නෙ නැහැ."
වරෙක නාග බැටැලියනය සහ අනෙත් වර පොලිසිය විසින් ගිනි තැබුනු ඉන්නාර් ගම්මානයේ වාසියෙක් වූ ඇය ජග්දාල්පූර්හි බන්ධනාගාරයේ මාස හතක කාලයක් රදවනු ලැබද සිටියාය."වරෙක ඔවුන් මුලු ගමේම පිරිමි අය අල්ලගෙන ගියා.පිරිමි සියල්ලෝම නැක්සලයිට්වරු කියන චෝදනාව උඩයි එහෙම කලේ"
සුඛියාරි ගමේ කාන්තාවන් හා ලමුන් එක්කාසු කොටගෙන පොලිසිය වෙත ගියාය.පොලිස් ස්ථානය වට කල ඔවුහු පුරුෂයන් නිදහස් කරන තුරු ඉවත්වීම ප්‍රතික්ෂේප කලහ."ඔවුන් කාව හරි රැගෙන යන සෑම අවස්ථාවකම"සුක්දායි කියයි."වහාම ගිහින් ඒ අය නැවත අරගෙන එන්න ඕනෙ.ලියල වාර්තා කරන්න පෙර එහෙම කල යුතුමයි.ඔවුන් අත්අඩංගුවට ගැනීමක් වාර්තා කලාම ආයෙත් නිදහස් කරගන්න එක අමාරුයි"

සුඛියාරි ලමා කාලයේ පැහැර ගැනීමට ලක්ව වයස්ගත පුරුෂයෙකුට බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලැබූ අයෙකි.පසුව ඇය පලා ගොස් සිය සොහොයුරිය සමග ජීවත් වන්නට වූවාය.දැන් ඇය ජන රැලි සංවිධානය කරයි.ඒවා අමතා කථා පවත්වයි.පිරිමින් පවා ආරක්ෂාව වෙනුවෙන් ඇය මත රදා පවතී.පක්ෂය ඇය තුල කවර හැගීමක් ඇති කරයිදැයි මම ඇගෙන් ඇසීමි.
"Naxalvaad ka matlab hamara parivaar" ( නැක්සල්වාදය යනු අපේ පවුලයි) ඇය කීවාය."පහර දීමක් ගැන කන වැකෙන සැම වෙලාවකම,අපේ පවුලට හානියක් වුනා වගෙ හැගිමක් දැනෙන්නෙ"

මා ඕ යනු කවුද දන්නවාදැයි මම ඇගෙන් ඇසීමි.ඇය ලජ්ජාශිලි සිනහවක් පෑවාය."ඔහු නායකයෙක්.අපි වැඩකරන්නෙ ඔහුගේ දැක්ම අනුව"

සෝමාරි ගෞදේ සහෝදරිය ව මම මුනගැසුනෙමි.විසි හැවිරිදි ඇය ඒ වන විටත් අවුරුදු දෙකක සිරදඩුවමක් ජග්දාල්පූර් හිරගෙදරදී විද තිබුනාය.නිටි සහෝදරිය ඉන්නා බවට ඔත්තුවක් ලැබ 740  ක පොලිස් පිරිසක් ඉන්නාර් ගම්මානය වට කල 2007 ජනවාරි 8 දා ඇය ගමේ රැදී සිටියාය.( නිටි සහෝදරිය වැටලීමට මොහොතකට පෙර ඉවත්ව ගොස් තිබුනි )
සෝමාරී ද ඇතුලත් ග්‍රාමාරක්ෂක මිලිෂියාව ගමේ රැදී සිටියේය.හිමිදිරියේ පොලිසිය වෙඩි තබන්නට විය.කුඩා දරුවන් දෙදෙනෙකු මිය ගියේය.දුස්රි සලාම් සහ රනා නම් තවත් පිරිමි ලමයින් දෙදෙනෙකු අල්ලාගත් පොලිසිය ඔවුන්ව ගැටගසනු ලැබ වෙඩි තබා මරා දැමීය.සෝමාරි දැඩි ලෙස පහර කැමට ලක්වූවද යම්තම් ජීවිතය බේරා ගත්තාය.ට්‍රැක්ටරයක් පුරා මල මිනී පිරවූ පොලිසිය සෝමාරිට මල මිනී මත හිදගන්නා ලෙස අන කලේය.ඉක්බිති ට්‍රැක්ටරය නාරායන්පූර් වෙත ගමන් කලේය.

2009 ජූලි 6 දින වෙඩි තබා මරා දැමුනු දුලිප් සහෝදරයාගේ මව වූ චම්රිව මම මුනගැසුනෙමි.තම පුතාව මරා දැමීමෙන් පසු,පොලිසිය ඔහුගේ සිරුර දන්ඩක බැද දඩයම් කල සතෙකු කර ගසා යන්නා සේ රැගෙන ගිය බව ඇය කීවාය.
( තම මුදල් ත්‍යාග ලැබීමට නම් පොලිස් භටයන් මරා දැමූවන්ගේ සිරුරු ඉහල බලධාරීන්ට පෙන්විය යුතුය )
චම්රි පොලිස් ස්ථානය දක්වාම තම පුතුගේ මිනිමරුවන් පසුපස හඩමින් ගියාය.ඔවුන් පොලිස් ස්ථානයට ලගාවන විට මල සිරුර මුලුමනින් නිර්වස්ත්‍රව පැවතුනි.අතරමගදී මල කද පාර අයිනෙන් තැබූ පොලිස් භටයෝ කඩයකට වැද තේ බොමින් බිස්කට් කන්නට වූහ.ඒවායේ මිල ගෙවනු නොලැබින.මදක් මෙම අම්මාගේ දර්ශනය උපකල්පනය කරන්න.සිය පුතුගේ නිර්වස්ත්‍ර මල සිරුර පසුපස ඇවිද යන,ඔහුගේ මිනීමරුවන් තේ බී සප්පායම් ව පැමිනෙන තුරු බියෙන්,මදක් ඇතට ව බලා සිටින මෙම මව පිලිබද චිත්‍රය සිතේ මවාගන්න.විධිමත් අවමංගල්‍යයක් පැවැත්වීම සදහා පුතාගේ සිරුර නැවත භාර දීම පොලිසිය ප්‍රතික්ෂේප කලේය.සිරුර එදින මරා දැමූ අනෙකුත් මල සිරුරු සමග වල දැමූ අතර මෙම සමූහ මිනී වල තුලට පස් අහුරක් විසි කිරීමට පමනක් ඇයට ඉඩ දෙන ලදී.තමා පලිගැනීමේ ද්වේශයෙන් පෙලෙන බව චම්රි කීවාය.බඩ්ලා කු බඩ්ලා.ලෙයට ලෙය!

ගම්මාන හයක පරිපාලනය භාරව සිටින මාර්ස්කෝලා මහජන ආන්ඩුවේ ඡන්දයෙන් තෝරා ගත් නියෝජිතයන්ව මම මුනගැසුනෙමි.පොලිස් වැටලීම් ගැන ඔවුහු පැහැදිලි කරති.300-400 අතර ඇතැම්විට 1000 පමන පිරිස් වලින් යුතු කාන්ඩ සැදී රාත්‍රියේ පැමිනෙන පොලිසිය වලල්ලක් මෙන් ගම් වට කොට දිගා වී බලා සිටී.හිමිදිරි උදයේ කුඹුරු වැඩ වලට ගමෙන් පිට වන මුල්ම ගැමියන් අල්ලා ගන්නා ඔවුන් එම ගැමියන්ව මිනිස් පලිහක් ලෙස යොදාගනිමින් ගම තුලට ඇතුලු වේ.උගුල් අටවා ඇති තැන් පිලිබද පැවසීමට ඔවුන්ට බල කෙරේ.වනාන්තරය මෙවැනි උගුල් වලින් පිරී තිබේ.සමහර උගුල් ඇත්ත ඒවා වන අතර තවත් සමහර ඒවා ව්‍යාජය.ඇතැම්විට ගරිල්ලාවරුන්ට පවා මෙම උගුල් මගහැරීමට ගම්මුන්ගේ සහය පැතීමට සිදුවන අවස්ථා තිබේ.පොලිසිය ගම තුලට ඇතුලු වූ විට ඔවුහු කොල්ල කති.සොරකම් කරති.ගෙවල් ගිනි තබති.ඔවුන් පැමිනෙන්නේ දඩයම් බල්ලන් සමගය.පලා යාමට තැත්කරන්නන් හඹා යන සුනඛයෝ ඔවුන්ව හපා කති.සුනඛයන් ඌරන් සහ කුකුලන් හඹායන අතර උන් විසින් සපා කෑමට ලක්ව තුවාල ලබන සතුන්ව මරාගන්නා පොලිසිය උන් ගෝනි වල දමාගෙන පිටව යයි.විශේෂ පොලිස් නිලධාරීන්ද පොලිසිය සමග පැමිනේ.මිනිසුන් ආභරන සහ මුදල් සගවන තැන් පිලිබද දන්නේ ඔවුන්ය.මිනිසුන් අල්ලාගන්නා ඔවුහු ඔවුන් රැගෙන යති.ඔවුන් මුදාහැරෙන්නේ මුදල් දීමට එකග වූ විටය.සෑම විටම මෙම භටයන් නැක්සලයිට් නිල ඇදුම් ගෙන යාමටද අමතක නොකරයි.හදිසියේ යමෙක් ඝාතනය වුවහොත් මෙම ඇදුම් මල සිරුරට අන්දවා මුදල් ත්‍යාග සදහා ඉහල නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට ඔවුහු අමතක නොකරති.නැක්සල්වරුන් ඝාතනය කිරිම සදහා හොදට ගෙවනු ලැබේ.මේ නිසා ඔවුහු නැක්සලයිට්වරුන් "නිෂ්පාදනය කරති".නිවෙස් තුල රැදීමට ගම්මු මේ නිසා බිය වෙති.

මෙම නිහඩ වනාන්තරයේ ජීවිතය මේ වනවිට මුලුමනින් මිලිටරිකරනය වී හමාරය.මිලිටරි භාෂාවේ වචන මිනිසුන්ගේ එදිනෙදා ව්‍යවහාරයට පැමින ඇත.අස්වනු නෙලන කාලයේ ගරිල්ලාවරුන්ගේ ආරක්ෂාව ගම්මු ඉල්ලා සිටිති.වෙලදපොලට යාම මිලිටරිමය මෙහෙයුමක් වැන්න.කඩපිල් ඔත්තුකරුවන්ගෙන් පිරි තිබේ.මෙවැනි ඔත්තුකරුවන් 4000 ක් පමන ජීවත් වන කොලනියක් නාරායන්පූර් අසල වන බව මට යමෙක් පැවසීය.පිරිමින්ට වෙලදපොලට යාම අසීරුය.මාර්කැට්ටුවට යාම ගැහැනුන් සිදුකරන අතර ඔවුන්ව සමිප ලෙස නිරීක්ෂනය කෙරේ.වැඩිපුර යමක් ඔවුන් මිලදී ගතහොත් පොලිසිය නැක්සලයිට්වාදින් සදහා මිලදී ගත්තා යැයි ඔවුන්ට චෝදනා කරයි.ඉතාම කුඩා ප්‍රමාන වලින් හැර ඖෂධ නිකුත් කිරීම ඖෂධවේදීන්ට තහනම් කොට තිබේ.සීනි,සහල්,භූමිතෙල් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පොලිස් ස්ථාන අසබඩ ගබඩා වල දමා ඉබි යතුරු ලා තිබේ.එනයින් ඒවා වෙත ලගාවීම ගම්මුන්ට ඉතාම දුෂ්කරය.

සමූලඝාතනය පිලිබද එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ දෙවන වගන්තිය සමූලඝාතනය නම් වූ අපරාධය පහත පරිදි නිර්වචනය කරයි.

ජාතික,ජන වාර්ගික,වර්ගමය හෝ ආගමික ප්‍රජාවක් මුලුමනින්ම හෝ එහි කොටසක් විනාශ කිරීමේ අදහස සහිතව සිදු කරනු ලබන පහත කවර හෝ ආකාරයක ක්‍රියාවක් - එනම්,අදාල ප්‍රජාවේ සාමාජිකයන් මරා දැමීම,දරුනු ශාරීරික හා මානසික හානි එම ප්‍රජාවේ සාමාජිකයන් මත පැමිනවීම,ප්‍රජාවේ හෝ එහි කොටසක ‍භෞතික විනාශය සිදුවිය හැකි සමූහ ජීවිතයට බලපාන තත්වයන් අරමුනු සහගතව වෙනස් කිරිම,ප්‍රජාව අභ්‍යන්තරයේ උපත් බලහත්කාරිව නතර කරවන පියවර ගැනීම හෝ යම් ප්‍රජාවක දරුවන් බලහත්කාරීව වෙනත් ප්‍රජාවක් කරා පිටමං කිරීම සමූලඝාතනය නම් වන්නේය.

විද යාමේ සම්පූර්න අභ්‍යාසය විසින් මා අවසානයේ එහි වහලෙකු බවට පත්කොටගෙන ඇති සෙයකි.කම්ලා උනු වතුර සහිත කලයක් මවෙත පිරිනමයි.අන්ධකාරයේ ගසකට මුවා වූ මම හොදහැටි නාගතිමි.නමුත් මා හට රාත්‍රී අහර ගැනීමේ අවස්ථාව නොලැබුනි.අප එතනින් ඉවත්විය යුතු බව කොම්රේඩ් රාජු නිවේදනය කලේය.මෙය සුලභ දෙයකි.නමුත් අද එය ඉතා දුෂ්කරය.අප කදවුරු ලා තිබුනේ විවෘත තන භූමියකය.ෂෙල් වෙඩි පුපුරන හඩ ඇතින් ඇසේ.අප කන්ඩායමේ 104 දෙනෙකු විය.නැවත වතාවක් රාත්‍රියේ අප ගමන් ගන්නට වූයේය.අප රාත්‍රිය ගත කල හැකි යැයි සිතෙන ස්ථානයකට ලගාවන විට රාත්‍රී 11ද පසුව තිබුනි.එය පාෂානමය බ්මකඩෙකි.
කවුදෝ රේඩියෝව පන ගැන්වීය.බටහිර බෙංගාලයේ ප්‍රාන්ත සීමාවේ ලාල්ගාර්හි පොලිස් කදවුරකට පහර දීමක් සිදුව ඇති බව බීබීසී ය කියයි.යතුරු පැදි වලින් පැමිනි මාඕවාදීන් හැටක පමන පිරිසක් පහර දිමට සම්බන්ධ වී ඇති අතර පොලිස්භටයන් 14ක් මිය ගොස් තිබේ.තවත් දහයක් අතුරුදහන් ව තිබේ.ආයුද පැහැර ගැනීමට ලක්ව ඇත.ප්‍රහර්ෂය මුසු වූ මිමිනීමක් පිරිස අතර පැතිර යයි.මාඕවාදි නායකයෙක් වන කිෂෙන්ජි ගේ සම්මුඛ සාකච්ඡාවක් ඉක්බිති ප්‍රචාරය කෙරේ.ඔබ මේ ප්‍රචන්ඩ ක්‍රියා නවතා සාකච්ඡා සදහා එන්නේ කවදාද?ග්‍රීන් හන්ට් මෙහෙයුම අත්හිටුවන දවසට.අත්හිටුවන ඕනැම මොහොතක.සිදම්බරම්ට (අභ්‍යන්තර කටයුතු ඇමති )කියන්න අපි සාකච්ඡා කරන්න සූදානම් කියල.ඊලග ප්‍රශ්නය - ඔබ බිම්බෝම්බ වලදාල තියෙනව.ඒවා ඉවත්කිරීමට රජය පිරිස් යොදවා තිබෙනවා.ඔබ ඔවුන්ටත් පහර දෙනවාද? කිෂෙන්ජි - සත්තකින්ම.එහෙම නොවුනොත් මිනිස්සු මට ගහන්න පටන් ගනියි.සිනා හඩක් අප පිරිස අතර පැතිරේ."ඒ ගොල්ලො හැමවෙලේම බිම්බෝම්බ ගැන කතාකරනව.අපි බිම්බෝම්බ පාවිච්චි කරන්නෙ නැහැ.IED විතරයි පාවිච්චි කරන්නෙ"නිවැරදි කිරීමේ නිවේදන නිකුත් කරන සුඛ්දේව් මට පැහැදිලි කරයි.

තාරකා දහසක් පිරි හෝටලයක තවත් සුඛෝපභෝගි රාත්‍රියක්.රෝගී තත්වයක් මට දැනේ.වැස්සක් කඩා වැටේ.කම්ලා මවෙත පොරවන රෙද්දක් විසී කලාය.මා තව කුමක් අපේක්ෂා කරන්නද?අනිත් සියල්ලෝම හුදෙක් තම පැදුරු තුල ගුලිවුනහ.

ඊලග උදෑසන විට ලාල්ගාර්හි සංඛ්‍යාවන් වෙනස්ව තිබුනි.මල සිරුරු 21 ක් හදුනාගෙන තිබුනු අතර 10 දෙනෙකු අතුරුදහන් ව තිබුනි.

කොම්රේඩ් රාජු මේ උදෑසන විමසිලිමත්ය.අප සන්ධ්‍යා වන තුරු ඉවත් නොවී මෙහිම කදවුරු ලා සිටිනු ඇත.

Friday, September 24, 2010

සහෝදරවරුන් සමග / walking with the comrades 9

මාඕවාදී කදවුරක් - ඔවුන් ඉවත් වන විට කදවුරු බිම අලු ස්වල්පයක් මිස කිසිවක් ඉතිරි නොවේ
සුදින දිවාකාලය වන තුරුද නැටුම් ගැයුම් නැවතී නොතිබුනි.සියගනන් යෞවන ජනයා තවම නර්තනයේ යෙදෙති."මේ අය නතර වෙන්නෙ නැහැ"රාජු සහෝදරයා කීවේය."අපි යන්න ලෑස්ති වන තුරුම මේ අය නටනවා"

පිට්ටනියේදි මම දොස්තර සහෝදරයා මුනගැසුනෙමි.පිටිය අද්දර ඔහු කුඩා වෛද්‍ය කදවුරක් පවත්වාගෙන යයි.ඔහුගේ පිම්බුනු කම්මුල් සිප ගැනීමේ ආවේගයක් මතුල ඇතිවිය.එක් අයෙක් වනවා වෙනුවට ඔහු තිස් දෙනෙකුගේ වැඩ කරමින් සිටී.ඔහුට මිනිසුන් දහසකගේ වැඩ සිදු කල නොහැකිද?දන්ඩකාරන්‍යයේ සෞඛ්‍යය තත්වය පිලිබද මම ඔහුගෙන් ප්‍රශ්න කරමි.ඔහුගේ පිලිතුර මාගේ රුධිරය සිතල කර දැම්මේය.ගරිල්ලා භටයන්ද ඇතුලු තමාගේ පරික්ෂාවට ලක්වූ බොහෝ දෙනාගේ හිමොග්ලොබින් ප්‍රමානය පහත් හයත් අතර තිබුනේ යැයි ඔහු පැවසීය.සාමාන්‍ය ඉන්දිය කාන්තාවකගේ මේ සම්බන්ධ සාමාන්‍ය අගය වන්නේ එකොලහකි.ක්ෂය රෝගය වසර දෙකකටත් අධික කාලයක් තුල ඉතා දරුනු ලෙස පවතී.කුඩා දරුවන් ප්‍රෝටීන් ඌනතාවයෙන් පෙලේ.ක්වෝෂියෝකෝර් තත්වයට ඔවුන් විශාල ප්‍රමානයක් ගොදුරු වී සිටී.
( ක්වොෂියෝකොර් යන්නෙහි අරුත මම පසුව සොයා බැලුවෙමි.එය ඝානාවෙහි ගා බස ඇසුරින් සම්භවය වූ වචනයකි.එහි තේරුම "අලුත් දරුවෙකු ඉපදීම නිසා පැරනි දරුවාට වැලදෙන රෝගය "යන්නයි.පැහැදිලිවම එය පැරනි දරුවාට මව්කිරි ලැබීම නතර වන නිසාත් එම අඩුව පිරවීමට ප්‍රමානවත් වෙනත් පෝෂනයක් නොලැබෙන නිසාත් හටගනු ලැබේ )
"බයෆ්‍රා වල මෙන් එය මෙහි වසංගතයක් වගේ"දොස්තර සහෝදරයා කියයි."මම මීට ඉස්සෙල්ලා ගම්වල වැඩ කරල තියෙනව.ඒත් මේ වගේ දෙයක් කවදාවත් දැකල නැහැ"

මීට අමතරව මැලේරියාව,ඔස්තියෝෆරෝසිස්,පනු රෝග,දරුනු දත් සහ කන් ආසාදන සහ වැඩිවිය පත්වන කාලයේ ඇතිවන මන්දපෝෂනය නිසා කාන්තාවකගේ ඔසප් චක්‍රය තාවකාලිකව නතර වීමට හෝ සදාකාලිකව අතුරුදහන් වීමට තුඩු දෙන ප්‍රාථමික ඇමෙනෝරියාව යන රෝග මෙහි බහුලය.

"ගද්රිචෝලි වල එකක් දෙකක් හැර මේ වනාන්තර ප්‍රදේශ වල සෞඛ්‍ය සායන නැහැ.වෛද්‍යවරු නැහැ.බෙහෙත් නැහැ"

තම කන්ඩායම සමග මද වෙලාවකින් හේ නික්මෙයි.නැවත ඔහු අබුජ්මාද් වෙත යනු ඇත.ඔහු නිල ඇදුම හැද සිටී.දොස්තර සහෝදරයා - ඔවුන් ඔහුව අල්ලා ගතහොත් නිසැකවම ඔහුත් ඝාතනය කෙරෙනු ඇත.

මෙම ස්ථානයේ දිගටම කදවුරු ලා සිටීම අනතුරුදායක බව කොම්රේඩ් රාජු පැවසීය.අප නික්මිය යුතුය.බූම්කාල් භූමිය හැර යාම සමුගැනීම් හා අතවැනීම් මාලාවකට මුලපිරීය.

Lal lal salaam, lal lal salaam,
Jaane wale saathiyon ko lal lal salaam

( ආයුබෝවන් ආයුබෝවන් සමුගෙන යන සොයුරනි
 විප්ලවයේ නාමයෙන් ඔබට ආයුබෝවන්!)

Phir milenge, phir milenge
Dandakaranya jungle mein phir milenge

( අපි යලි මුන ගැසෙනු ඇත අපි යලි මුනගැසෙනු ඇත
 කවදා හෝ දිනෙක දන්ඩකාරන්‍යයේ නැවත අපි මුන ගැසෙනු ඇත )

මෙහිදී පිලිගැනීමේ සහ සමුගැනීමේ අවස්ථා කිසිවිටෙක සැහැල්ලුවෙන් භාර නොගැනේ.මන්ද "අපි නැවත මුන ගැසෙනු ඇත" යනුවෙන් ගයද්දී එහි සැබෑ තේරුම බොහෝවිට "අපි කිසිදිනෙක නැවත මුන නොගැසෙනු ඇත" යන්න විය හැකි බව සියල්ලෝ දන්නා හෙයිනි.

නර්මදා සහෝදරිය,මාසි සහෝදරිය සහ රූපි සහෝදරිය වෙන් වෙන් දිශාවලට ගමන් කරනු ඇත.
කවදාවත් මා නැවත ඔවුන් මුනගැසෙනු ඇද්ද?

ඉදින් නැවත වතාවක් අපි ඇවිදින්නට වූයෙමු.සෑම දිනයක්ම වඩ වඩා උනුසුම් වෙමින් තිබේ.කම්ලා තෙන්දු ගස්වල ඵල මවෙත කඩා දෙයි.මෙවර අප ඇලක් අසල කදවුරු ලූයෙමු.ගැහැනුන් සහ පිරිමි කාන්ඩ වලට බෙදි ස්නානය කිරීමට යයි.සන්ධ්‍යාවේදී,කොම්රෙඩ් රාජු වෙත "බිස්කට්" ලැබේ.

එම "බිස්කට්" වල අඩංගුව මෙසේය.

  • 2010 ජනවාරියේ අත්අඩංගුවට පත්වූ මන්පූර් ඩිවිෂනයේ 60 දෙනා තවමත් උසාවිය වෙත ඉදිරිපත් කොට නැත.
  •  විශාල පොලිස් භට පිරිස් බස්තාර් ප්‍රදේශයේ කදවුරු ලා තිබේ.අඛන්ඩව පහර දීම් සිදුවේ.
  • 2009 නොවැම්බර් 8 දින කාචල්රාම් ගම්මානයේ දී දිර්කෝ මද්කා (60) සහ කොවාසි සුක්ලු (68) ඝාතනය වි තිබේ.
  • නොවැම්බර් 24 දින මාධවී බාමන් (15) පානාගෝදි හිදී මරා දමා තිබේ.
  • දෙසැම්බර් 3 දින කොරෙන්ජාද් හි මාධවී බුද්රාම් ඝාතනය වී තිබේ.
  • දෙසැම්බර් 11 ගුමිමියාපාල් හිදී 7 දෙනෙකු මරා දැමි ඇත ( නම් තවමත් වාර්තා වී නැත )
  • දෙසැම්බර් 15 කොත්රාපල් හිදී වෙකෝ සොම්බාර් සහ මාධවී මත්ති ( මහිලා සංගමයේ ක්‍රියාකාරීන් ) මරා දමා තිබේ.
  • දෙසැම්බර් 30 වෙචාපල්හිදී පියා පුතු යුවලක් වන ‍පූනෙම් පන්ඩු හා පූනෙම් මොටු ඝාතනය වී තිබේ.
  • 2010 ජනවාරියේ අවිනිශ්චිත දිනෙක ගන්ගාලාවූර්හි කයිකා ගම්මානයේ මහජන ආන්ඩුවේ නායකයා මරා දමා තිබේ.
  • ජනවාරි 4 දින සුර්පන්ගූඩෙන්හිදී 4 දෙනෙක්ද
  • ජනවාරි 10 දින පුල්ලෙම් පුල්ලුඩෙයි හිදී තිදෙනෙක්ද
  • ජනවාරි 25 සිව තාකිලොද් හිදී සත්දෙනෙක්ද මරා දමා තිබේ.
  • පෙබරවාරි 10 ( බූම්කාල් දිනයේදී ) දුම්නාර් ගම්මානයේ තරුනියක් වන කුම්ලි දූෂනය කරනු ලැබ ඝාතනය වී තිබේ.
  • රජ්නන්ද්ගොන් වනාන්තරයේ ඉන්දු ටිබෙට දේශසීමා බලකායේ 2000ක පිරිසක් කදවුරු ලා තිබේ.
  • කන්කාර් ප්‍රදේශය වෙත 5000 ක අතිරේක භට පිරිසක් පැමින ඇත.

පැරනි පුවත්පත් කිහිපයක්ද පුවත් සමග පැමින ඇත.මෙම පුවත්පත් නැක්සලයිට්වරු පිලිබද ප්‍රවෘත්තින්ගෙන් ගහනය.පැවති ආතතිකාරී දේශපාලන වාතාවරනය හකුලුවා දැක්වූ එක් පුවත් පත් ශීර්ෂ පාඨයක් මෙසේ විය.
Khadedo, Maaro, Samarpan Karao
( මර්ධනය කොට මුලිනුපුටා දමනු!යටත් වෙන තුරු ඔවුන්ට පහර දෙනු!)
ඒ යටින් ප්‍රජාතන්ත්‍රවාදයේ දොර සෑම විටම සාම සාකච්ඡා සදහා විවෘතව පවතින බව මුද්‍රනය වී තිබුනි.තවත් සිරස්තලයක් මාඕවාදින් මුදල් සදහා ගංජා වවන බව ප්‍රකාශ කරයි.තවත් පුවත්පතක කතුවැකියක සදහන් වූ පරිදි අප මේ දැන් කදවුරු බැද සිටින ප්‍රදේශය සහ අප ඇවිද ආ ප්‍රදේශය "මේ වන විට සම්පූර්න පොලිස් පාලනය " යටතේ පවතී.

තරුන කොමියුනිස්ට්වාදීන් පුවත්පත් කැබලි තම කියවීම් දියුනු කරගැනීම සදහා රැගෙන යයි.ගුවන්විදුලි නිවේදකයන් සේ මහ හඩින් ප්‍රති මාඕවාදී ලිපිවල කොටස් කෑගසා කියවමින් ඔවුහු කදවුර වටේ යති.

ලුත් දවසකි.අලුත් ස්ථානයකි.අපි උසිර් ග්‍රාමය අසල කදවුරු ලා සිටිමු.අවට ගස්වල මල් පිපෙන්නට පටන් ගෙන තිබේ.ගස් වලින් වැටෙන මල් අලංකාර ලෙස පොලොව මත පතිත වේ.අවට වාතය පවා වැටෙන මල්වල සුවදින් අලංකෘත වූ සෙයකි.ඔන්ග්නාර් හි පහර දීමෙන් පසු වසා දැමුන බාත්පාල් පාසලේ දරුවන් මුන ගැසෙනු පිනිස අපි මග බලමු.පාසල දැන් පොලිස් කදවුරක් බවට පරිවර්තනය කොට තිබේ.ලමුන්ට නිවෙස්වලට යාමට අන කෙරිනි.මෙය නෙල්වාද්,මූන්ජ්මෙත්තා,එඩ්කා,වේදෝමාකොත් සහ ධනෝරා යන ගම්මාන වල පාසල් සම්බන්ධයෙන්ද පොදු තත්වයයි.

බප්තාල් පාසලේ සිසුන් පැමිනියේ නැත.

නිටි සහෝදරිය සහ විනෝද් සහෝදරයා ප්‍රාදේශීය මහජන ආන්ඩුව විසින් ඉදිකොට තිබෙන වගා ජල පද්ධතිය සහ වාරිමාර්ග පද්ධතිය පෙන්වනු වස් අපව රැගෙන යයි.නිටි සහෝදරිය ඔවුනට මුහුන පෑමට සිදුව තිබෙන කෘෂිකාර්මික ප්‍රශ්නවල ස්වභාවය පිලිබද පැහැදිලි කරයි.ඉඩම් වලින් ජල පහසුකම් ප්‍රශස්ත ලෙස ලැබී තිබෙනුයේ සියයට දෙකකට පමනි.අබුජ්මාද් හි අස්වැද්දීමේ කටයුතු වසර දහයකින් පමන හරියට සිදුව නැත.අනිත් අතට ගද්රිචොලි හිදී බීජ සහ කෘමිනාශක රසායනයන්ගේ දැඩි අවශ්‍යතාවයක් පවතී."අපට කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ හදිසි උදවු අත්‍යවශ්‍යයයි."විනෝද් සහෝදරයා පැවසීය."අපිට බීජ,කෘමිනාශක ගැන දන්න අය අවශ්‍යයයි.පොඩි උදවුවක් ලැබුනොත් ඒකෙන් ‍අපිට ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි"

රාමු සහෝදරයා මහජන ආන්ඩුවේ ගොවි කටයුතු භාරව කටයුතු කරන්නෙකි.හේ වී වම්බටු ලූනු ආදිය වගා කොට තිබෙන වගා බිම් ආඩම්බරයෙන් යුක්තව අපට පෙන්වයි.සමාන අභිමානයකින් ඔහු තරමක් විශාල නමුත් සම්පූර්නයෙන් වියලී ගොස් තිබෙන වාරිමාර්ග පොකුනක් පෙන්වයි.මේ මොකක්ද?"මේකට අඩුම තරමින් වැහි කාලයේවත් වතුර පිරෙන්නෙ නැහැ.වැරදි තැනක කැනල තියෙන්නෙ"ඔහු කියයි.මද හසක් ඔහු මුවග වේ."මේක අපි නෙමෙයි කලේ.කොල්ලකාරයන්ගෙ ආන්ඩුව"
මෙහි සමාන්තර ආන්ඩු දෙකක් තිබේ.මහජන ආන්ඩුව සහ කොල්ලකරුවන්ගේ ආන්ඩුව වශයෙනි.

වෙනු සහෝදරයා පැවසූ දෙයක් මට සිහිවේ."ඔවුන්ට අපිව විනාශ කරල දාන්න ඕනෙ හුදෙක් ඛනිජ සම්පත් නිසා පමනක් නොවේ.අපි ලෝකයට විකල්ප ආකෘතියක් හදුන්වලා දෙමින් ඉන්න නිසා"

කෙසේ වුවද මෙය තවමත් විකල්ප ආකෘතියක් ලෙස සැලකිය නොහැක.තවමත් මෙහි අධික කුසගින්න හා අධික රෝගී තත්වයන් පවතී.නමුත් පැහැදිලිවම මෙම ප්‍රදේශයේ පාලනය විකල්පයක් සදහා යම් අවකාශයක් විවෘත කර තිබේ.එම විකල්පය ලෝකය සදහා නොව,ඇලස්කාව සදහා නොව,නව දිල්ලිය සදහා නොව,අඩුම තරමින් චත්තිස්ගාර්හි අවශේෂ ප්‍රදේශ සදහා වත් නොව තමා සදහාමය.දන්ඩකාරන්‍යය සදහාය.එය ලෝකයේ වඩාත්ම සුරක්ෂිත රහසකි.එය වද වී යාමෙන් ගොඩ ඒම සදහා තමන්ගේම වූ විකල්පයක් පිලිබද අත්හදා බලමින් සිටී.ඊට අනන්‍ය වූ ඉතිහාසයක් පවතී.අතිශය අසාමාන්‍ය ආකාරයට එය පැවැත්ම පිලිබද තමන්ගේම සලකුනක් නිර්මානය කොට තිබේ.ඒ සදහා තව තවත් උදවු හා පරිකල්පනය ඇවැසිය.තව තවත් වෛද්‍යවරුන්,ගුරුවරුන් සහ ගොවීන් ඇවැසිය.

ඊට අවශ්‍ය නැත්තේ යුද්ධයයි.

නමුත් එයට ලැබෙනුයේ යුද්ධය පමනක් නම් - එය පෙරලා සටන් කිරීමට මැලි නොවනු ඇත.

සහෝදරවරුන් සමග / walking with the comrades 8

මිය ගිය සටන් සගයන් සමරමින් - බූම්කාල් උත්සව දිනයේදී ප්‍රදර්ශනය වෙමින් තිබුනු ඝාතනය වූ ගරිල්ලාවරුන්ගේ රූප පෙලක්  
බෙර වාදන හඩ ක්‍රමානුකූලව උත්සන්න වේ.මේ බූම්කාල් උත්සවයයි.
අපි පිට්ටනිය වෙත ලගාවෙමු.මහට මා දෑස් අදහාගත නොහැක.ඉතාම අලංකාර වූද ග්‍රාමීය වූද විලාශයන්ගෙන් සැරසී සිටි ඉතාම අලංකාර වූද ග්‍රාමිය වූද ජන සාගරයක් මා අභිමුව රල ගසමින් සිටී.කාන්තාවන්ටත් වඩා සිය අලංකාර පිලිබද සැලකිලිමත් ව සිටිනුයේ පිරිමින්ය.ඔවුහු කුරුලු පිහාටු වලින් අලංකෘත හිස් වැසුම්ද මුහුනු වල කොටනු ලැබූ පච්චා ද දරා සිටියාහ.ඇස් වටා සහ මුහුනු වල සුදු පැහැති වත්සුනු තවරා තිබේ.සිය උරමත නොසැලකිලිමත්ව රයිෆල රදවා ගත් ග්‍රාමාරක්ෂක කන්ඩායම්වල තරුනියෝ එහි වූහ.ඔවුන් චිත්තාකර්ශනීය පැහැයන්ගෙන් යුතු වර්නයන්ගෙන් සැරසී සිටී.එහි වයසක පිරිස් වූහ.ලමා පිරිස් වූහ.සූර්යයා උස්වද තියුනුවද අහසේ නැගී සිටී.ලෙන්ග් සහෝදරයා කතාවක් පවත්වයි.විවිද ප්‍රදේශ වල ජනතා ආන්ඩු වල නියෝජිතයන් වේදිකාවේ සිටී.1997 සිට පක්ෂයේ සාමාජිකත්වය දරන අසාමාන්‍ය කාන්තාවක වූ කොම්රෙඩ් නිටිද වේදිකාවේ වූවාය.ඇය කෙතරම් ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද යත් 2007 ජනවාරියේදී ඇය සිටී යන ඔත්තුව ලැබ පොලිස් භටයන් 700 කට ආසන්න ප්‍රමානයක් ඉන්නාර් ගම්මානය වැටලීය.කොම්රෙඩ් නිටි එතරම් භයානක අයෙක් ලෙස පොලිසිය සලකන්නේ ඇය හුදෙක් හදිසි පහර දිම් ගනනාවක මූලිකත්වය සාර්ථක ලෙස ගෙන තිබෙන නිසා පමනක් නොව ඇය තරුන ජනයා මත මහත් උත්ප්‍රේරනයක් පතිත කලා වූ ත් ඔවුන්ගේ ආදරය දිනාගත්තා වූත් ආදිවාසි ගැහැනියක ද  වූ බැවිනි.සිය ඒකේ 47 රයිෆලය උර මත රදවාගෙන ඇය කතා කරන්නීය.
( එම ගිනි අවිය පසුපස කතාවක් ඇත.තම තමන් දරන ගිනි අවි අත්පත් කරගත්තේ කෙසේද?එය ඊට පෙර කාට අයත්ව තිබුනු එකක්ද? - මේ සියල්ලක් සම්බන්ධයෙන් සෑම කෙනාටම පැවසීමට තිබෙන කතාවක් පවතී)

සංස්කෘතික අංශයේ පිරිසක් බුම්කාල් නැගිටීම පිලිබද නාට්‍යයක් රගදක්වමින් සිටියේය.දුෂ්ට සුදු ජාතික කොලනිකරුවන් පිදුරු වලින් සාදාගත් හිසකේ තොප්පි වලට යටකරගෙන උන් අතර ඔවුන් ස්වදේශික ආදිවාසින් නින්දාවට පාත්‍ර කරයි.ස්වදේශිකයන් මත වද හිංසා පමුනුවයි.දකුනු ගන්ගාලාවූර් සිට පැමිනි තවත් කන්ඩායමක් නිතිර් ජුදුම් පිටෝ -  "ලේ ඥාතිත්වය සොයා යාම" යනුවෙන් නාට්‍යයක් රගදක්වයි.ජූරි මට කතාව පරිවර්තනය කර දෙන්නීය.
එය සිය දියනිය සෙවීම සදහා ඇය ජිවත්ව සිටින ගම වෙත යන මහලු දෙමවිපිය යුවලක් පිලිබද නාට්‍යයකි.සියලු දේ ගිනිබත්ව තිබෙන නිසා කැලයේ යන අතරමග කිසිවක් හදුනාගත නොහැකිව ඔවුන් දෙපල අතරමං වේ.සංගීත භාන්ඩ සහ බෙර පවා සල්වා ජුදුමය විසින් පුලුස්සා දමා තිබේ.වර්ෂාවට අලු ගසා ගෙන ගොස්ය.දියනිය සොයා ගත නොහී කම්පාවට පත්වන දෙමවුපිය යුවල ශෝකභරිතව ගයන්නට වන් අතර ගී හඩ ඇසෙන දියනිය මෙය ඇසී නටබුන් අතරින් මතු වේ.ඇයද පෙරලා ගයයි.අපේ ගම්මානයේ හඩ නිහඩ වී තිබේ.ඇය දුක්බරව ගයයි.පැසෙන සහල් තවදුරටත් නොමැත.ලිද අසල ඇසුන සිනා හඩවල් තවදුරටත් නැත.කුරුල්ලෝ නිහඩය.කෑ ගසන එලුවන් ‍ගොලු වී ඇත.සන්තෝෂයේ සොදුරු රැහැන කපා දමා තිබේ.

ඇගේ පියා ගීතයෙන්ම ඇයට පිලිතුරු දෙයි.සුන්දර දියනිය,හේ ගැයුවේය.අද හඩන්න එපා.ඉපදුන සියලු දෙනා මිය යා යුතු නොවේද?අප වටා තිබෙන මේ ගස් යම්දිනෙක වැටෙනු ඇත.සිනාසෙන මල් පරවී යනු ඇත.කවදාහරි දවසක ලෝකය වයසට යනු ඇත.නමුත් අපි මියයන්නේ කවරෙක් උදෙසාද?යම් දිනෙක අපව කොල්ල කෑ අය හෙලිදරවු වේවි.යම් දවසක සත්‍යය එලි වේවි.අපේ මිනිස්සු ඔබව කවදාවත් අමතක නොකරනු ඇත.අවුරුදු දහසක් ගියත් ඔබ පිලිබද මතකය පවතිනු ඇත.

තවත් කථා කිහිපයක් පැවැත්වුනි.ඉන්පසු බෙර නාද සහ නැටුම් හඩවල් ඇසෙන්නට පටන් ගති.සෑම මහජන ආන්ඩුවක් සතුවම තමන්ගේ නාට්‍ය කන්ඩායමක් සිටී.සෑම කන්ඩායමක්ම තමන්ගේ නැටුමක් සූදානම් කරගෙන තිබේ.විශාල බෙර සහිතව ඔවුහු එකිනෙකා පැමිනෙති උත්සවකාරීව විවිධ කතාපුවත් ඔවුහු නර්තනයෙන් රග දක්වති.සාමාන්‍යයෙන් සෑම නාට්‍යකටම පොදු චරිතයක් ව පැවතියේ පතල්කරුගේ චරිතයයි.මෙම ''දුෂ්ට" පතල්කරු හෙල්මටයක් පැලද අදුරුවන් අවු කන්නාඩි යුවලක් පැලද සිටී.ඔහු මුවග දුම්වැටියකි.නමුත් ඔවුන්ගේ ඉගි නලු වල කිසිදු කෘතිම හෝ යාන්ත්‍රික ස්වරූපයක් නොවීය.නර්තනය උදෙසා පා එහා මෙහා වන විට ධූවිලි නගී.බෙර හඩ කන්බිහිරි කරවමින් නැගේ.ක්‍රමයෙන් රැස්ව සිටිනවුන්ද නැටුමට එකතු වෙමින් සිටී.ගැහැනු සහ පිරිමි වෙන් වෙන්ව හය දෙනෙක්ගේ හෝ හත්දෙනෙක්ගේ පේලි වලට බෙදී එකිනෙකාගේ ඉග වටා අත යවමින් ඔවුහු නර්තනයේ යෙදෙති.දහස් ගනන් ජනතාවක් එකවිට.ඔවුන් පැමිනියේ මේ සදහාය.දන්ඩකාරන්‍යය වනයේ සතුට යනු ඉතාම සම්භාවනීය දෙයකි.මිනිසුන් දින ගනන්,සැතපුම් ගනන් ගෙවමින් ගී ගැයීම සහ විනෝද වීම සදහා යනු ඇත.හිසෙහි මල් ගවසාගෙන,හිස්වැසුම් පිහාටු වලින් අලංකාර කරගෙන එකිනෙකාගේ ඉග වටා අත් යවමින්,මාහුවා පානය කරමින් රෑ පුරා නර්තනයේ යෙදී ප්‍රීති වීම සදහා ඕනෑම දුරක් ඔවුන් ඇවිද යනු ඇත.කිසිවෙක් තනියම නොගයයි.තනියම නර්තනයේ නොයෙදෙයි.මෙම සාමූහිකත්වය අන් කිසිවකටත් වඩා ඔවුන්ව  අතු ගා දැමීම සදහා කැස කවන "ශිෂ්ටාචාරය" සමග ඔවුන්ගේ තිබෙන නොඑකගතාවය සහ වෙනස පෙන්නුම් කරන්නේය.

මේ සියල්ල සිදුවනුයේ පොලිසියේ ආඥා චක්‍රය බලපැවැත්වීම යන කරුන නොසලකාය යන්න මා තුල මහත් විමතියක් ඇති කරයි.මේ සම්පූර්න උත්සවාකාරී ආනන්දය - හරියටම ග්‍රීන් හන්ට් මෙහෙයුම මධ්‍යයේ සිදුවේය යන්න විස්මයජනක කරුනකි.

මුලින්ම ගරිල්ලා හමුදාවේ සහෝදරවරු ගිනි අවි අතැතිව නර්තනය දෙස බලා හිදිති.නමුත් සිය කුලයේ සහෝදර තාරාවුන් වතුරට බැස ප්‍රීතිවනු ඉවුරට වි බලා සිටිය නොහැකි තාරාවුන් පිරිසක් මෙන් එකිනෙකා බැගින් පිලිවෙලින් ඔවුන්ද නර්තනයට එක්වේ.නොබෝ වේලාවකින් ඔලිව් කොල පැහැති නිල ඇදුම් නානා පැහැති අලංකාර වස්ත්‍රයන්ගේ පැහැය අතරේ මුසුවෙන්නට පටන් ගනී.ඉතා ඉක්මනින්,මාස ගනනකට මුන නොගැසුන,ඇතැම්විට අවුරුදු ගනනකින් පසුව මුන ගැසුන සහෝදර සහෝදරියන් මෙන්,මවුපියන් හා දරුවන් මෙන් වර්නවත් සාරි,මල් හා බෙර අතර සරමින් ඔලිව් කොල පැහැ නිල ඇදුම් විහිද යයි.මෙය නිසැකවම "මහජන හමුදාවකි".ගරිල්ලාවරු වනාහි ජනතාව නම් වූ ජල ප්‍රවාහයේ වෙසෙන මත්ස්‍යයෝ වෙති යන සභාපති මාඕගේ ප්‍රකාශය,මේ මොහොතේ,සාහිත්‍යයික සත්‍යයක් මෙන් විද්‍යාමාන වේ.

සභාපති මා ඕ සේතුං - ඔහුද මෙහි වීරයෙකි.තරමක් හුදෙකලාව,එහෙත් ජීවමානව ඔහු සිටී.වේදිකාවේ රක්ත පැහැ පසුතලයේ ඔහුගේ සේයාරුවක් පවතී.කාල් මාක්ස්ගේ ඡායාරූපයක්ද එහි ඇත.නක්සලයිට් ව්‍යාපාරයේ නිර්මාතෘවරයා  සහ න්‍යායවේදියා වූ චාරු මසුම්දාර්ගේ සේයාරුවද පසෙකින් විය.ඔහු සිය අදහස් දැක්වීම වලදී යොදාගත් රලු වූද,ප්‍රචන්ඩ වූද,ජීවිත පරිත්‍යාගය සහ ලේ සෙලවීම මහත්කොට දැක්වූවා වූද භාෂාව ඇතැම් විට මුලුමනින් ජනඝාතක එකක් යැයි සිතෙනු ඇත.නමුත් මෙම බූම්කාල් සැමරුමේදී,මෙම අරගලයේ ව්‍යුහයට මහත් සේ බලපෑ ඔහුගේ අදහස්,එම අදහස් වල හැගීම් වලින් සහ සන්දර්භයෙන් කෙතරම් දුරට ඉවතට ඇද ගනු ලැබ තිබේද යන්න නොසිතා සිටිමට මම අසමත් වීමි."පටු ආත්මාර්ථකාමයෙන් දූෂනය‍ නොවූ සහ මරනයට බිය නොවූ නව මිනිසෙකු නිර්මානය කරනු වස්" "අනුකම්පා විරහිත අරගලයක්" අවශ්‍ය බව ඔහු දශක ගනනකට පෙර පැවසූ අවස්ථාවේ - සිය සිහිනය තම ජීවිතාදර්ශය ලෙස ගෙන එය සැබෑ කරනු වස් කෙදිනක හෝ සටන් කරනු ඇත්තේ,රාත්‍රියේ ප්‍රීතිමත් රංගනයන්හි යෙදෙන මෙම ආදිවාසී ජන ප්‍රජාවන් බවට කිසිවිටකත් ඔහු සිතුවා වන්නට ඇද්ද?

 චාරු මසුම්දාර් - 1967 නක්සල්වාදී ව්‍යාපාරයේ නිර්මාතෘ
මෙම වනාන්තර තුල සිදුවෙමින් පවතින සමස්ථ ක්‍රියාවලිය හුදෙක් ගැටුම්කාරී ඉතිහාසයකින් පරිනාමය වි තිබෙන,අනම්‍යශීලි පක්ෂ න්‍යායවේදින්ගේ දෘඩ මතවාදී පරස්පරතාවන්ගේ ක්‍රියාවලියක් ලෙස බාහිර ලෝකයට දිස්වීම ඇත්ත වශයෙන්ම මෙහි සිදුවෙමින් පවතින දෙය අරභයා බලවත් අයුක්තියකි."චීනයේ සභාපති අපගේද සභාපති වේ සහ චීනයේ මාවත අපගේද මාවත වේ" යැයි චාරු මසුම්දාර් ප්‍රසිද්ධියේ පැවසු විට,එය කෙතරම් අන්තවාදී වීද යත් නැගෙනහිර පකිස්ථානයේ ( අද බංගලාදේශයේ) සමූලඝාතනයන් සදහා ජෙනරාල් යාහියා ඛාන් අන දෙන විට - පකිස්ථානය එවකට චීනයේ හිතවත් රාජ්‍යයක් වීම මත - නැක්සලයිට්වරු නිහඩ ස්ථාවරයක පසුවූහ.කාම්බෝජයේ කෙමර් රූජ් සමූලඝාතනයන් අරභයාද ඔවුහු නිහඩතාවය රැක්කාහ.චීන හා රුසියන් විප්ලවයන් හි සීමාන්තික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද එවැනිම නිහඩතාවයක් විය.ටිබේටය සම්බන්ධවද එය එසේය.නැක්සලයිට් ව්‍යාපාරය තුල පවා සීමාන්තික අති ධාවනකාරි ක්‍රියාකාරකම් වරින් වර පැන නැගුනි.එවැනි ප්‍රචන්ඩ සීමාන්තික ක්‍රියා යුක්ති යුක්ත කිරීම දුෂ්කරය.
නමුත් ඔවුන් කල සියලු දේ පන්ජාබයේ,කාශ්මිරයේ,දිල්ලියේ,බොම්බායේ,ගුජරාටයේ කොංග්‍රසය සහ බීජේපීය සිදු කල සීමාන්තික ක්‍රියා සමග සසදන කල්හි තත්වය කවරක් වන්නේද?මෙම සියලු තැතිගන්වන සුලු ප්‍රතිවිරෝධතා පැවතියදී වුවද චාරු මසුම්දාර් තමා ලියන හා ප්‍රකාශ කරන දේ වෙනුවෙන් පෙනී සිටි දෘෂ්ටිවාදියෙක් වූයේය.ඔහු නිර්මානය කල පක්ෂය ( සහ එය ඇසුරින් බෙදී හටගත් විවිධ කන්ඩායම් ) විප්ලවය පිලිබද සිහිනය ඉන්දියාව තුල ජීවමානව සහ යථාවත්ව ජීවත් කරවමින් සිටී.එබදු සිහිනයකින් තොර සමාජයක් උපකල්පනය කරන්න.මෙම සන්දර්භය තුල ඔහු පිලිබද දෘඩ විනිශ්චයකට පැමිනිමට අපට ඉතිහාසය ඉඩ නොදේ.විශේෂයෙන් ගාන්ධිගේ "අවිහිංසාවාදි සටන්" පිලිබද ආගමික ස්වරූපී දෙබිඩි උමතුවකින් වෙලී සිටිනා ගමන් එවැනි විනිශ්චයකට එලඹීමට අපට අයිතියක් තිබේද?."ධනවතා ධනය හිමි කර ගත යුතුය.ඔහු එය යුක්තිසහගත ලෙස තමන්ගේ පෞද්ගලික උවමනා වෙනුවෙන් වැය කරනා අතරේ සමාජය වෙනුවෙන් ධනය වැය කරන භාරකරුවෙකු ලෙසද ක්‍රියා කරනු ඇත" යන ධනවතාගේ වගකීම පිලිබද ගාන්ධියානු න්‍යාය පිලිගෙන තිබෙන සන්දර්භයක සිට එබදු විනිශ්චයකට එලඹීම - එය කල හැකිද?

නමුත් උත්ප්‍රාසාත්මක ලෙස චාරු මසුම්දාර් ඉතා ඈතක පැවසූ දෙය වත්මන් ඉන්දීය ස්ථාපිතයේ සාර්වරුන් වන,නැක්සලයිට්වරුන් අනුකම්පා විරහිතව මර්ධනය කල ඉන්දීය රාජ්‍යය මේ වන විට වෙනත් සන්දර්භයක සිට පුනරුච්චාරනය කරමින් සිටී.
-චීනය ගිය මාවත අප යන මාවතද වන්නේය -

උඩ යට මාරු වී ඇත.සියල්ල නොපිට පෙරලි ඇත.

චීනයේ මාවත දැන් වෙනස් ව තිබේ.චීනය අන් රටවල් මත ආක්‍රමනශීලී බලපෑම් එල්ල කරන,වෙනත් රටවල මිනිසුන්ගේ සම්පත් දෙස කෑදර බැලුම් හෙලන අධිපතිවාදී බලයක් ලෙස වර්ධනය වෙමින් පවතී.නමුත් පක්ෂයේ ස්ථාවරයේ වෙනසක් නැත.පක්ෂය හිත හදාගෙන ඇතිවා සේය.

පක්ෂය බලය අත්පත් කරගනිමින් ඉන්නා අවධියේ දී ( වර්තමාන දන්ඩකාරන්‍යයේ මෙන් ) එය ජනතාව වෙත සැබැවින්ම ගමන් කරන,ජනතාවගේ සෑම අවශ්‍යතාවයක් කෙරෙහි අව්‍යාජව සැලකිලිමත් වෙන අවධියේදී එය සැබැවින්ම ජනතාවගේ පක්ෂයක් වන්නේය.එහි හමුදාව සැබැවින්ම ජනතාවගේ හමුදාවක් වන්නේය.නමුත් විප්ලවය ජයග්‍රහනය කල පසු මෙම ප්‍රේම සම්බන්ධතාවය එලෙසම පවතිනු ඇද්ද?එය අතෘප්තකර විවාහ බන්ධනයක් බවට පත්විය නොහැකිද?මහජනතාවගේ හමුදාව ඉතා පහසුවෙන් ජනතාවට පිටු පෑමේ සම්භාවිතාවයක් නොපවතීද?අද දන්ඩකාරන්‍යයේදී,පක්ෂය බෝක්සයිට් ලෝහය කදුවලම තිබිය යුතු බව විශ්වාස කරයි.හෙට,එය සිය හිත වෙනස් කර ගනු ඇද්ද?
නමුත් අපට අනාගතයේ විය හැකි යැයි සැක සිතෙන යමක් නිසා වර්තමානයේ කිසිවක් නොකොට,කිසිදු ස්ථාවරයක් නොගෙන සිටිය හැකිද?අප එසේ කල යුතුද?

රාත්‍රිය පුරා නැටුම් ගැයුම් ඇදි යයි.මම කදවුර වෙත නැවත ඇවිද යමි.මාසි කදවුරේ සිටියාය.අපි බොහෝ වේලා කතා කරමින් සිටියෙමු.මා ඇයට නෙරුදාගේ කවි පොතක් දුන්නෙමි.ඇය දිගින් දිගට මගෙන් ප්‍රශ්න අසයි."අප ගැන එලියේ තිබෙන අදහස කුමක්ද?ශිෂ්‍යයන් කියන්නේ මොනවාද?කාන්තා ව්‍යාපාරය ගැන මට කියන්න.දැනට තිබෙන දැවෙන ප්‍රශ්න මොනවාද?"ඇය මා ගැන අසයි.මගේ ලේඛන ජීවිතය ගැන විමසයි.මගේ ඛේදවාචකය පිලිබද මා හැකිතාක් අවංකව ඇයට කරුනු පවසමි.ඉක්බිති ඇය තමා ගැන කතා කිරීම ඇරඹුවාය.ඇය පක්ෂයට සම්බන්ධ වූ ආකාරය.තම පෙම්වතා පසුගිය මැයි මාසයේදී ක්ෂනික වැටලීමක් අතර තුර පොලිසිය විසින් මරා දැමූ බව ඇය කීවාය.නාශික් හිදී අත්අඩංගුවට ගත් හෙතෙම වරාන්ගල් වලට ගෙන ගොස් ඝාතනය කොට තිබුනි."ඔවුන් ඔහුට දරුනු ලෙස වද හිංසා පමුනුවන්න ඇති"ඔහු අත්අඩංගුවට පත්වූ පුවත කන වැකෙද්දී ඇය ඔහුව මුන ගැසෙනු වස් ගමන් කරමින් සිට ඇත.දිගු නිහැඩියාවකට පසු,තමා වසරකට පෙර විවාහ වී සිටි අයෙක් බව ඇය කීවාය."ඔහුවත් ඝාතනයට ලක්වුනා"ඇය පැවසුවාය.

මගේ පැදුර මත දිගාවී අවට නොනැවතී ඇසෙන බෙර හඩ සහ නොනැවතී ඇසෙන සන්තෝෂයේ හඩට සවන් දෙමින් මාසිගේ නොනවතින ශෝකය සහ මාඕවාදී පක්ෂයේ කේන්ද්‍රීය අදහස වන චාරු මසුම්දර්ගේ නොනවතින යුද්ධය පිලිබද සංකල්පය ගැන කල්පනා කරමි.මාඕවාදින් වෙත සාම සාකච්ඡා සදහා ආරාධනා කිරීම නිෂ්ඵල යැයි මිනිස්සු කල්පනා කරන්නේ මේ නිසාය.එය යලි හුස්ම ගැනීමේ අවසරයක් ලෙසත්,ප්‍රතිසංවිධානය වී ප්‍රතිසන්නද්ධ වී යලි සිය නොනවතින යුද්ධය වෙත ගමන් කිරීම සදහා වන විරාම කාලයක් ලෙසත් යොදා ගනු ඇත යන්න ජනප්‍රිය මතයයි.දිග්ගැස්සෙන යුද්ධය යනු කුමක්ද?එය සංකල්පයක් ලෙස එනයින්ම කෲර එකක්ද?නැතිනම් එය ‍මෙම යුද්ධයේ ස්වරුපය මත ඇතිවූ තත්වයක්ද?දන්ඩකාරන්‍යයේ මෙම ජනතාව පසුගිය තිස් වසර පුරාවට මෙම ‍දිග්ගැස්සුන යුද්ධයේ නියුතු නොවී නම්,අද ඔවුන්ගේ තත්වය කවරක් වනු ඇද්ද?

දිග්ගැස්සෙන යුද්ධයක් පිලිබද විශ්වාසය තබනුයේ මාඕවාදින් පමනද?ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූ මොහොතේ සිටම ඉන්දියාව අධිපතිවාදී බලවේගයක් බවට පත්විය.එය ප්‍රදේශ ඈදා ගත්තේය.යුද්ධ පිට යුද්ධ වලට පැටලුනේය.දේශපාලන ප්‍රශ්න මිලිටරිමය ලෙස ආමන්ත්‍රනය කිරීම සදහා කාශ්මිරයේ,හයිද්‍රාබාදයේ,ගෝවේ,නාගලන්තයේ,මනිපුරයේ,තොලන්ගානා හිදී,ඇසැමයේ,පන්ජාබයේ දී සහ බටහිර බෙංගාලය,බිහාරය,අන්ද්‍රා ප්‍රදේශය හා  මධ්‍යම ඉන්දියාවේ ගෝත්‍රික ප්‍රදේශ පුරා පැතිර යන නැක්සලයිට් නැගිටීමේදී යුද්ධ බලය යෙදවීමට එය කිසිසේත්ම මැලි නොවීය.දස දහස් ගනනක් නිර්දය ලෙස මරා දමා ඇත.දස දහස් ගනනක් අනුකම්පා විරහිත ලෙස වද හිංසාවලට ගොදුරු කොට ඇත.මේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජ වෙස්මුහුනක් පසුපස සැගවෙමින් සිදු කල දේවල්ය.මෙම යුද්ධ දියත් කෙරුනේ කාට විරුද්ධවද?මුස්ලිම්වරුන්ට,ක්‍රිස්තියානින්ට,සීකයන්ට,කොමියුනිස්ට්වාදීන්ට,දාලිත්වරුන්ට,ගෝත්‍රිකයන්ට - සරලවම ගතහොත් රාජ්‍යය විසින් පතිත කරන පීඩනයට යටවී තැලී චප්ප වෙනු වෙනුවට පෙරලා පහර දීම තෝරාගත් සියලුම දුගීන්ට එරෙහිව මෙම සංග්‍රාම ශක්තිය යෙදවුනි.ඉන්දීය රාජ්‍යය වනාහි ( කවර පක්ෂයක් ආන්ඩු බලය හෙබවූවද ) සිය "අනෙකා" වෙත නොඉවසිලිමත් ආක්‍රමනශීලිත්වයක් දක්වන කුලීන හින්දු රාජ්‍යයකි යන්න පැහැදිලිය.සැබෑ යටත්විජිතවාදි ස්වභාවයකින් එය විවිධ ප්‍රජාවන් එකිනෙකා කොටවමින් සිය පැවැත්ම සාදා ගනියි.එය නාගලන්තයේ හා මිසෝරාමයේ වැසියන්ව,මාඕවාදීන් සමග සටන් කරනු වස් චත්තිස්ගාර් ප්‍රදේශයට යවයි.සිකයන් කාශ්මිරයට යවයි.කාශ්මිර වැසියන් ඔරිස්සාවට යවයි.දෙමල ජාතිකයන්ව ඇසෑමයට යවයි.මෙය සැබැවින්ම දිග්ගැස්සුන යුද්ධයක් නොවේ නම් අන් කවරක්ද?

අලංකාර තාරකාවන්ගෙන් සපිරි රාත්‍රියක නැගෙන අප්‍රසන්න සිතුවිලි.සුඛ්දේව් තනියම සිනාසේ.පරිගනකයේ ආලෝකය ඔහුගේ මුහුන මත වැටී තිබේ.ඔහු වැඩ කෙරෙහි උමතු ආදරයක් දක්වන වැඩලෝලියෙකි.සිනාවෙන්නේ ඇයිදැයි මම අසමි."මට ගිය අවුරුද්දේ බුම්කාල් උත්සවයට පැමිනි මාධ්‍යවේදින්ව මතක් වුනා"සුඛදේවී කීවේය "ඔවුන් ආවේ දවසකට හෝ දෙකකට.එක් අයෙක් මගේ රයිෆලය තමා අතට ගෙන තමාගේම පින්තූරයක් වෙන කෙනෙක් ලවා අරගත්තා.ආපසු ගියාට පසු ඔවුන් මිනීමරන යන්ත්‍ර වගේ නමකිනුයි අපව හදුන්වලා තිබුනේ"

Thursday, September 23, 2010

සහෝදරවරුන් සමග / Walking with the comrades - 7

Bob cut බ්‍රිගේඩය - බස්තාර් හිදී ‍මෙම කොන්ඩා මෝස්තරය සහිත වීම යනු
මරන වරෙන්තුව අත දරා සිටීමකි

නාන්තර තැපෑල පැමිනේ.කොම්රේඩ් වෙනු මට "විස්කෝතු" එවා ඇත.විස්කෝතු යනු වනයේදී ලියුම් සදහා පර්යාය පදයකි.නැවත නැවතත් නවනු ලැබූ කුඩා කඩදාසි කැබැල්ලක හෙතෙම ගීතයක වචන ලියා මවෙත එවා තිබුනි.එය මට ලබාදෙන බවට හේ පොරොන්දු වී තිබින.එය කියවද්දි නර්මදා සහෝදරිය සිනාසෙයි.ඇය මේ කතාව දනී.කතාවේ ඉතිහාසය පක්ෂය කෙරෙහි මිනිසුන් විශ්වාසය තැබීම ආරම්භ කල,සිය "අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන්" පක්ෂය වෙත රැගෙන ආ 80 දශකය දක්වා දිවෙයි.ප්‍රශ්න පක්ෂය වෙත ගෙනා පලමු පිරිස කාන්තාවෝ වූහ.ගීතයේ කථා නායිකාව සන්ධ්‍යාවක ගිනිමැලයක් අසල සිට ගැයූ මැදිවියේ කාන්තාවකි.ඇය විවාහක මාදියා ස්ත්‍රියකි.චාරිත්‍රානුකූලව මොවුන් විවාහ වූ පසු තම හැට්ට ඉවත් කොට උඩුකය නිරුවත්ව සිටිය යුතු බවට නියමයක් විය.

Jumper polo intor Dada, Dakoniley
Taane tasom intor Dada, Dakoniley
Bata papam kittom Dada, Dakoniley
Duniya kadile maata Dada, Dakoniley

( අපට අපගේ හැට්ටා තබා ගත නොහැකි බව ඔවුහු කියනවා ඩාඩා
ඒවා ඉවත් කරන්නැයි ඔවුන් අපට කියනවා ඩාඩා
අපි මොන පවද කරලා තියෙන්නේ ඩාඩා
ලෝකය වෙනස් වෙලා,එහෙම නේද ඩාඩා)

Aatum hatteke Dada, Dakoniley
Aada nanga dantom Dada, Dakoniley
Id pisval manni Dada, Dakoniley
Mava koyaturku vehat Dada, Dakoniley

( ඒත් අපි කඩපිලට යද්දි හැමවෙලේම ඩාඩා
අඩ නිරුවතිනුයි අපි යන්න ඕනෙ ඩාඩා
අපිට මේ ජීවිතය ඕනෙ නැහැ ඩාඩා
එබව අපේ මුතුන්මිත්තන්ට කියන්න ඩාඩා)

මෙය වනාහි පක්ෂය සටන් කිරීමට තීරනය කල මුල්ම කාන්තා ප්‍රශ්නයයි.එය සූක්ෂම ලෙස ශල්‍යකර්මීය අවධානයකින් අතගැසිය යුතු ප්‍රශ්නයක් වූයේය.1986 දී ආදිවාසි මහිලා සංගමය ස්ථාපනය කෙරින.එය පසුව ක්‍රාන්තිකාරි ආදිවාසි මහිලා සංගමය බවට පරිනාමය වූ අතර අද වන විට 90 000 ට අධික ප්‍රමානයක් එහි සාමාජිකත්වය දරයි.එය ඇතැම්විට මුලු රටේම විශාලතම කාන්තා සංවිධානයද විය හැක.
( කෙසේ වුවද මේ සියලු දෙනාම,එනම්  90000 ම මාඕවාදීන්ය.මොවුන්ව අතු ගා දමන්නට යනවාද?සංස්කෘතික සංවිධානයේ 10000 ට සිදුවනුයේ කවරක්ද?ඔවුන්ද අතු ගා දැමෙනු ඇත්ද?)
මහිලා සංගමය බලහත්කාර විවාහ සහ පැහැරගෙන ගොස් විවාහ සිදුකිරීමේ පැරනි ගෝත්‍රික සම්ප්‍රදායන්ට එරෙහිව සටන් කරන්නට වන්නේය.මල්වර වූ  ගැහැනු ගමෙන් හා මනුශ්‍ය වාසයෙන් පිට කැලෑ වල හුදෙකලා කුටි වල රදවා තැබිමේ සම්ප්‍රදායන්ට එරෙහිව.ද්විවිවාහ සහ ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට එරෙහිව.සංගමය සිය සියලු සටන් ජයගත්තේ නැත.කෙසේ වෙතත් එවැනි දෙයක් මුලුමනින්ම සාර්ථක කර ගත් කිසිදු ස්ත්‍රීවාදයෙක් සිටිද?නිදසුනක් ලෙස දන්ඩකාරන්‍යයේදී අද පවා කාන්තාවන්ට බීජ වැපිරීම තහනම්ය.පක්ෂය විසින් කැදවන රැස්වීම වලදී මෙම පුරුද්ද වැරදි බවටත් එය පිටුදැකිය යුතු බවටත් පිරිමින් එකග වේ.නමුත් භාවිතයේදී ඔවුන් සරලවම ඊට විරෝධය පායි.පක්ෂය මෙහිදී කාන්තාවන් මහජන ආන්ඩුවලට අයත් පොදු ඉඩම් වගා කිරිමේදී බීජ ඉසිම සදහා යොදා ගත යුතු බවට තීරනය කලේය.එවැනි ඉඩම් වල ඔවුහු බීජ ඉසිති.එලවලු වවති.අර්ධ ජයග්‍රහනයක්- කෙසේ වෙතත් එය සම්පූර්න ජයක් නොවේ.

බස්තාර් හි පොලිස් මර්ධනය ඉහල යද්දී මහිලා සංගමයේ කාන්තාවන් සියගනන් හා ඇතැම්විට දහස් ගනන් වලින් සංවිධානය වෙමින් පොලිසිය සමග භෞතිකව අභිමුඛ වීම ආරම්භ විය.මහිලා සංගමය මෙලෙස පැවතීම යන කරුනම ගතානුගතික ආකල්ප බොහොමයක් රැඩිකල් ලෙස අභියෝගයට ලක්කොට තිබේ සහ කාන්තාවන්ට එරෙහි ගතානුගතික ස්වරූපයේ සූරාකෑමේ බොහෝ විධි අධෛර්යයට පත්කොට තිබේ.බොහෝ තරුන ගැහැනුන්ට ගරිල්ලා හමුදාවට සම්බන්ධ වීම යනු සිය ප්‍රජාවන් අතර ඇති සම්ප්‍රදායික සීමාවන්ගෙන් නිදහස ලැබීමකි.මහිලා සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන සුසිලා සහෝදරිය සංගමයේ කාන්තාවන්ට එරෙහි සල්වා ජුදුමයේ ප්‍රචන්ඩත්වය පිලිබද අපට පවසයි.ඇය පැවසූ පරිදි ඔවුන්ගේ එක් සටන් පාඨයක් වූයේ Hum do bibi layenge! Layenge! ( අපට බිරින්දෑවරු දෙදෙනෙක් අවශ්‍යය.අප බිරින්දෑවරු දෙදෙනකු ගන්නෙමු ) යන්නයි.දූෂන සහ ලිංගික අඩත්තේට්ටම් කිරීම්‍ සංගමයේ කාන්තාවන් වෙත විශේෂයෙන් ඉලක්ක වූයේය.මෙම උමතු ප්‍රචන්ඩත්වය දුටු බොහෝ තරුන කාන්තාවන් පසුව ගරිල්ලා හමුදාවට එකතු වූ අතර මේ වනවිට කේඩරයේ සියයට 45 පමන කාන්තාවන්ගෙන් සංයුක්ත වේ.එවැනි අය කිහිප දෙනෙකු නර්මදා ‍සහෝදරිය විසින් මට හදුන්වා දුන්නාය.

රින්කි සහෝදරියට ඇත්තේ ඉතා කෙටි කෙස් කලඹකි.ගොන්ද් භාෂාවට අනුව එය බොබ් කට් එකකි.එය ඇගේ නිර්භයත්වය පෙන්නුම් කරයි.මන්ද මෙහි බොබ් කට් එකක් සහිත වීම යනු මාඕවාදී වීමකි.දුටු තැන වරෙන්තු රහිතව මරා දැමීම සදහා පොලිසියට එය උවමනාවටත් වඩා වැඩි සාක්ෂියකි.2005 රින්කිගේ ගම්මානයට නාග බැටැලියනය සහ සල්වා ජුදුමය කඩා වැදුන අතර ඒ කාලයේ ඇය ගමේ මිලිටරි අංශයේ වැඩ කරමින් සිටියාය.ඇගේ මිතුරියන් වූ සුක්කි හා ලුක්කිද එසේම විය.මොවුහු සියල්ලෝ මහිලා සංගමයේද සාමාජිකත්වය දැරූහ.ගම ගිනිබත් කල ඉක්බිති බැටෑලියනය ලුක්කි හා සුක්කිව අල්ලාගත් අතර තවත් දැරියක ද ඇතුලු ඔවුන් තිදෙනාම රංචු ගැසී දූෂනය කල සෙබලු ඉක්බිති ඔවුන් මරා දැම්මාහ."ඔවුන්ව දූෂනය කරනව මට දකින්න ලැබුන.ඒක උනේ තනකොල ගොල්ලක් උඩ"රින්කි කියයි." ඒත් සියල්ල ඉවර වෙද්දි තවදුරටත් කිසිම තනකොලයක් ඉතිරි වෙලා තිබුනේ නැහැ"නාග බැටැලියනය ඉවත්ව ගොස් මේ වනවිට වසර ගනනාවකි.නමුත් පොලිසිය තවමත් පැමිනෙයි.
"ඔවුන්ට කුකුලන් හෝ ගැහැනුන් අවශ්‍ය වූ විට ඔවුන් කිසිදු විමසීමක් නැතිව නැවත නැවත එනවා"

අජිතා ද බොබ් කට් එකක් සහිතය.ජුදුමය ඇගේ ගම අසලට පැමින තිදෙනෙකුව දියේ ගිල්වා මරා දැම්මේය.අජිතා මිලිෂියාවේ වැඩ කල අතර පාරාල් නාර් නැමැති ගම්මානය දක්වා ජුදුමය සිදු කරන ක්‍රියා නිරික්ෂනය කිරීමේ අවස්ථාව ලැබුවාය.මිනිසෙකුගේ උගුරට වෙඩි තබා ඔහුව මරා දමන ආකාරයත් කාන්තාවන් සය දෙනෙකු දූෂනය කෙරෙන ආකාරයත් ඇය දුටුවාය.

සුන්දර ගැහැනු ලමයෙකු වන ලක්ෂ්මි සහෝදරිය ජුදුමය විසින් සිය ගමේ ගෙවල් 30 ක් ගිනි තබා විනාශ කරන ආකාරය දුටු අයුරු මට විස්තර කලාය."අපිට ඒ කාලේ ආයුද තිබුනෙ නැහැ" ඇය කීවාය." බලාගෙන ඉන්නව හැර විකල්පයක් තිබුනෙත් නැහැ"
ඉක්බිති නොබෝ කලෙකින් ඇය ගරිල්ලා හමුදාවට එකතු වූවාය.2007 නයාගර් සිට ඔරිස්සා දක්වා මාස තුන හමාරක් තිස්සේ ඇවිද ගිය 150 ක භට පිරිස අතර ඇයද වූවාය.මෙම භට පිරිස පොලිස් ආයුද ගබඩාවක් වැටලූ අතර රයිෆල් 1200 ක් සහ පුපුරන ද්‍රව්‍ය අති විශාල තොගයක් තමන් සතු කර ගත්හ.

සුමිත්‍රා සහෝදරිය ගරිල්ලා හමුදාවට සම්බන්ධ වන්නේ 2004 දීය.ඒ සල්වා ජුදුමය සිය භීෂන ක්‍රියා ආරම්භ කිරීමට පෙර කාලයයි.තමා ගරිල්ලා හමුදාව සමග එකතු වූයේ නිවෙසින් පලා යාමට තිබූ අවශ්‍යතාවය මත බව ඇය කියයි.”ගැහැනුන්ව සෑම ආකාරයටම පාලනය කෙරෙනවා”ඇය මට කීවාය.අපේ ගම්මානයේදී ගැහැනු ලමයින්ට ගස් නගින්න අවසර නැහැ.එහෙම කලොත් රුපියල් පන්සියයක දඩයක් හරි කිකිලියක් හරි දෙන්න වෙනවා.පිරිමියෙක් ගැහැනියකට ගහන විට ඇය පෙරලා ගැහුවොත් ඇයට ගමට එලුවෙක් දඩ විදිහට දෙන්න වෙනවා.පිරිමි කදුකර ප්‍රදේශවල මාස ගනන් දඩයමේ යනවා.දඩයම් කල සතුන් ලගට යාමට ගැහැනුන්ට ඉඩ දෙන්නෙ නැහැ.හොදම මස් කොටස මේ නිසා හැමවෙලාවෙම ලැබෙන්නෙ පිරිමින්ට.ගැහැනුන්ට බිත්තර කෑම පවා තහනම්”

මහිලා සංගමයේ වැඩ කල තම මිතුරියන් දෙදෙනෙකු වූ පාර්වතී හා කමලා ගැන සුමිත්‍රා කියයි.පාර්වතී දකුනු බස්තාර් ප්‍රදේශයේ පොලේකයා ගමේ උපත ලද අයෙකි.එම ගමේ අනෙත් සියලු දෙනා මෙන්ම ඇයද තම ගම සල්වා ජුදුමය විසින් ගිනිබත් කරනු බලා සිටියාය.
ඉන්පසු ඇය ගරිල්ලා හමුදාවට බැදුනාය.2009 ඇය සහ කමලා මාර්තු 8 දින කාන්තා දින සැමරුමක් තමන් වැඩ කල ප්‍රදේශයේ සංවිධානය කලා පමනි.වද්ගෝ නම් ග්‍රාමයෙන් පිටත කුටියක ඔවුහු රෑ ලැගුම් ගෙන සිටියහ.පොලිසිය රැයේ පැල වට කල අතර වෙඩි තබන්නට විය.කමලා පෙරලා වෙඩි තැබුවාය.නමුත් අවසානයේ තුවාල ලැබ එතනම මිය ගියාය.වෙඩි වැදුනු පාර්වති පලා යාමට සමත් වූවත් පසුව ඇගේ මල සිරුරද වනයේ තිබි හමුවිය.

ගිය වසරේ කාන්තා දිනයේදි සිදුවූයේ එයයි.‍මේ වසරේ කාන්තා දිනය පිලිබද පලවූ පුවත්පත් වාර්තාවක් මෙසේය.

බස්තාර් හි කැරලිකරුවෝ කාන්තා අයිතින් වෙනුවෙන් පිතිහරඹයේ යෙදෙති
සහර් ඛාන් mail today රායිපූර් 2010 මාර්තු 07


මාඕවාදි ව්‍යසනය මැඩපැවැත්වීමට රජය සියලු පියවර ගෙන ඇතිවා විය හැක.නමුත් චත්තිස්ගාර්හි කැරලිකරුවන්ගෙන් කොටසකට ස්වකීය පැවැත්මටත් වඩා වැදගත් ප්‍රශ්න තිබෙනවා වැනිය.ජාත්‍යන්තර කාන්තා දිනය ලං වන පසුබිමක කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සදහා බස්තාර් ප්‍රදේශයේ මාඕවාදීන් සතියක් පුරා දිවෙන සැමරුම් මාලාවක් ප්‍රකාශයට පත්කොට තිබේ.බස්තාර් හි බිජාපූර් නගරය පුරා පෝස්ටර් ඇලවි ඇත.තමන් කාන්තා නිදහසේ වීරයන් බවට තමා විසින්ම ප්‍රකාශයට පත්කරගෙන තිබෙන මොවුනගේ හැසිරීම ප්‍රාන්ත පොලිසියේද විස්මයට හේතු වී තිබේ.බස්තාර්හි ඉන්ස්පෙක්ටර් ජෙනරල්වරයා වන ටි.ජේ.ලොන්ග්කුමාර් පවසන පරිදි "ප්‍රචන්ඩත්වය සහ ලේ වැගිරීම ආගම කරගත් නැක්සලයිට්වරුන්ගෙන්  මෙවැනි ව්‍යාපෘතියක් මා දුටු පලමු වතාව මෙයයි"

වාර්තාව දක්වන පරිදි පොලිස් නිලධාරියා තවදුරටත් මෙසේ කියයි.

"මම හිතන්නෙ මාඕවාදීන් අපගේ අති සාර්ථක මහජන අවදිකිරිමේ ව්‍යාපාරයට විරුද්ධ ව්‍යාපෘතියක් විදිහටයි මේක කරන්නෙ.අපි එම ව්‍යාපාරය ආරම්භ කලේ ග්‍රීන් හන්ට් මෙහෙයුමට අවශ්‍ය ජන සහයෝගය ලබාගැනීමට.එහි අවසන් අරමුන අති වාමවාදී අන්තවාදය සහමුලින් පරාද කිරීමයි"

අනව‍බෝධයේ සහ ද්වේශයේ මෙම අපූර්ව මිශ්‍රනය අසාමාන්‍ය වූවක් නොවේ.මෙවැනි උදාහරන ගනනාවක් පක්ෂයේ ප්‍රකාශකයා වන ගුද්සා උසෙන්දි දනී.ඔහුගේ කුඩා පරිගනකය සහ එම්පී 3 ධාවකය මාධ්‍ය නිවේදන,ප්‍රතික්ෂේප කිරීමේ නිවේදන,නිවැරදි කිරීමේ නිවේදන,පක්ෂ සාහිත්‍යය,මිය ගියවුන්ගේ ලැයිස්තු,රූපවාහිනි දර්ශන හා වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපාංග වලින් පිරී පවතී."ගුද්සා උසෙන්දි වීමේ නරකම හරිය" ඔහු කියයි."නරකම හරිය තමයි කවදාවත් පල නොවෙන නිවැරදි කිරීමේ නිවේදන යවන එක.අප ගැන කියන බොරු පිලිබද පැහැදිලි කරන එවැනි පල නොවූ නිවේදන සහිත වෙනම පොතක් වුනත් හදන්න ඇහැකි"ඔහුගේ කටහඩ තුල කනගාටුවක් හෝ කලකිරීමක් නැත.තිබෙනුයේ මද හාස්‍යයකි.

"ඔබ ප්‍රතික්ෂේප කල වඩාත්ම පදනම් විරහිත චෝදනාව කුමක්ද?"

ඔහු කල්පනා කරයි."2007 දී ‘Nahin bhai, hamne gai ko hathode se nahin mara ( නැත මිත්‍රය.මිටියෙන් ගසා ගවයන් මරා දැමූයේ අප නොවේ ) යන හිසින් අපිට නිවේදනයක් නිකුත් කරන්න සිද්ද වුනා.2007 රාමන් සිං ආන්ඩුව තමන්ගේ මැතිවරන පොරොන්දුවක් අනුව ගව ව්‍යාපෘතියක් පටන්ගත්තා.හැම ආදිවාසියෙක්ටම එක ගවයා බැගින් කියන එකයි ඒකෙ ‍තේමාව වුනේ.එක් දවසක රූපවාහිනී චැනල සහ පුවත්පත් වල වාර්තා පල වුනා නැක්සලයිට්වරු මිටි වලින් පහර දී මෙම ව්‍යාපෘතියේ ගවයන් සමූහ වශයෙන් ඝාතනය කොට තිබෙන බව.නැක්සලයිට්වාදය හින්දු විරෝධී සහ බීජේපී විරෝධී විම ‍මීට හේතුව බවයි ඔවුන් පැවසුවේ.හින්දු බහුතරය ඉන්න රටක මෙවැනි ගව ඝාතනයක් - ප්‍රතිඵලය කෙසේ වන්නට ඇද්දැයි ඔබට සිතා ගත හැකියි නේද?‍අපි වහාම ‍චෝදනාව ප්‍රතික්ෂේප කලා.නමුත් කිසිතැනක එය පලවුනේ නැහැ.පසුව හෙලිදරවු වුන පරිදි ගවයන් බෙදාහැරීමට භාර වූ පුද්ගලයා අවස්ථාවෙන් උපරිම වාසි ලැබුව බව වාර්තා වුනා.ඔහු ගවයන් විකුනා දමා නිදහසට කරුන විදිහට අප අවුත් උන් පැහැරගෙන ගිය බව කියන්නට වුනා"

නමුත් මෙයටද වඩා බරපතල දැ සිදුව තිබේ.

"තව දුසිම් ගනන් සිද්දි තිබෙනව.සල්වා ජුදුමය පිහිටවූ මුල් කාලයේ ඔවුන් අම්බේලි නම් ග්‍රාමයට පහර දිල එය ගිනිබත් කරල කොට්‍රාපල් කියන ගම වෙත ගමන් කරන්නට වුනා.නාග බැටැලියනය,පොලිසිය.විශේෂ පොලිස් භටයන් - මේ සියල්ලන් ඒකාබද්ධව.ඔබ කොට්‍රාපල් ගැන අහල තියෙනවද?එය සුවිශේෂී ගම්මානයක්.යටත් වීම ප්‍රතික්ෂේප කල නිසා 22 වතාවක් එය ගිනිතබනු ලැබුවා.නමුත් මේ පාර ජුදුමය ගම වෙත ලගාවෙද්දි ග්‍රාමාරක්ෂක මිලිෂියාව සූදානමින් සිටියා.ඔවුන් වටකොට පහර දීමක් සූදානම් කලා.විශේෂ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සටනේදී මිය ගියා.සත්දෙනෙක් අත්අඩංගුවට පත්වුනා.සෙසු අය පලා ගියා.නමුත් ඊලග දවසේ පුවත්පත් වල පලවුනේ වෙනම කතාවක්.ඒ අනුව නක්සලයිට්වරු අසරන ආදීවාසීන් කපා කොටා මරා දමා ඇති බවට ප්‍රකාශ වුනා.සමහරු අපි සියගනනක් මරා දැමූ බව පැවසුවා.frontline වැනි ගෞරවනීය සගරාවක පවා අපි ආදිවාසින් 18 ක් මරා දැමූ බව පලවුනා.කරුනු පිලිබද දැඩි ලෙස සුපරික්ෂාකාරී වන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් වෙන කේ.බලගොපාල් පවා මෙය පුනරුච්චාරනය කලා.අපි නිවැරදි කිරීමේ නිවේදනයක් යැවුවා.නමුත් කිසිතැනක නැහැ පලවුනේ.පසුව තමන්ගේ කෘතියක බලගොපාල් තමන්ට මේ සම්බන්ධයෙන් වැරදීමක් සිදුව තිබුනු බව පිලිගෙන තිබුනා.නමුත් ඒ වෙනකොට සියල්ල අවසානයි.කවුද ඒව අවධානයට ගන්නෙ?"

අල්ලා ගත් සත්දෙනාට කුමක් වීදැයි මම ඇසීමි.
"ප්‍රාදේශිය කමිටුව මහජන උසාවියක් කැදෙව්වා.මිනිස්සු හාරදාහක් පමන ඊට සම්බන්ධ වෙලා හිටියා.මුලු කතාවටම ඔවුන් ඇහුම්කන් දුන්න.විශේෂ පොලිස් නිලධාරින් දෙදෙනාට මරන දඩුවම නියම වුනා.තවත් පස් දෙනෙක්ට අවවාද කොට යන්න දිය යුතුයි කියා තීන්දු වුනා.තීරනය ගත්තෙ මිනිස්සු.අද විශාල ප්‍රශ්නයක්ව තිබෙන ඔත්තු සපයන්නන් පිලිබද පවා නඩු විභාග පැවැත්වෙනවා.මිනිස්සු ඔවුන‍්ගේ පාපොච්චාරන,කතා වලට සවන්දෙනවා.Iska hum risk nahin le sakte (අප මේ අය විශ්වාස කිරීමේ අවදානම භාර ගැනීමට සූදානම් නැත්තෙමු)’,හෝ ‘Iska risk hum lenge ( අප මේ අය විශ්වාස කරමු.අවදානමක් ගන්නෙමු) කියන තීරන දෙකෙන් එකකට ඔවුන් එලඹෙනවා.මාධ්‍ය හැම වෙලාවෙම මරා දැමෙන ඔත්තුකරුවන් ගැන පමනයි ප්‍රකාශ කරන්නේ.නමුත් නිදහස් කෙරෙන ඊට වඩා වැඩි ගනන ගැන කතා කෙරෙන්නෙ නැහැ.මෙය පලිගැනීමක් නෙමෙයි.මෙය පැවැත්ම සහ අනාගත ජීවිත ආරක්ෂා කිරිම පිලිබද ප්‍රශ්නයක්.අපි දන්නවා ගැටලු තිබෙනවා.අපි අතින් වැරදි වෙලා තිබෙනව.පොලිස් නිලධාරින් කියන වැරදි වැටහීම උඩ වටලා පහරදීම් වලදී අපි අතින් වැරදි පුද්ගලයන්ව ඝාතනය වුන අවස්ථා නැතිවා නෙමෙයි.නමුත් එය සැම විටම මාධ්‍ය වල පින්තාරු කෙරෙන ආකාරයේ ගොරතර චිත්‍රයක් නෙමෙයි"

රුධිර පිපාසිත "මහජන උසාවි".අප ඒවා පිලිගත හැක්කේ කෙසේද?යුක්තිය පසිදලීමේ මෙම රලු ආකාරය අප අනුමත කල යුතුද?

නමුත් අනිත් අතට පොලිස් නිලධාරින් වෙත පදක්කම්,මුදල් ත්‍යාග සහ උසස්විම ගෙන දෙන වැටලිම් සහ එම වැටලිම් වලදී කෙරෙන ක්ෂනික ඝාතනයන් පිලිබද තත්වය කුමක්ද? මෙම පොලිස් නිලධාරින්,ඔවුන් විසින් මරා දමන මාඕවාදීන් ප්‍රමානය වැඩි වනවාට සමානුපාතිකව ඔවුන් ලබන ත්‍යාග ප්‍රමානය ඉහල යයි.ඔවුන් මෙහෙයුම් විශේෂඥයන් සහ  නිර්භීත සොල්දාදුවන් ලෙස අභිෂේක කෙරේ.එබදු වැටලීම් වලදී කෙරෙන මරා දැමීම් ප්‍රශ්න කරන අප වැන්නවුන් ජාතිභ්‍රෂ්ටයන් ලෙස හංවඩු ගැසේ.
මොහොමඩ් අෆ්සාල් ( 2001 දෙසැම්බර් පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයේ සැකකරු ) මරනීය දන්ඩනයට යටත් කල ශ්‍රේෂ්ඨාධිකරනය ගැන කුමක් කිව යුතුද?ඔහු වැරදිකරු බව තීරනය කිරිමට ප්‍රමානවත් සාක්ෂි නොමැති බව පිලිගත් නමුත් "සමාජයේ සාමූහික විඥානය සන්සුන් කිරීම සදහා විත්තිකරු වෙත මරනීය දන්ඩනය පැනවීම හැර අන් විකල්පයක් නැත"යන පදනම මත අධිකරන එහිදි සිය තීන්දුවට එලඹුනේය.

කොට්‍රාපල් හි මහජන උසාවිය පිලිබද කරුනේදී අඩුම තරමින් "සාමූහික ජන විඥානය" තීරනය ගැනීමෙහිලා ‍භෞතිකව සම්බන්ධ වූවා යැයි කිව හැක.එය සාමාන්‍ය සමාජය සමග සබදතාවය සෑහෙන කලකට පෙර බිදගෙන සිටින,නමුත් ජන විඥානය වෙනුවෙන් කථා කිරීමට තමනට අයිතියක් තිබේ යැයි කල්පනා කරන "උගත්" විනිශ්චයකාරවරුන් කිහිපදෙනෙකු විසින් ගනු ලැබූ තීරනයක් නොවේ.

හැරත් කොට්‍රාපල් ජනතාව වෙන කුමක් කල යුතුද?මම සිතමි.අල්ලාගත් පිරිස පොලිසිය වෙත භාර දීම?
මෙය සත්‍ය වශයෙන්ම විකාරයකි.

Monday, September 20, 2010

සහෝදරවරුන් සමග / Walking with the comrades - 6



රාත්‍රිය උදා වි තිබේ.කදවුරේ නොයෙක් ක්‍රියාකාරකම් පවතී.නමුත් මට කිසිවක් පෙනෙන්නේ නැත.හුදෙක් ආලෝක ලප එහා මෙහා චලනය වෙනවා පමනි.ඒවා කනාමැදිරියන්ද තාරකාද නැතිනම් ඔබ මොබ යන මාඕවාදින්දැයි වෙන්කිරීමද අසීරු සෙයකි.කුඩා මන්ග්ටු කොහේදෝ සිට මතුවෙයි.ඔහු තරුන කොමියුනිස්ට්වාදීන්ගේ ජංගම පාසැලෙහි පලමු ශිෂ්‍ය කන්ඩායමට අයත් බව මම දැන ගතිමි.මෙම පාසල් වල කියවීමට ලිවීමට මෙන්ම‍ කොමියුනිස්ට්වාදයේ මූලධර්ම පිලිබදවද ඉගැන්වේ.
( තරුන මනස දූෂනය කිරීම !අපගේ සමාගම් මාධ්‍ය තන්ත්‍රය මොර දෙනු ඇත.ලමුන්ට ස්වාදීනව සිතීමේ හැකියාව ලැබිමටත් පෙර කාලයේ සිටම ඔවුන්ගේ මොල සෝදා හරිනු ලබන රූපවාහිනී වෙලද දැන්වීම් මනස දූෂනය කිරීමේ ආකාරයක් ලෙස ඔවුන්ට පෙනෙන්නේ නැත)
තරුන කොමියුනිස්ට්වාදීන්ට ගිනි අවි රැගෙන යාමට හෝ නිල ඇදුම් ඇදීමට අවසර නැත්තේය.නමුත් දීප්තිමත් දෑස් සහිතව,රොක් කන්ඩායමක අනුගාමිකයන් පිරිසක් සේ ඔවුන් ගරිල්ලා හමුදා ඛන්ඩ අනුගමනය කරයි.

මන්ග්ටු මගේ වතුර බෝතලය පුරවයි.මා ගමන් මල්ල සූදානම් කරගත යුතු බව හේ කියයි.විසිල් හඩක් ඇසේ.මිනිත්තු කිහිපයකින් අප සිටි කූඩාරම ගලවා දමා අකුලන ලදී.තවත් විසිල් හඩක් විසින් සියගනනක් සහෝදරවරුන් එක පේලියට හිට ගස්වන ලදී.එවැනි පේලි පහක් විය.කොම්රේඩ් රාජු මෙම ක්‍රියාවලියේ අධ්‍යක්ෂකවරයාය.මමද පේලියක හිටගෙන සිටියෙමි.අවස්ථාව ලද විට මට හිමි අංකය කියමින් කෑ ගැසුවෙමි.කම්ලා සහෝදරිය මට සහයට උන්නාය.
චන්දු තුවක්කුවක් උර දරා සිටියේය.කොම්රේඩ් රාජු පහත් හඩකින් අන දෙමින් පිරිස සංවිධානය කරයි.සියල්ල කතා කෙරුනේ ගොන්ද් භාෂාවෙනි.මට කිසි දෙයක් නොතේරේ.නමුත් RV යන වචනය නැවත නැවතත් ඇසුනි.පසුව රාජු මට පැවසූ ලෙස ඉන් අදහස් වූයේ Rendezvous යන්නයි.
( කලින් මුනගැසීමට එකග වූ ස්ථානය ).එය ‍ගොන්ද් භාෂාවේ අංගයක් බවට පත්ව ඇත!‍
" අපි Rv ස්ථාන හදාගෙන තියෙනව.එතකොට යම් හෙයකින් පහරදීමක් සිදුවී විසිරෙන්නට වුනොත් නැවත ප්‍රතිසංවිධානය වෙන එක පහසුයි"
මෙවැනි දේවල් ඇසෙන විට මා තුල ඇති වන තැති ගැන්ම පිලිබද ඔහු නොදනී.තැති ගැන්ම පහර දීම් හො වෙඩි තැබිම් නිසා නොවේ.අතරමං වීමේ අවදානම නිසාය.අඩුම තරමින් නිදන කාමරය හා නානකාරමය අතර පවා අතරමං විය හැකි තරමට මා දිශාවන් සම්බන්ධ මස්තිෂ්ක ස්නායු ආබාධයකින් පෙලෙන සත්වයෙකි.වර්ග කිලෝමිටර 60 000 ක් වූ ඝන වනාන්තරයක් තුල - එය කෙසේ වනු ඇද්ද?අපාය තුලින් හෝ වේවා වේගවත් ජල ප්‍රවාහයන් තුලින් හෝ වේවා ඇදුනාට කම් නැත,මා කොම්රේඩ් රාජුගේ උතුරු සලුව අත්නොහැර සිටිමි.

අපි ඇවිද යාමට පෙර වෙනු සහෝදරයා මා වෙත පැමිනියේය."එහෙනම් සහෝදරිය මම සමුගන්නව"
‍වුලන් තොප්පියක් පැලද සිටි ඔහු කුඩා මදුරුවෙක් මෙන් දිස්වේ.ආරක්ෂකයන් ඔහු පිරිවරා සිටී.දැඩිව සන්නද්ධව සිටිනා ගැහැනුන් හා පිරිමින් තිදෙනෙක් ආරක්ෂකයන් ලෙස විය."මෙතරම් දුර අප මුනගැසීමට ආ එක පිලිබද අපි බොහොම සතුටු වෙනවා සහෝදරී"යලිත් හේ අතට අත දෙයි."ලාල් සලාම්"මිට මෙලවූ අතින් ආචාර කල ඔහු වනාන්තරය තුලට අතුරුදහන් විය.මොහොතකින් ඔහු යනුවෙන් යමෙක් මෙහි නොසිටියා වැනිය.
මම වෙහෙසට පත්ව සිටිමි.නමුත් ඇහුම්කන් දිය යුතු පැය ගනන් දිගු ඔහුගේ හඩපටයන් මා සතුව විය.දවස් ක්‍රමයෙන් සති බවට පෙරලෙද්දී මා තවත් බොහෝ දෙනා මුන ගැසෙනු ඇත.ඔවුන් වෙනු විසින් මා වෙත ලබාදුන් දල කැන්වසය වර්න වලින් හා කතාන්දර වලින් පුරවා දමනු ඇත.
අපි ප්‍රතිවිරුද්ද දිශාවට ඇවිදීම අරඹමු."මගේ දනහිස් ගෙවිල.අල්ල පුරා වේදනා නාශක නැතිව නම් මට ඇවිදින්න බැහැ" කොම්රේඩ් රාජු සිනහසෙමින් පැවසීය.

රාජු සහෝදරයා ඉතා පැහැදිලිව හින්දි කතාකරයි.විනෝද කතා කීමේ අපූරු ශෛලියක්ද ඔහු සතුව පවතී.රායිපූර්හි අද්වකාත්වරයෙකු ලෙස හෙතෙම වසර 18 ක් සේවය කර තිබේ.ඔහු මෙන්ම ඔහුගේ බිරිදද පක්ෂයේ නාගරික ජාලයේ සාමාජිකත්වය දැරීය.2007 අග භාගයේ රායිපූර් ජාලයේ වැදගත් පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව දරුනු වද වේදනා දරා ගත නොහී තොරතුරු සපයන්නෙක් බවට පත්වූයේය.ආවරනය කල පොලිස් වාහනයකට නග්ගනු ලැබ රායිපූරය පුරා ඔහුව ගෙන ගිය අතර සිය සගයන් අල්ලා දෙන ගෝනිබිල්ලෙකු බවට ඔහු පත්විය.මල්ති සහෝදරිය එසේ ගෝනිබිල්ලා විසින් හදුනාගන්නා ලද අය අතර වූවාය.2008 ජනවාරි 22 දින ඇයව අත්අඩංගුවට ගැනුනි.ඇයට එරෙහි චෝදනාව වූයේ සල්වා ජුදුමයේ ක්‍රියාකරම් සහිත සීඩී පට කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත තැපැල් කිරීමයි.ඇගේ නඩුව උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසිය මැලි වූයේ ස්වකීය චෝදනාවේ ඇති විකාරරූපි ස්වභාවය පිලිබද ඔවුන්ටම වැටහුනු නිසාය.කෙසේ වෙතත් අලුත් චත්තිස්ගාර් මහජන ආරක්ෂක පනත විසින් පොලිසිය වෙත ඇයව ඇප දීමෙන් තොරව වසර කිහිපයක් සිර අඩස්සියේ රදවා ගැනීමට ඇවැසි හැකියාව ලබා දී ඇත.
එම වැටලීම් අවස්ථාවල දන්ඩකාරන්‍යයේ රැස්වීමකට සහභාගි වෙමින් සිටි නිසා කොම්රෙඩ් රාජු අත්අඩංගුවට පත් නොවීය.එතෙක් පටන් හේ දන්ඩකාරන්‍යයේම සිටී.නගරයේ නිවසේ සිටි ඔහුගේ කුඩා පාසල්වියේ දරුවන් දෙදෙනාගෙන් පවා පොලිසිය දැඩි ලෙස ප්‍රශ්න කලේය.අවසානයේ මාමා කෙනෙකු සමග විසීම පිනිස ඔවුන් මුදා හැරින.ඔවුන් පිලිබද පුවත කොම්රෙඩ් රාජු වෙත ලැබුනේ සති කිහිපයකට පෙරය.මෙවැනි පසුබිමක විනෝද  කතා කිමේ හා‍ස්‍යෝත්පාදක ස්වරය රදවා ගැනීම සදහා මෙම පුද්ගලයාට ධෛර්යය ලබා දෙනුයේ කවරක් විසින්ද?මෙම මිනිසුන්ට අහිමි ව ඇති දේ සලකන විට ඉදිරියට යාමට මොවුන්ව පොලඹවනුයේ කවරක් විසින්ද?පක්ෂය කෙරෙහි ඔවුන් තුල පවතින භක්තිය,බලාපොරොත්තුව සහ ආදරය - ඉතාම ගැඹුරු හා ඉතාම පුද්ගලික ආකාරයන්ගෙන් මට නැවත නැවතත් එය මුනගැසුනි.

අප එකම ඒකකයක් ලෙස දැන් ඉදිරියට යමින් සිටිමු.තවත් හැගීම් විරහිත ලේ පිපාසිත මිනීමරු කැරලිකරුවන් සියගනනක් සමග මම.අප නික්මීමට පෙර මම කදවුර දෙස හැරී බැලුවෙමි.නිවා දැමුනු ගිනිගොඩවල් වල ඉතිරි වූ අලු හැර මෙම ස්ථානයේ සිය ගනනක් කදවුරු බැදි බවට කිසිදු සලකුනක් නොවිය.මට මෙම හමුදාව තේරුම් ගත නොහැක.පරිභෝජනය සලකන කල්හි ඔවුහු ඉතාම අන්තගාමී ගාන්ධිවාදියාටත් වඩා ගාන්ධිවාදී වෙති.කඩාබිද දැමුන දේ පරිහරනය සම්බන්ධයෙන්ද ඔවුන් සතුව ගාන්ධිවාදී ප්‍රවේශයක් පවති.නිදසුනක් ලෙස පොලිස් රථයක් පහර දී පුලුස්සන ලදී නම්,එය ඉතාම කුඩාම අංශුව දක්වා තීරු තීරු වලට ඉරා ගැනේ.සුක්කානම කෙලින් කොට භාවිතයට ගැනෙන අතර බැටරිය සූර්ය ශක්තියෙන් බලගැන්වීම සදහා යොදා ගැනේ.
( ඉහල නායකත්වයෙන් ලද නවතම අන අනුව එසේ අල්ලා ගත් වාහන ගිනිතබනවා වෙනුවට වැලලිය යුතුය.මන්ද ඇවැසි විටක ගොඩගෙන ඒවායෙන් විවිධ ප්‍රයෝජන ලද හැකි හෙයිනි)
මා නාට්‍යයක් ලිවිය යුතුද?මට සිතේ.ගාන්ධි - ඔබේ ගිනි අවිය අරගන්න.

මහේන්ද්‍ර කර්මා - සල්වා ජුදුමයේ නායකයා 
අප ගැඹුරු අන්ධකාරය හා මාරාන්තික නිහැඩියාවක් අතරින් ගමන් කරමින් සිටිමු.විදුලි පන්දමක් භාවිත කරන්නේ මා පමනි.එය පහලට එල්ල කොට තිබෙන අතර එම එලියෙන් කම්ලා සහෝදරියගේ දෙපා මට පෙනේ.යා යුතු මග මා හගින්නේ එම දෙපා ඇසුරෙනි.ඇය මා මෙන් දස ගුනයක බරක් කරගසාගෙන යයි.ඇගේ ගමන් මල්ල,රයිෆලය.උයන පිහින ආම්පන්න සහිත බරැති මල්ලක් ඇගේ හිස මතද එලවලු වලින් පිරි මලු දෙකක් උරහිස් මතද වූයේය.හිස මත වූ මල්ල මනාව සමබර ව පැවතින.එය උසුලාගෙන කිසිදු අපහසුවකින් තොරව ඇය පල්ලම් බැස ගියාය.ලිස්සන සුලු පාෂානමය පටු මාවත් අල්ලන්නේ නැතිව තරනය කලාය.ඇය විස්මය උපදවන සුලුය.උදෑසන මා සවන්දුන් ඉතිහාස දේශන වලට මම ස්තුතිවන්ත වෙමි.අන් කවරකටත් වඩා ඉන් මා දෙපා ලද විවේකය විසින් ගමන් කිරීමට දැන් මට ශක්තිය ලබාදි තිබේ.මෙම ගමන ඉතා දිර්ඝ වන සෙයකි.කෙසේ වුවද රාත්‍රියේ වනාන්තරයේ ගමන් කිරීම - එය අතිශය චමත්කාරජනකය.

මා එය ඉදිරියට එන සෑම රාත්‍රියකම දෛනිකව සිදුකරනු ඇත.


කෝයාවරුන් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කැරලි ගැසූ 1910 බුම්කාල් කැරැල්ලේ අනුස්මරන උත්සවය සැමරීමට අපි සූදානම් වෙමින් සිටියෙමු.බුම්කාල් යනු භූමිකම්පාවයි.කොම්රෙඩ් රාජු පැවසූ අන්දමට මෙම උත්සවය සැමරීමට මිනිසුන් දින ගනන් ගෙවා ඇවිද පැමිනේ.දන්ඩකාරන්‍යයේ සෑම පරිපාලන ඒකකයකම ස්මරන උත්සව පැවැත්වේ.උත්සවවල ප්‍රවීන සංවිධාකවරයා වූ ලෙන්ග් සහෝදරයා අප සමග වූ නිසා අප තරමක් වරප්‍රසාද ලත් කන්ඩායමක් වීමු.ලෙන්ග් යනු ගොන්ද් භාෂාවෙන් හඩ යන්නයි.අන්ද්‍රා ප්‍රදේශ් වාසියෙක් වූ ලෙන්ග් සහෝදරයා උස මැදි වයසේ අයෙකි.හෙතෙම රැඩිකල් සංස්කෘතික සංවිධානයක් වූ ජන් නාට්‍ය මන්ච් සංවිධානය 1972 දී බිහිකල විශිෂ්ට හා කීර්තිමත් කවියෙකු හා ගායකයෙකු වූ ගාදර්ගේ සමකාලීනයෙකු වූයේය.ක්‍රමයෙන් මෙම සංවිධානය මහජන සංග්‍රාම කන්ඩායමේ කොටසක් බවට පත්වූ අතර අන්ද්‍රා ප්‍රදේශයේදී ඊට දස දහස් ගනන් වලින් යුක්ත ජනතාවන් සිය ප්‍රසංග වලට ඇද ගැනිමේ හැකියාව තිබුනි.ලෙන්ග් සහෝදරයා 1977 දී එහි සාමාජිකත්වය ලබා ගත් අතර ඉතා ඉක්මනින් ගායකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත්විය.මර්ධනය ඉතාම උග්‍ර වූ කාලයේදී හේ අන්ද්‍රා හි ජීවත් විය.මෙම භීම සමය තුල සෑම දිනකම පාහේ ඔහුගේ මිතුරන් වැටලීම් වලදී ඝාතනයට ලක්විය.ඔහුද එක් වරෙක වෛද්‍යවරියක ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරිනියක විසින් රෝහල් ඇදක පසුවන අතර අත්අඩංගුවට ගනු ලැබ "හදුනාගැනීම" සදහා වරාන්ගල් වෙත ගෙන යන ලදී.නමුත් වාසනාවකට ගාදර් පනිවුඩය ලැබ ක්‍රියාත්මක වීම නිසා අනතුරක් සිදුවීම වැලකිනි.1988 දී මහජන සංග්‍රාම කන්ඩායම දන්ඩකාරන්‍යයේ සංස්කෘතික අංශයක් පිහිටුවීමට තීරනය කිරීමත් සමග ලෙන්ග් සහෝදරයා එහි ප්‍රධානියා ලෙස වනය තුලට යවන ලදී.ඉදින් දැන් ඔහු මා සමග ඇවිදිමින් සිටී.හේ ඔලිව් කොල පැහැති කමිසයක් හා දම්  පැහැති පිජාමා කලිසමක් හැද සිටී.
"CNM ( සංස්කෘතික සංවිධානය) තුල දැන් සාමාජිකයන් 10 000 ක් පමන ඉන්නවා"ඔහු මට පැවසීය." අපිට සිංදු 500 ක් තියෙනව.හින්දි,ගොන්ද්,චත්තිස්ගාර්,හල්බි කියන භාෂාවලින්.ගීත 140 ක් තිබෙන පොතක් අපි මුද්‍රනය කරල තියෙනව.හැමෝම සිංදු ලියනව"
මා ඔහු හා කතාබස් කල පලමු අවස්ථාවේ හෙතෙම ඉතාම ගැඹුරු වූද ස්වීය මනසක් සහිත වූද අයෙක් ලෙස දිස්විය.නමුත් දවස් කිහිපයක් ගත වන විට ඔහු සපුරා වෙනස් අයෙක් බව මට වැටහුනි.ගිනිමැලයක් වටා වාඩි වී හෙතෙම ඔහගේ මිතුරෙකුද වන සාර්ථක තෙලිගු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු පි‍ලිබද රසවත් කතා මට පැවසීය.එම අධ්‍යක්ෂකවරයා තමාගේම  චිත්‍රපටියක නක්සලයිට්වරයෙක් ලෙස වරෙක රගපා තිබේ.
"මම ඔහුගෙන් ඇහුවා" ලෙන්ග් සහෝදරයා තමන්ගේ තෙලිගු උච්චාරනය සහිත කමනීය හින්දියෙන් පවසයි."මම ඇහුව ඔහුගෙන් ඇයි ඔබ නැක්සලයිට්වරු හැමවෙලේම මේ වගේ කියල හිතන්නෙ කියලා?" ඉක්බිති හේ දුර අඩි තබන,පැනීමට සූදානම්ව සිටින දඩයක්කාර ස්වරූපයක් සහිත ඒකේ 47 ගිනිඅවියක් උරදරා සිටින මිනිසෙකුගේ ස්වරූපය රගපා පෙන්වයි.එම රගපෑම අප සියල්ලන් සිනා සාගරයක ගිල්වීමෙහි සමත්ය.

බූම්කාල් උත්සවය දැක බලා ගැනීමට මා තුල එතරම් උනන්දුවක් වීද යන්න සැක සහිතය.සාම්ප්‍රදායික ගෝත්‍රික නැටුම්,මාඕවාදින්ගේ ප්‍රචාරක ගීත,ආවේගාත්මක කතා සහ කීකරු වූත් දිලිසෙන වූත් දෑස් සහිත ශ්‍රාවක පිරිසකගෙන් යුතු ඒකාකාරී දෙයක් මා ඇසගැටෙනු ඇතැයි මම බිය වීමි.අපි තරමක් හවස් වී නියමිත ස්ථානයට පැමිනීමු.උන බම්බු වලින් සාදනු ලදුව රතු රෙදි වලින් වසා තාවකාලික ස්මාරකයක් භූමියේ රදවා තිබුනි.ස්මාරකයේ ඉහල මාඕවාදින්ගේ දෑක්ත්ත සහ මිටිය රැගත් ධජයද එම ධජයටත් ඉහලින් මහජන ආන්ඩු වල සලකුන වූ දුන්න හා ඊතලය සහිත ධජයද ලෙලදෙමින් තිබේ.තාවකාලික වේදිකාවද දැවැන්ත එකකි.ඒ වනවිටත් භූමිය පුරා කුඩාගිනි මැල දැල්වී තිබුනි.මිනිසුන් එක්රැස් වීම ඇරඹි තිබූ අතර ඔවුන් ස්වකීය සවස් යාමයේ අහර කිස පිසමින් සිටියේය.අප ඔවුන් පසු කරමින් වනය තුලට පිවිසුනෙමු.යලි වනය තුලට ඔවුන් පසුකර යාමට අඩුම තරමින් මිනිත්තු පහලොවක් ගතවිය.

හිමිදිරියේ සිට උත්සවයට සහභාගි වනු වස් වැඩි වැඩියෙන් සෙනග එන බවට සලකුනු දැකගන්නට තිබුනි.උත්සවකාරී ආනන්දයක් අවට පැතිර යමින් තිබේ.කලෙකින් මුන නොගැසුනු අය අද නැවත මුනගැසෙනු ඇත.මයික්‍රෆොන පරික්ෂා කරන හඩ අපට ඇසේ.ධජ,බැනර්,පෝස්ටර ආදිය හැමතැනම නැගෙන්නට පටන් ගෙන තිබුනේය.අප ආ දිනයේ ඔන්ග්නාහීදී මරා දැමුනු පස් දෙනා ගේ ඡායාරූප සහිත පෝස්ටරයක් ප්‍රදර්ශනය වෙමින් තිබුනි.

මම නර්මදා සහෝදරිය මාසි සහෝදරිය සහ රූපී සහෝදරිය සමග තේ බොමින් සිටිමි.කොම්රේඩ් නර්මදා ඇය ආදිවාසි කාන්තා සංගමයේ සභාපති වීමට පෙර ගද්චිරොලි හි වැඩ කල දවස් පිලිබද කතාකරමින් සිටියාය.රූපි සහ මාසි ආන්ද්‍ර ප්‍රදේශයේ නාගරික අංශයේ වැඩ කටයුතු කල කාලය පිලිබදවත් කාන්තාවන් විසින් පක්ෂය තුල කාලයක් තිස්සේ අරගෙන ගිය සටන පිලිබදවත් විස්තර කීවෝය.තම අයිතීන් පමනක් නොව සාධාරන සමාජයක් පිලිබද අදහසේ කේන්ද්‍රීය සාධකයක් ලෙස ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබද අදහස මතුකරගැනීමෙහිලා මෙම සටන් උත්සුක විය.70 දශකයේ කතන්දර ඔවුහු මට පවසති.නැක්සලයිට් ව්‍යාපාරය තුල තමුන් උත්තුංග විප්ලවවාදීන් බවට පිරිමි සහෝදරවරුන් අතර පැවති මතයත් ව්‍යාපාරය තුල සිටි කාන්තාවන් එතරම් ශ්‍රේෂ්ඨ නොවූ අය ලෙස සැලකුනු ආකල්පයත් පිලිබද ඹවුන් සදහන් කලේය.පැරනි පිතෘමූලික මතවාද,පැරනි පිතෘ මූලික මූලධර්මවාදය ව්‍යාපාරය තුලද පැවතිනි.මාසිට අනුව බොහෝ දේවල් මේ වන විට වෙනස් වී තිබේ.නමුත් යා යුතු දුර තවත් පවතී.
( පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හෝ දේශපාලන මන්ඩලයේ කාන්තා සාමාජිකාවන් තවමත් නැත)

මධ්‍යහන වන විට තවත් ගරිල්ලාවරු කිහිප දෙනෙක් පැමිනියහ.මෙම කන්ඩායම උස් වූත් ජවසම්පන්න වූත් පෙනුමක් සහිත තරුනයෙක් විසින් මෙහෙයවනු ලබන්නකි.සුක්දේව් හා ගුඩ්සා උසෙන්ඩි යනුවෙන් මෙම සහෝදරයාට නම් දෙකකි.මේ නම් දෙකෙන් එකක්වත් ඔහුගේ සැබෑ නම නොවේ.සුඛ්දේව් යනු ඉතා ගෞරවයෙන් සැලකෙන විප්ලවය වෙනුවෙන් අතීතයේදී දිවි පිදූ සහෝදරයෙකි.
( මෙම යුද්ධයේදී තම සැබෑ නම භාවිතා කිරීමට තරම් ආරක්ෂාකාරී අවස්ථාව ලැබීමේ වාසනාව ලැබූයේ මිය ගිය අය පමනි)
ගුඩ්සා උසෙන්ඩි යනු පොදුවේ ඕනෑම කෙනෙක්ට ඕනෑම මොහොතක භාවිත විය හැකි නමකි.ගුඩ්සා උසෙන්ඩ් යනු දන්ඩකාරන්‍යයේ පක්ෂයේ ප්‍රකාශකයාගේ නමයි.මේ නිසා සුඛ්දේව් මගේ සංචාරයේ ඉතිරි මුලු කාලය මා සමග සිටියත් ඔහු නැවත සොයා ගන්නේ කෙසේද යන්න ගැන කිසිදු අදහසක් ඇතිකරගත‍  නොහැක.කෙසේ වුවත් ඔහුගේ සිනහව නම් මා කවර තැනකදී වුවද හදුනාගනු ඇත.තමන් දන්ඩකාරන්‍යයට පැමිනියේ 1988 දී බව ඔහු කියයි.ඔහු "සිවිල්" ඇදුමෙන් මනාව සැරසී සිටී.සිවිල් යනු මාඕවාදීන් ඩ්‍රෙස් යනුවෙන් හදුන්වන නිල ඇදුම නොවන ඕනෑම ඇදුමකි.තරුන විධායක නිලධාරියෙක් ලෙස පහසුවෙන් ඕනෑම අයෙක් විසින් ඔහුව වරදවා හදුනාගනු ඇත.නිල ඇදුම නැත්තේ ඇයිදැයි මම ඔහුගෙන් විමසමි.තමා කන්කාර් ප්‍රදේශයේ සංචාරයකින් පසු පැමිනෙන ගමන් බව හේ පැවසීය.ඇලුමිනියම් ටොන් මිලියන 3 ක ප්‍රමානයක් නිපදවිය හැකි නිධියක් දෙස වේදන්තා නම් සමාගමක් ඇස ගසාගෙන සිටින බවට වාර්තා තිබෙන බව ඔහු මට කීවේය.

අලුමිනියම් සහ වේදන්තා.අති විශිෂ්ටයි.මාගේ සැකය සහ උපකල්පනය සදහා ලකුනු දහයෙන් දහයම දිය හැක.

තමා මිනිසුන්ගේ මනෝභාවය කෙබදුද යන්න විමසීමට එහි ගිය බව සුඛ්දේව් කියයි.ඔවුන් සටන් වැදීමට සූදානම්ද යන්න අවබෝධ කරගැනීමට තමන්ට අවශ්‍ය වූ බව හේ පැවසීය."ඔවුනට දැන් සේනාංක සහ ගිනි අවි අවශ්‍යයයි" තම හිස පද්දමින් හේ මහ හඩින් සිනාසේ."මම ඔවුන්ට කිව්ව අයියා ඒක ලේසි වැඩක් නෙමෙයි කියල.
සංවාදය ගෙනයන අතර තම අත වූ AK 47 ගිනිඅවිය පහසුවෙන් ඇගට නොදැනී ඔහු අල්ලාගෙන සිටි විලාශයෙන් මොහු වූ කලී ප්‍රවීන ගරිල්ලා භටයෙකු බව නිගමනය කිරීම අපහසු නොවීය.

සහෝදරවරුන් සමග / Walking with the comrades - 5

කැරලිකරුවෝ - ග්‍රාමාරක්ෂක කන්ඩායමක් : මෙය ගරිල්ලා හමුදා ධූරාවලියේ
පහලම ස්ථරයයි

මේ වන විට හුදෙක් භට ඛන්ඩ හතකින් ආරම්භ වූ මහජන සංග්‍රාම කන්ඩායම බොහෝ දුර පැමින තිබුනි.වර්ග කිලෝ මීටර 60 000  ක බිම් ප්‍රදේශයක්,දහස් සංඛ්‍යාත ගම්මාන හා මිලියන ගනනක් මිනිසුන් ආවරනය කරමින් ඔවුන්ගේ බලපෑම පැතිර ගොස් තිබුනි.


නමුත් කැලෑ දෙපාර්තමේන්තුවේ පසුබැසීම නිසා ඇතිවූ රික්තය,වඩා භයානක පොලිස් දෙපාර්තමේන්තුවේ පැමිනීමට අත වැනීය.ඔවුහු ලේ වැගිරීම් ප්‍රවාහයකට මුල පිරූහ.පොලිසියේ ව්‍යාජ වැටලීම් සහ මාඕවාදීන්ගේ හදිසි ප්‍රහාරයන්ගෙන් එක්වරම හැමදේම පිරෙන්නට පටන් ගත්තේය.ඉඩම්  ප්‍රතිසංස්කරන වලින් පසු එතෙක් නොතිබුනු වගකීම් සමුදායක් මාඕවාදීන් මත පැවරෙන්නට විය.වාරිමාර්ග,කෘෂිකර්ම ඵලදායිතාවය සහ වැඩි වෙන ජනගහනයට ගැලපෙන ලෙස ඉඩම් කලමනාකරනය කිරීම වැනි වගකීම් මෙහෙයවීම සදහා "යුද කටයුතු" වලින් "මහජන කටයුතු" වෙන් කිරීමට පක්ෂය තින්දු කලේය.

අද දන්ඩකාරන්‍යය සමූහ වශයෙන් පිහිටුවන ලද jantana sarkar (ජනතා ආන්ඩු) සමූහයක් විසින් පරිපාලනය කෙරේ.සංවිධාන මූලධර්ම චීන ව්ප්ලවය හා වියට්නාම් යුද්ධයේ ක්‍රියාකාරකම් හරහා උකහා ගන්නා ලදී.සෑම මහජන ආන්ඩුවක්ම ඒකාබද්ධ ජනගහනය 500 - 5000 අතර ප්‍රමානයෙන් සංයුක්ත වූ ගම්මාන සමූහයක් නියෝජනය කරයි.ආන්ඩුවක දෙපාර්තමේන්තු නමයකි.කෘෂිකර්මය,වෙලද හා කර්මාන්ත,ආර්ථික,නීති,ආරක්ෂක,සෞඛ්‍යය,මහජන සම්බන්ධතා,අධ්‍යාපන හා සංස්කෘතික සහ වනාන්තර කටයුතු යන විෂයන් අනුව මෙම දෙපාර්තමේන්තු බෙදි තිබේ.ජනතා ආන්ඩු කිහිපයක් විසින් ප්‍රා‍දේශීය කමිටුවක් සංයුක්ත කෙරේ.ප්‍රාදේශීය කමිටු තුනක් එක් ඩිවිෂනයකි.මෙවැනි ඩිවිෂන දහයක් දන්ඩකාරන්‍යය තුල පවතී.

"අපි කැලෑ දෙපාර්තමේන්තුවටත් හරියන්න ඉතිරි කරල තියෙනව" වෙනු සහෝදරයා පවසයි."නක්සලයිට් ප්‍රදේශ වල වන ගහනය වැඩි වෙලා තියෙන බව සදහන් රජයේම නිල වාර්තා ඔබ ඇතැම්විට කියවලා ඇති"

"උත්ප්‍රාසාත්මකව" කොම්රේඩ් වෙනු කියයි.කැලෑ දෙපාර්තමේන්තුවට එරෙහිව පක්ෂය කල සටනෙන් මුලින්ම වැඩිම ප්‍රතිලාභ ලබා ගත්තේ ගම්ප්‍රධානීන් හෙවත් මුකියාවරුය.තම පිරිස්බලය භාවිතා කල ඔවුන් වනාන්තර දෙපාර්තමේන්තුව පසුබසිද්දී තමන්ට ලබා ගත හැකි උපරිම ඉඩම් ප්‍රමානය අල්ලා ගැනීමට උත්සාහ ක‍ලේය.නමුත් ක්‍රමයෙන් ජනයා ඔවුන් අතර පැවති අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් හරහා පක්ෂය වෙත ආමන්ත්‍රනය කරන ලදී.පක්ෂය සාධාරනත්වය,පංති සහ අයුක්තිය  පිලිබද අදහස් ගෝත්‍රික ප්‍රජාවන් වෙත හදුන්වා දෙන්නට වූයේය.විශාල ඉඩම් හිමියන් ක්ෂිතිජයේ මෝදු වෙමින් තිබෙන අනතුරක් පිලිබද ඉගි කලේය.නමුත් පක්ෂයේ බලපෑම වැඩිවනවාට සමානුපාතිකව මෙම අනතුර දියවී යාම ආරම්භ විය.මිනිසුන් ක්‍රමයෙන් තම  ප්‍රශ්න ගම්ප්‍රධානීන්ට ඉදිරිපත් කරනවා වෙනුවට පක්ෂය වෙත යොමු කිරීමට පුරුදු වන්නට විය.සූරාකෑමේ ඉපැරනි ආකාර අභියෝගයට ලක්විය.සාම්ප්‍රදායිකව පලමු වැසි දිනයේදී මිනිසුන් තමන්ගේ ඉඩම් වෙනුවට ගම් ප්‍රධානියාගේ ඉඩම හෑමට බැදී සිටියේය.මෙම "පුරුද්ද" නතර වූයේය.මිනිසුන් තමන්ගේ පලමු අස්වැන්නේ කොටස් හෝ වෙනත් වනාන්තර නිපැයුම් වල කොටස් ගම් ප්‍රධානීන් වෙත පූජා කිරීමේ පුරුදු නතර කලේය.
ඉපැහැදිලිවම මෙය යම් දෙයක් ප්‍රතිචාර ලෙස සිදුවීම සදහා පරිසරය සකස් කලේය.

එම "යම් දෙය" මහේන්ද්‍ර කර්මා විසින් සිදුකරන ලදී.ප්‍රදේශයේ විශාලතම ඉඩම් හිමියෙකු වූ හෙතෙම ඒ කාලය වන විට ඉන්දිය කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය දැරීය.1990 දී ගම් ප්‍රධානීන් හා ඉඩම් හිමියන් කිහිප දෙනෙකු සමග එකතු වූ කර්මා Jan Jagran Abhiyaan ( මහජනයා අවදිකිරීමේ ව්‍යාපාරය ) යනුවෙන් ව්‍යාපෘතියකට මුලපිරීය."ජනතාව" "අවදිකිරීම" සදහා ඔවුන් තෝරා ගත් උපක්‍රමය වූයේ 300 කගෙන් පමන යුක්ත කන්ඩායම් පිහිටුවා වනය පීරීම සදහා ඔවුන් යොදාගැනීමයි.මෙම පිරිස් මිනිසුන් මැරීමට,ගැහැනුන්ට අතවර කිරීමට හා ගෙවල් ගිනිතැබීමට පටන්ගත්තේය.එවිට එවකට මධ්‍ය ප්‍රදේශ් ආන්ඩුව - ඒ වනවිට චත්තිස්ගාර් ප්‍රාන්තය ස්ථාපනය කොට නොතිබුනි - පොලිස් පිටුබලය ඊට සපයන්නට වූයේය.මහාරාෂ්ට්‍රයේදී "ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුන" නම් සංවිධානය තමන්ගේ අඩත්තේට්ටම් කිරීම ඇරඹීය.මහජන යුද්ධය මේ සියල්ලට මහජන යුද්ධයට ආවේනික ක්‍රමයෙන් පිලිතුරු සැපයීය.වඩාත්ම ක්‍රියාකාරී ඉඩම් හිමියන් කිහිප දෙනෙකු ඝාතනය කෙරින.මාස කිහිපයක් තුල "මහජන අවදිකිරීමේ ව්‍යාපාරය" - කොම්රේඩ් වෙනුට අනුව "ධවල භීෂනය" - වියැකී යාම ආරම්භ විය.1998 දී මහේන්ද්‍ර කර්මා නැවත මෙම ව්‍යාපාරය පන ගැන්වීමට උත්සාහ කලත් අවාසනාවකට පලමු උත්සාහය තරම් වත් එය සාර්ථක වූයේ නැත.මේ වන විට කර්මා කොංග්‍රසයේ නායකයෙක් බවට පත්ව තිබුනි.

2005 වසන්තයේදී,කෙසේ වුවද වාසනාව කර්මාට උදාවිය.අප්‍රෙල් මාසයේදී බීජේපී ආන්ඩුව චත්තිස්ගාර් ප්‍රාන්තයේ වානේ ආකර දෙකක් පිහිටුවීම සදහා ගිවිසුම් වලට එලඹුනේය.රැපියල් කෝටි 7000ක් වටිනා එක් ආකරයක් බයිලාඩිලාවලද,කෝටි 10 000 ඉක්මවන අනෙක ලොහන්ඩිගුදා වලද ස්ථාපනය කිරීමටද ගිවිස ගන්නා ලදී.එම මාසයේදීම අගමැති මන්මෝහන් සිං "මාඕවාදීන් ඉන්දියාවේ ගැඹුරුතම අභ්‍යන්තර තර්ජකයාය" යන තමන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශය සිදු කරන ලදී.
( ඒ අවස්ථාවේ එය තරමක් අමුතු ප්‍රකාශයක් විය.මන්ද එහි පරස්පරය සත්‍යය වූ බැවිනි.අන්ද්‍ර ප්‍රදේශයේ ආන්ඩුව මාඕවාදීන්ව සාර්ථකව මැඩ පවත්වා දුර්වල කොට තිබුනි.කාඩර්වරු 1600 පමන ඝාතනය කරනු ලැබ මාඕවාදින් තරමක දුර්වල අඩියකට වැටී සිටියේය )
අගමැතිගේ ප්‍රකාශය වානේ සමාගම් වල උත්සන්න වන අභිලාෂයන් සමග එතුමාගේ පවත්නා පොදුභාවය පෙන්නුම් කල අතර අනෙත් අතට මාඕවාදීන් රටේ බරපතලම අභ්‍යන්තර තර්ජනය නිසා මාඕවාදීන් යනු ඔවුන් පසුපස හඹායන කවර පාර්ශවයක වුවද "සාධාරන ගොදුරකි" යන අදහස මාධ්‍ය වෙත ඉගි කලේය.මහේන්ද්‍ර කර්මා 2005 ජූනි මාසයේදී කුට්රු ගම්මානයේ දී ගම් ප්‍රධානින්ගේ රහසිගත රැස්වීමක් කැදවා සල්වා ජුදුමය ( ශුද්ධ කිරීමේ මෙහෙයුම ) ප්‍රකාශයට පත් කරන්නේ මීට සමගාමීවය.සල්වා ජුදුමය වූ කලී වනචාරී ආක්‍රමනශිලිත්‍වයේද ගම්ප්‍රධානමය නාසිවාදයේ ද විස්මය ජනක සංකලනයකි.

මහජන අවදිකිරීමේ ව්‍යාපාරය මෙන් නොව සල්වා ජුදුමය භූමිය ශුද්ධ කිරීමේ මෙහෙයුමකි.එය මිනිසුන්ව ගම්මාන වලින් පලවා හැර කදවුරු වල ගාල්කිරීම ඉලක්කගත කලේය.එවිට එම ජනයා පොලිසියේ සුපරික්ෂාව යටතේ පාලනය කල හැක.මෙය මිලිටරිමය භාෂාවට අනුව උපක්‍රමික අවතැන් කිරීමකි.මෙම උපාය ජෙනරාල් ශ්‍රිමත් හැරල්ඩ් බ්‍රිග්ස් විසින් මලයානු කොමියුනිස්ට්වාදීන්ට එරෙහි බ්‍රිතාන්‍ය සංග්‍රාමයේදී 50 දශකයේදී අත්හදා බලනු ලැබූවකි.බ්‍රිග්ස් උපක්‍රමය ඉන්දියානු හමුදාව අතර මහත් ප්‍රසිද්ධියට පත්වූ අතර පිලිවෙලින් නාගලන්තය,මිසෝරාම් හා තෙලන්ගනා හිදී යොදා ගන්නා ලදී.තම ආන්ඩුව සලකන පරිදි,කදවුරු වෙත සිය ගෙවල් දොරවල් හැර පලා නොයන සියලු ගම්මුන් මාඕවාදීන් ලෙස සැලකීමට සිදුවන බව චත්තිස්ගාර්හි ප්‍රධාන අමාත්‍යවරයා වූ රාමන් සිං ප්‍රකාශ කලේය.මේ අනුව බස්තාර් වැනි ප්‍රදේශයක සාමාන්‍ය ගැමියෙක් මේ නිසා හුදෙක් තම ගෙදර සිටීම භයානක ත්‍රස්තවාදී ක්‍රියාවක් වශයෙන් අරුත් ගැන්වෙන්නට විය!

මා වෙත තේ කෝප්පයක් සමග යමෙක් විසින් විශේෂ සංග්‍රහයක් ලෙස ඉයර්ෆෝනයක් පිලිගැන්වීය.ඉක්බිති හෙතෙම එම් පී 3 ධාවකයක් ක්‍රියාවට නැංවීය.එය වූ කලී බිජාපූර් හි හිටපු පොලිස් අධිකාරි මන්හාර් මහතාගේ හඩ රැගත් නොපැහැදිලි හඩපටයකි.ඔහු සිය ගෙවල් අත්හැර කදවුරු වෙත යන "අවදි වුනු" ගම් වැසියන්ට ආන්ඩුව විසින් දෙනු ලබන ප්‍රතිලාභ පිලිබද සිය කනිෂ්ට නිලධාරියෙක්ට තොරතුරු කියයි.ඉන්පසු එසේ ගෙවල් අත්හැර යාම ප්‍රතික්ෂේප කරන අයවලුන්ට දෙන "දඩුවම්" පිලිබදද පැහැදිලි උපදෙස් ලබා දෙයි.එම නිවාස දවාහලු කල යුතු අතර නැක්සලයිට්වරුන්ගේ ක්‍රියාකාරකම් ආවරනය කිරීමට ඇතුලු වීමට තැත් කරන මාධ්‍යවේදීන් දුටු තැන වෙඩි තබා අහවර කල යුතුය.
( මෙම පුවත කාලෙකට ඉහතදී පුවත්පත් වල තිබී මා ඇස ගැටුනි.පුවත එලියට ආ කල්හි දඩුවමක් ලෙස මෙම පොලිස් අධිකාරිවරයා මාරු කරනු ලැබීය.ඉක්බිති ඔහුව අනුයුක්ත කරනු ලැබුවේ රාජ්‍ය මානව හිමිකම් කොමිසමේ රාජකාරි වලටය)

අම්බේලි ගම්මානය (2005 ජූනි 18) සල්වා ජුදුමය විසින් දවා හලු කල පලමු ගම්මානයයි.දකුනු දාන්තේවාද හි ප්‍රචන්ඩ ක්‍රියා ගනනකට ඉන්පසු එය සම්බන්ධ විය.ඔවුහු ගිනිතැබූහ.මිනීමැරූහ.ගැහැනු දූෂනය කලහ.ජුදුමයේ මෙහෙයුම් කේන්ද්‍රය වූයේ බිජාපූර් හා බයිලාදිලා යන දිස්ත්‍රික්ක ආසන්නයේ නව වානේ ආකර ස්ථාපනය කිරීමට නියමිතව තිබූ ප්‍රදේශය.මෙය මාඕවාදීන්ගේ මහජන ආන්ඩු අස්වැද්දීම් සදහා ජල ව්‍යාපෘති සංවිධානය කලා වූත් ඔවුන්ගේ බලය මහත් ප්‍රබල ලෙස පැවතියා වූත් ප්‍රදේශ වීම අහම්භයක් නොවේ.‍මෙම මහජන ආන්ඩු සල්වා ජුදුමයේ විශේෂ ඉලක්ක බවට පත්විය.ඉතාම දරුනු ආකාරයට සිය ගනන් දෙනා මරා දැමින.60 000 පමන ජනයා කදවුරු වෙත නික්මුනහ.ඇතැමුන් සිය කැමැත්තෙනි.ඇතැමුන් භීෂනය නිසා බියපත්වය.මේ අතරින් 3000 ක් පමන විශේෂ පොලිස් නිලධාරී ඒකක වලට රුපියල් 1500ක වැටුපක් වෙනුවෙන් අනුයුක්ත කරන ලදී.

විශේෂ පොලිස් නිලධාරීන් බවට පත්වීමේ මෙම අර්ථ විරහිත ක්‍රියාදාමයට සම්බන්ධ වීම මගින් නිලේශ්ගේ සොහොයුරා වැනි තවත් බොහෝ දෙනා ස්වේච්ඡාවෙන්ම ජීවිතාන්තය දක්වා පවතින විෂම චක්‍රයක් වෙත ඇතුලු වූහ.කෲරත්වය තුල ගිලී යා හැකි උපරිමයට ගිලී ගිය ඔවුහු ඇතැම්විට මෙම සාහසික යුද්ධයේ දරුනුතම ගොදුරු විය හැක.සල්වා ජුදුමය විසුරුවා හල යුතු යැයි බල කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරන තීරනයකට වුවද ඔවුන්ගේ ඉරනම වෙනස් කල නොහේ.

ඉතිරි වූ දහස් සංඛ්‍යාත ජනයා ආන්ඩුවේ රේඩාර් සීමාවෙන් පිටත පිහිටියා සේ සලකන ලදී.ඔවුනතරින් බොහෝ දෙනා අන්ද්‍රා ප්‍රදේශ් සහ ඔරිස්සා වැනි ප්‍රාන්ත වලට සංක්‍රමනය විය.එහිදී මිරිස් අස්වනු නෙලන කාලවල කුලී වැඩ කරමින් ඔවුන් දිවි ගැටගසා ගන්නට විය.තවත් දහස් සංඛ්‍යාත පිරිස් කැලෑ වැදුනෝය.එහි ඔවුන් තවම සිටී.සෙවනක් නැතිව රාත්‍රී කාලවල් ඔවුන් කැලෑ තුල ගතකරන අතර දිවා කාලයේ පමනක් සිය කුඹුරු හා ගෙවල් වලට පැමිනේ.

සල්වා ජුදුමයේ ක්‍රියාකාරකම් වලට අනුපූරක වශයෙන් පොලිස් ස්ථාන හා කදවුරු ඉදිවන්නට විය.මාඕවාදී ප්‍රදේශ යලි අත්පත්කරගැනීම සදහා ඇවැසි පසුතල ආරක්ෂාව සැපයීම මෙහි අරමුනයි.මෙම කදවුරු ඉදිකිරීම පසුපස පැවති පූර්ව නිගමනය වූයේ එවැනි විශාල ආරක්ෂක බල සංකේන්ද්‍රිතයකට එරෙහිව ‍ප්‍රතිප්‍රහාර දීමට තරම් මාඕවාදීන් නිර්භීත නොවනු ඇත යන්නයි.මාඕවාදීන්ගේ පැත්තෙන් මෙම ආරක්ෂක කදවුරු පැවතිමට ඉඩ හැරීම යනු තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනයාව අතරමං කර දැමීමකි.එය වසර 25 ක් තිස්සේ ඔවුන් සමග වැඩකල හා ජීවත් වූ ප්‍රදේශවාසී ජනතාව වෙතින් ඔවුන් දිනාගත් විශ්වාසය පාවාදීමක් වනු ඇත.
මේ නිසා ඔවුහු ප්‍රතිප්‍රහාර දීම ඇරඹූහ.ආරක්ෂක වලල්ල සිදුරු කරනු වස් එහි හදවත ඉලක්ක කල ප්‍රහාර මාලාවක් මාඕවාදීහු ඇරඹූහ.


2006 ජනවාරි 26 දින ගන්ගලාවූර් පොලිස් ස්ථානයට පහර දුන් මහජන විමුක්ති ගරිල්ලා හමුදාව එහි වූ සත්දෙනෙකු මරා දැමීය.2006 ජූලි 17 දින එරාබෝර් හි සල්වා ජුදුම් කදවුර පහරදීමට ලක්වූ අතර 20 දෙනෙක් එහිදි මිය ගියහ.150 ක් පමන තුවාල ලැබීය.
( එය ඇතැම් විට ඔබ ප්‍රවෘත්ති වලින් අසා තිබෙනවා විය හැක."මාඕවාදීන් රජය විසින් ආරම්භ කල සහන කදවුරකට පහර දී නැක්සලයිට් භීෂනය නිසා තැතිගැන්මට ලක්ව පලා අවුත් එහි සිටි සරනාගතයන් විශාල ප්‍රමානයක් මරා දමා ඇත"- මේ එබදු ප්‍රවෘත්ති වල සාමාන්‍ය ස්වභාවයයි)
2006 දෙසැම්බර් 13 දින බසාගුදා "සහන" කදවුරට පහර දුන් ඔවුන් විශේෂ පොලිස් නිලධාරින් තිදෙනෙකු මරාදැමීය.2007 මාර්තු 15 දින මේ සියලු පහරදීම් අතරින් ඉතාම නිර්භය පහර දීම සිදුවිය.එකසිය විස්සක් පමන වූ ගරිල්ලාවරු එදින රානි බෝදිලි කන්‍යා ආශ්‍රමය නම් - හමුදා බැරැක්කයකට හැරවූ කාන්තා නේවාසිකාගාරයකට පහර දුන්හ.මෙහි චත්තිස්ගාර් විශේෂ පොලිස් භටයන් 80 ක් පමන වූ අතර නේවාසිකාගාරයේ ගැහැනු ලමෝ මිනිස් පලිහක් ලෙස භාවිතා වූහ.
ගරිල්ලන් නේවාසිකාගාර පරිශ්‍රයට ඇතුලුව ගැහනු ලමුන් නේවාසිකව සිටි ඇනෙක්සිය වෙන් කලේය.ඉක්බිති බැරැක්කය ආක්‍රමනය කලේය.පොලිස් නිලධාරින් 55 ක් ඝාතනය විය.කිසිදු ගැහැනු ලමයෙක්ට හානි සිදු නොවීය.
( දාන්තේවාදහි විනීත පොලිස් නිලධාරියා මා හමුවු අවස්ථාවේ මා වෙත මියගිය පොලිස් භටයන්ගේ පිලිස්සී ගිය මල සිරුරු වලින් යුතු තැති ගන්වන සුලු දර්ශන සහිත පවර් පොයින්ට් ප්‍රසන්ටේෂනයක් ඉදිරිපත් කලේය.පුපුරුවනු ලැබූ පාසල් ගොඩනැගිලි දර්ශන පසෙකින් විය.ඒවා අතිශය භයංකාර වූ අතර ඉවත නොබලා සිටිය නොහැකි තරමට පිලිකුල් සහගතද විය.මගේ ප්‍රතික්‍රියාවෙන් පොලිස් අධිකාරිවරයා සතුටට පත්වූ සෙයක් දිස්විය)

කාන්තා නේවාසිකාගාරයේ ප්‍රහාරය රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කලේය.මානව හිමිකම් සංවිධාන ඔවුන්ගේ ප්‍රචන්ඩත්වයට පමනක් නොව අධ්‍යාපන විරෝදී හා පාසල් ආක්‍රමනය කරන හැසිරීම ද සම්බන්ධයෙන් මාඕවාදීන් වෙත චෝදනා එල්ල කලේය.නමුත් දන්ඩකාරන්‍යයේදී රානි බෝදිලි නේවාසිකාගාර  ප්‍රහාරය මහත් වීර ක්‍රියාවක් ලෙස පිලිගන්නා ලදී.එය අරභයා ගීත,කාව්‍ය නිර්මාන හා නාට්‍ය පවා බිහි කෙරිනි.

මාඕවාදීන්ගේ ප්‍රතිප්‍රහාර විසින් ආරක්ෂක වලල්ල බිද දැමුනු අතර පදිංචි ජනයා වෙත යම් අස්වැසිල්ලක් ඉන් සැපයින.පොලිසිය හා සල්වා ජුදුමයය යලි සිය කදවුරු වෙත පසුබැස්සාහ.ගම්මාන වටකරමින් සිදුකෙරෙන සිය සෝදිසි මෙහෙයුම් වෙත අඩුම තරමින් 300 ත් 1000 ත් අතර පිරිසක් සමග මහා රාත්‍රියේ මිස අන් අවස්ථාවක යාමට ඔවුහු මැලිවූහ.විශේෂ පොලිස් නිලධාරින් හැර බොහෝ සල්වා ජුදුම සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල් නැවත සිය ගම්බිම කරා පැමිනෙනන්ට විය.මාඕවාදීන් ඔවුන්ව පිලිගත් අතර අවංකව පසුතැවිලි වන්නේ නම් හා ප්‍රසිද්ධියේ සිය ක්‍රියා පිලිබද කනගාටුව පල කරන්නේ නම් විශේෂ පොලිස් භටයන්ට වුවද ගම් කරා නැවත ඒමේ ගැටලුවක් නැති බව ඔවුන් නිවේදනය කලේය.යෞවන ජනයා අතර ගරිල්ලා හමුදාවට සම්බන්ද වීමේ රැල්ලක් පැතිර ගියේය.
( මහජන විමුක්ති ගරිල්ලා හමුදාව නිල වශයෙන් ව්‍යුහගත කිරීම 2000 වසරේදී සිදු විය.පසුගිය වසර 30 තුල එහි සන්නද්ධ අංශ ක්‍රමයෙන් භට කන්ඩ වලටද භට කන්ඩ ප්ලැටූනයන්ට ද ව්‍යාප්ත වී තිබේ.නමුත් සල්වා ජුදුමයේ පසුබැසීම සමග බැටෑලියනයක ශක්තිය දක්වා  පැමිනීමට ගරිල්ලා හමුදාවට හැකියාව ලැබුනි)

සල්වා ජුදුමය අසාර්ථක වූවා පමනක් නොවේ,එය බරපතල ලෙස පරාජයටද ලක්ව තිබුනි.

අප දැන් දන්නා ලෙස එය වූ කලී හුදෙක් කුඩා පරිමාන ප්‍රාදේශිය හුදෙකලා මෙහෙයුමක් නොවේ.මාධ්‍යයේ දෙබිඩි ප්‍රකාශ කෙසේ වුවද සල්වා ජුදුමය වනාහි චත්තිස්ගාර් ප්‍රාන්ත රජයේද කොංග්‍රසය විසින් බලය හෙබවූ මධ්‍යම රජයේද ඒකාබද්ධ මෙහෙයුමකි.රජයේ පැත්තෙන් එය අසාර්ථක වීම සිදු නොවිය යුත්තකි.විශේෂයෙන් දීප්තිමත් අපේක්ෂා සහිත විවාහ මංගල උත්සවයක් මෙන් සමාගම් සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම් ගනනාවක් පවතින සන්දර්භයක - එය කිසිසේත්ම අසාර්ථක වීමට ඉඩ දිය නොහේ.
ආන්ඩුව මේ නිසා නව සැලැස්මක් පිලිබද දැඩි උවමනාවකින් පෙලෙන්නට වන්නේය.ග්‍රීන් හන්ට් මෙහෙයුම ( operation green hunt) මෙහි ප්‍රතිඵලයයි.සල්වා ජුදුමයේ විශේෂ පොලිස් නිලධාරීන් දැන් කෝ‍යා කොමාන්ඩර්වරු වෙති.මෙම මෙහෙයුම චත්තිස්ගාර් ගුවන් හමුදාව,මධ්‍යම පොලිස් සේවය,දේශසීමා ආරක්ෂක බලකාය,ඉන්දු ටිබේට දේශසීමා බලකාය,මධ්‍යම කාර්මික ආරක්ෂක බලකාය ගෝනුස්සන්,දඩයම්බල්ලන්, සර්පයන් සහ WHAM ( winning hearts and minds) නම් විශේෂ ප්‍රතිපත්තියකින්ද සංයුක්ත වන්නේය.

කැපීපෙනෙන සුලු යුද්ධ බොහෝ විට අභව්‍ය ප්‍රදේශ වල හටගනී.නිදහස් වෙලදපොල ධනවාදය විසින් ඇෆ්ඝනිස්ථාන දුර්ග වලදී සෝවියට් කොමියුනිස්ට්වාදය පරදවනු ලැබිය.මෙහි,දාන්තේවාදහි ගැඹුරු කැලෑ තුල ඉන්දියාවේ ආත්මය වෙනුවෙන් සටන් ඇවිල යයි.ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගිලී යමින් ඇති අර්බුදයත් විශාල සමාගම්,ප්‍රධාන දේශපාලන පක්ෂ සහ මිලිටරි ස්ථාපිතය අතර ඇති පොදු එකගතාවය ගැනත් බොහෝ දේ කියවී තිබේ.යමෙක්ට මෙසේ කියවෙන දෙවල්  ක්ෂනික තහවුරු කරගැනීමේ සාක්ෂි ඇවැසි නම් - දාන්තේවාදය යනු යා යුතු තැනයි.

රජයේ කෘෂිකර්ම සබදතා සහ සම්පූර්න නොකල ඉඩම් ප්‍රතිසංස්කරන පිලිබද කෙටුම්පත් වාර්තාවේ පලමු වෙලුම දක්වන පරිදි ටාටා සහ එසර් යනු සල්වා ජුදුමය සදහා අරමුදල් සැපයූ ප්‍රථම සමාගම් දෙකයි.එය රජයේ වාර්තාවක් නිසා නිකුත් වූ විගස එය මාධ්‍ය අතර මහත් හා හූවක් ජනිත කලේය.
( කෙසේ වුවද මෙම කරුන ප්‍රකාශයට පත්වූ අවසන් වාර්තාවෙන් හැලී තිබුනි.එම කරුන කෙටුම්පතේ සටහන් වීම ඇත්තටම වැරදීමක්ද? නැතිනම් වාර්තා සම්පාදකයෙක්ගේ උරහිස මත වානේමය හස්තයකින් සිදුවූ යම් අප්‍රසන්න ඇතිල්ලීමක් නිසා එය අන්තිම වාර්තාවෙන් හැලී ගියාද?ප්‍රශ්නය විවෘතය)

2009 ඔක්තෝබර් 12 දින ලොහන්දිගුදා හිදී මහජනයාගේ අදහස් විමසීමේ රැස්වීමක් ටාටා වානේ ව්‍යාපෘතිය විසින් සංවිධානය කරන ලදී.මහජනයා වෙනුවෙන් පැවැත්වූ මෙම රැස්වීම දැඩි ආරක්ෂක මුරකාවල් සහිත කුඩා ශාලාවක සංවිධානය කොට තිබුනු අතර ආන්ඩුවේ ජීප් රථ වලින් ගෝත්‍රික පිරිස් වලින් යුක්ත "කුලියට ගත්" ශ්‍රාවක කන්ඩායමක්ද ඊට ගෙන එන ලද්දේය.රැස්වීම අවසානයේ දිස්ත්‍රික් ඒජන්තවරයා දැක්වූ සහයෝගය හා නම්‍යශීලිත්වය වෙනුවෙන් "ලෝහන්දිගුදා හි ජනතාවට" සිය ප්‍රනාමය පුද කලේය.දේශීය පුවත්පත්ද මෙම බොරුව - එහි සත්‍යය අන් කවරෙකුටත් වඩා දැන සිටියදී වුව - නැවත නැවතත් ප්‍රචාරය කරන්නට විය.ගම්මුන්ගේ විරෝධය නොතකා ව්‍යාපෘතිය වෙනුවෙන් ඉඩම් පවරාගැනීම ආරම්භ වී තිබුනි.

ඉන්දීය රාජ්‍යය බලයෙන් පහ කිරීමට සටන් වැද සිටින එකම පිරිස මාඕවාදීන් පමනක් නොවේ.එය හින්දු මූලධර්මවාදයේ සහ ආර්ථික අධිකාරිවාදයේ ප්‍රහාරයන්ගෙන් කිහිප විටකදීම දුර්වල වී තිබේ.දාන්තේවාද හි සිට පැය පහක ගමනක දුරින් පිහිටි ලෝහන්දිගුදා ප්‍රදේශය නැක්සලයිට් ප්‍රදේශයක් ලෙස පෙර පැවති එකක් නොවේ.නමුත් දැන් එය එවැන්නකි.මා කූඹි චට්නි අනුභව කරන අතර පසෙකින් වාඩි වී සිටි ජූරි සහෝදරිය එම ප්‍රදේශයේ වැඩ කරයි.ඇය කි පරිදි ගම්මාන වල නිවාස බිත්ති වල Naxali aao, hamein bachao ( නක්සල්වරුනි,ඇවිත් අප බේරා ගන්න ) යනුවෙන් ලියැවෙමින් පවතින යුගයකය ඔවුන් ප්‍රදේශයට  ප්‍රවේශ වූයේ.මාස කිහිපයකට පෙර ගමේ පංචායත් සභාවේ සභාපති වූ විමල් මෙශ්රාම් වෙලද‍පොල ඉදිරිපිටදී වෙඩි තබා මරා දැමුනි."ඔහු ටාටා සමාගමේ මිනිහෙක්" ජූරි කියයි."ඔහු මිනිසුන්ට ඉඩම් පවරා දීමටත් ඒ වෙනුවෙන් වන්දි ගැනීමට එකග වෙන ලෙසත් බල කරමින් සිටියා.ඔහු අහවර වුන එක හොදයි.අපිට සිද්දියේදී සහෝදරයෙකුත් අහිමි වුනා.උන් ඔහුට වෙඩි තිබ්බා.තව චපෝලි ඕනෙද?"
ඇය විසි හැවිරිදිය."අපි ටාටා එකට මෙහෙ එන්න දෙන්නෙ නැහැ.මිනිස්සුන්ට ඔවුන්ව අවශ්‍ය නැහැ"ජූරි ගරිල්ලා හමුදාවට අයත් නැත.ඇය පක්ෂයේ සංස්කෘතික අංශයේ වැඩ කරයි.ඇය ගයයි.ගී ලියයි.ඇය අබුජ්මාද් වලින් ආ අයෙකි.
( ඇය කොම්රේඩ් මාධව්ගේ බිරිදය.ඇයගේ ගමට පක්ෂයේ සංස්කෘතික අංශයේ පිරිසක් සමග ඔහු ආ අවස්ථාවක ඇය ඔහු ගී ගයනු අසා ඔහු හා පෙමින් බැදුනාය)

මෙම අවස්ථාවේදී මා යමක් කිව යුතු බව මට හැගේ.ප්‍රචන්ඩත්වයේ නිෂ්ඵලත්වය ගැන මා කිව යුතුය.කේවල පුද්ගල ඝාතනයන්ගේ පිලිගත නොහැකි භාවය පිලිබද මා කිව යුතුය.නමුත් මා ඔවුන් වෙත යෝජනා කල යුත්තේ මොනවාද?
අධිකරනයට යාමට?නවදිල්ලියේ උද්ඝෝෂනයක් කිරීමට?රැලියක් පැවැත්විමට?මාරාන්තික උපවාසයක් කිරීමට?එය විකාරයක් සේ හැගේ.තම ප්‍රතිපත්තිය පිලිගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව ඉතා පහසුවෙන් පවසන නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට සහය දක්වන්නන් එසේ නම් විරෝධය දැක්වීම සදහා විකල්ප ආකාරයක් යෝජනා කල යුතුය.මෙම නිශ්චිත වනාන්තරයේ මෙම නිශ්චිත ජනතාවට නිශ්චිත ආකාරයක් යෝජනා කල යුතුය.මේ දැන්ම නොපමාව එය කල යුතුය.ඔවුන් ඡන්දය දිය යුත්තේ කුමන පක්ෂයටද?ඔවුන් විශ්වාසය තැබිය යුත්තේ රටේ කුමන ප්‍රජාතන්ත්‍රවාදි ආයතනය කෙරෙහිද?නර්මදාවෙහි විශාල වේලි වලට එරෙහි සටන් පැවති වසර ගනනාවක් තිස්සේ නර්මදාවේ ජනතාව ආමන්ත්‍රනය නොකලේ කාටද?තට්ටු නොකලේ කුමන දොරටද?