Friday, September 24, 2010

සහෝදරවරුන් සමග / walking with the comrades 8

මිය ගිය සටන් සගයන් සමරමින් - බූම්කාල් උත්සව දිනයේදී ප්‍රදර්ශනය වෙමින් තිබුනු ඝාතනය වූ ගරිල්ලාවරුන්ගේ රූප පෙලක්  
බෙර වාදන හඩ ක්‍රමානුකූලව උත්සන්න වේ.මේ බූම්කාල් උත්සවයයි.
අපි පිට්ටනිය වෙත ලගාවෙමු.මහට මා දෑස් අදහාගත නොහැක.ඉතාම අලංකාර වූද ග්‍රාමීය වූද විලාශයන්ගෙන් සැරසී සිටි ඉතාම අලංකාර වූද ග්‍රාමිය වූද ජන සාගරයක් මා අභිමුව රල ගසමින් සිටී.කාන්තාවන්ටත් වඩා සිය අලංකාර පිලිබද සැලකිලිමත් ව සිටිනුයේ පිරිමින්ය.ඔවුහු කුරුලු පිහාටු වලින් අලංකෘත හිස් වැසුම්ද මුහුනු වල කොටනු ලැබූ පච්චා ද දරා සිටියාහ.ඇස් වටා සහ මුහුනු වල සුදු පැහැති වත්සුනු තවරා තිබේ.සිය උරමත නොසැලකිලිමත්ව රයිෆල රදවා ගත් ග්‍රාමාරක්ෂක කන්ඩායම්වල තරුනියෝ එහි වූහ.ඔවුන් චිත්තාකර්ශනීය පැහැයන්ගෙන් යුතු වර්නයන්ගෙන් සැරසී සිටී.එහි වයසක පිරිස් වූහ.ලමා පිරිස් වූහ.සූර්යයා උස්වද තියුනුවද අහසේ නැගී සිටී.ලෙන්ග් සහෝදරයා කතාවක් පවත්වයි.විවිද ප්‍රදේශ වල ජනතා ආන්ඩු වල නියෝජිතයන් වේදිකාවේ සිටී.1997 සිට පක්ෂයේ සාමාජිකත්වය දරන අසාමාන්‍ය කාන්තාවක වූ කොම්රෙඩ් නිටිද වේදිකාවේ වූවාය.ඇය කෙතරම් ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද යත් 2007 ජනවාරියේදී ඇය සිටී යන ඔත්තුව ලැබ පොලිස් භටයන් 700 කට ආසන්න ප්‍රමානයක් ඉන්නාර් ගම්මානය වැටලීය.කොම්රෙඩ් නිටි එතරම් භයානක අයෙක් ලෙස පොලිසිය සලකන්නේ ඇය හුදෙක් හදිසි පහර දිම් ගනනාවක මූලිකත්වය සාර්ථක ලෙස ගෙන තිබෙන නිසා පමනක් නොව ඇය තරුන ජනයා මත මහත් උත්ප්‍රේරනයක් පතිත කලා වූ ත් ඔවුන්ගේ ආදරය දිනාගත්තා වූත් ආදිවාසි ගැහැනියක ද  වූ බැවිනි.සිය ඒකේ 47 රයිෆලය උර මත රදවාගෙන ඇය කතා කරන්නීය.
( එම ගිනි අවිය පසුපස කතාවක් ඇත.තම තමන් දරන ගිනි අවි අත්පත් කරගත්තේ කෙසේද?එය ඊට පෙර කාට අයත්ව තිබුනු එකක්ද? - මේ සියල්ලක් සම්බන්ධයෙන් සෑම කෙනාටම පැවසීමට තිබෙන කතාවක් පවතී)

සංස්කෘතික අංශයේ පිරිසක් බුම්කාල් නැගිටීම පිලිබද නාට්‍යයක් රගදක්වමින් සිටියේය.දුෂ්ට සුදු ජාතික කොලනිකරුවන් පිදුරු වලින් සාදාගත් හිසකේ තොප්පි වලට යටකරගෙන උන් අතර ඔවුන් ස්වදේශික ආදිවාසින් නින්දාවට පාත්‍ර කරයි.ස්වදේශිකයන් මත වද හිංසා පමුනුවයි.දකුනු ගන්ගාලාවූර් සිට පැමිනි තවත් කන්ඩායමක් නිතිර් ජුදුම් පිටෝ -  "ලේ ඥාතිත්වය සොයා යාම" යනුවෙන් නාට්‍යයක් රගදක්වයි.ජූරි මට කතාව පරිවර්තනය කර දෙන්නීය.
එය සිය දියනිය සෙවීම සදහා ඇය ජිවත්ව සිටින ගම වෙත යන මහලු දෙමවිපිය යුවලක් පිලිබද නාට්‍යයකි.සියලු දේ ගිනිබත්ව තිබෙන නිසා කැලයේ යන අතරමග කිසිවක් හදුනාගත නොහැකිව ඔවුන් දෙපල අතරමං වේ.සංගීත භාන්ඩ සහ බෙර පවා සල්වා ජුදුමය විසින් පුලුස්සා දමා තිබේ.වර්ෂාවට අලු ගසා ගෙන ගොස්ය.දියනිය සොයා ගත නොහී කම්පාවට පත්වන දෙමවුපිය යුවල ශෝකභරිතව ගයන්නට වන් අතර ගී හඩ ඇසෙන දියනිය මෙය ඇසී නටබුන් අතරින් මතු වේ.ඇයද පෙරලා ගයයි.අපේ ගම්මානයේ හඩ නිහඩ වී තිබේ.ඇය දුක්බරව ගයයි.පැසෙන සහල් තවදුරටත් නොමැත.ලිද අසල ඇසුන සිනා හඩවල් තවදුරටත් නැත.කුරුල්ලෝ නිහඩය.කෑ ගසන එලුවන් ‍ගොලු වී ඇත.සන්තෝෂයේ සොදුරු රැහැන කපා දමා තිබේ.

ඇගේ පියා ගීතයෙන්ම ඇයට පිලිතුරු දෙයි.සුන්දර දියනිය,හේ ගැයුවේය.අද හඩන්න එපා.ඉපදුන සියලු දෙනා මිය යා යුතු නොවේද?අප වටා තිබෙන මේ ගස් යම්දිනෙක වැටෙනු ඇත.සිනාසෙන මල් පරවී යනු ඇත.කවදාහරි දවසක ලෝකය වයසට යනු ඇත.නමුත් අපි මියයන්නේ කවරෙක් උදෙසාද?යම් දිනෙක අපව කොල්ල කෑ අය හෙලිදරවු වේවි.යම් දවසක සත්‍යය එලි වේවි.අපේ මිනිස්සු ඔබව කවදාවත් අමතක නොකරනු ඇත.අවුරුදු දහසක් ගියත් ඔබ පිලිබද මතකය පවතිනු ඇත.

තවත් කථා කිහිපයක් පැවැත්වුනි.ඉන්පසු බෙර නාද සහ නැටුම් හඩවල් ඇසෙන්නට පටන් ගති.සෑම මහජන ආන්ඩුවක් සතුවම තමන්ගේ නාට්‍ය කන්ඩායමක් සිටී.සෑම කන්ඩායමක්ම තමන්ගේ නැටුමක් සූදානම් කරගෙන තිබේ.විශාල බෙර සහිතව ඔවුහු එකිනෙකා පැමිනෙති උත්සවකාරීව විවිධ කතාපුවත් ඔවුහු නර්තනයෙන් රග දක්වති.සාමාන්‍යයෙන් සෑම නාට්‍යකටම පොදු චරිතයක් ව පැවතියේ පතල්කරුගේ චරිතයයි.මෙම ''දුෂ්ට" පතල්කරු හෙල්මටයක් පැලද අදුරුවන් අවු කන්නාඩි යුවලක් පැලද සිටී.ඔහු මුවග දුම්වැටියකි.නමුත් ඔවුන්ගේ ඉගි නලු වල කිසිදු කෘතිම හෝ යාන්ත්‍රික ස්වරූපයක් නොවීය.නර්තනය උදෙසා පා එහා මෙහා වන විට ධූවිලි නගී.බෙර හඩ කන්බිහිරි කරවමින් නැගේ.ක්‍රමයෙන් රැස්ව සිටිනවුන්ද නැටුමට එකතු වෙමින් සිටී.ගැහැනු සහ පිරිමි වෙන් වෙන්ව හය දෙනෙක්ගේ හෝ හත්දෙනෙක්ගේ පේලි වලට බෙදී එකිනෙකාගේ ඉග වටා අත යවමින් ඔවුහු නර්තනයේ යෙදෙති.දහස් ගනන් ජනතාවක් එකවිට.ඔවුන් පැමිනියේ මේ සදහාය.දන්ඩකාරන්‍යය වනයේ සතුට යනු ඉතාම සම්භාවනීය දෙයකි.මිනිසුන් දින ගනන්,සැතපුම් ගනන් ගෙවමින් ගී ගැයීම සහ විනෝද වීම සදහා යනු ඇත.හිසෙහි මල් ගවසාගෙන,හිස්වැසුම් පිහාටු වලින් අලංකාර කරගෙන එකිනෙකාගේ ඉග වටා අත් යවමින්,මාහුවා පානය කරමින් රෑ පුරා නර්තනයේ යෙදී ප්‍රීති වීම සදහා ඕනෑම දුරක් ඔවුන් ඇවිද යනු ඇත.කිසිවෙක් තනියම නොගයයි.තනියම නර්තනයේ නොයෙදෙයි.මෙම සාමූහිකත්වය අන් කිසිවකටත් වඩා ඔවුන්ව  අතු ගා දැමීම සදහා කැස කවන "ශිෂ්ටාචාරය" සමග ඔවුන්ගේ තිබෙන නොඑකගතාවය සහ වෙනස පෙන්නුම් කරන්නේය.

මේ සියල්ල සිදුවනුයේ පොලිසියේ ආඥා චක්‍රය බලපැවැත්වීම යන කරුන නොසලකාය යන්න මා තුල මහත් විමතියක් ඇති කරයි.මේ සම්පූර්න උත්සවාකාරී ආනන්දය - හරියටම ග්‍රීන් හන්ට් මෙහෙයුම මධ්‍යයේ සිදුවේය යන්න විස්මයජනක කරුනකි.

මුලින්ම ගරිල්ලා හමුදාවේ සහෝදරවරු ගිනි අවි අතැතිව නර්තනය දෙස බලා හිදිති.නමුත් සිය කුලයේ සහෝදර තාරාවුන් වතුරට බැස ප්‍රීතිවනු ඉවුරට වි බලා සිටිය නොහැකි තාරාවුන් පිරිසක් මෙන් එකිනෙකා බැගින් පිලිවෙලින් ඔවුන්ද නර්තනයට එක්වේ.නොබෝ වේලාවකින් ඔලිව් කොල පැහැති නිල ඇදුම් නානා පැහැති අලංකාර වස්ත්‍රයන්ගේ පැහැය අතරේ මුසුවෙන්නට පටන් ගනී.ඉතා ඉක්මනින්,මාස ගනනකට මුන නොගැසුන,ඇතැම්විට අවුරුදු ගනනකින් පසුව මුන ගැසුන සහෝදර සහෝදරියන් මෙන්,මවුපියන් හා දරුවන් මෙන් වර්නවත් සාරි,මල් හා බෙර අතර සරමින් ඔලිව් කොල පැහැ නිල ඇදුම් විහිද යයි.මෙය නිසැකවම "මහජන හමුදාවකි".ගරිල්ලාවරු වනාහි ජනතාව නම් වූ ජල ප්‍රවාහයේ වෙසෙන මත්ස්‍යයෝ වෙති යන සභාපති මාඕගේ ප්‍රකාශය,මේ මොහොතේ,සාහිත්‍යයික සත්‍යයක් මෙන් විද්‍යාමාන වේ.

සභාපති මා ඕ සේතුං - ඔහුද මෙහි වීරයෙකි.තරමක් හුදෙකලාව,එහෙත් ජීවමානව ඔහු සිටී.වේදිකාවේ රක්ත පැහැ පසුතලයේ ඔහුගේ සේයාරුවක් පවතී.කාල් මාක්ස්ගේ ඡායාරූපයක්ද එහි ඇත.නක්සලයිට් ව්‍යාපාරයේ නිර්මාතෘවරයා  සහ න්‍යායවේදියා වූ චාරු මසුම්දාර්ගේ සේයාරුවද පසෙකින් විය.ඔහු සිය අදහස් දැක්වීම වලදී යොදාගත් රලු වූද,ප්‍රචන්ඩ වූද,ජීවිත පරිත්‍යාගය සහ ලේ සෙලවීම මහත්කොට දැක්වූවා වූද භාෂාව ඇතැම් විට මුලුමනින් ජනඝාතක එකක් යැයි සිතෙනු ඇත.නමුත් මෙම බූම්කාල් සැමරුමේදී,මෙම අරගලයේ ව්‍යුහයට මහත් සේ බලපෑ ඔහුගේ අදහස්,එම අදහස් වල හැගීම් වලින් සහ සන්දර්භයෙන් කෙතරම් දුරට ඉවතට ඇද ගනු ලැබ තිබේද යන්න නොසිතා සිටිමට මම අසමත් වීමි."පටු ආත්මාර්ථකාමයෙන් දූෂනය‍ නොවූ සහ මරනයට බිය නොවූ නව මිනිසෙකු නිර්මානය කරනු වස්" "අනුකම්පා විරහිත අරගලයක්" අවශ්‍ය බව ඔහු දශක ගනනකට පෙර පැවසූ අවස්ථාවේ - සිය සිහිනය තම ජීවිතාදර්ශය ලෙස ගෙන එය සැබෑ කරනු වස් කෙදිනක හෝ සටන් කරනු ඇත්තේ,රාත්‍රියේ ප්‍රීතිමත් රංගනයන්හි යෙදෙන මෙම ආදිවාසී ජන ප්‍රජාවන් බවට කිසිවිටකත් ඔහු සිතුවා වන්නට ඇද්ද?

 චාරු මසුම්දාර් - 1967 නක්සල්වාදී ව්‍යාපාරයේ නිර්මාතෘ
මෙම වනාන්තර තුල සිදුවෙමින් පවතින සමස්ථ ක්‍රියාවලිය හුදෙක් ගැටුම්කාරී ඉතිහාසයකින් පරිනාමය වි තිබෙන,අනම්‍යශීලි පක්ෂ න්‍යායවේදින්ගේ දෘඩ මතවාදී පරස්පරතාවන්ගේ ක්‍රියාවලියක් ලෙස බාහිර ලෝකයට දිස්වීම ඇත්ත වශයෙන්ම මෙහි සිදුවෙමින් පවතින දෙය අරභයා බලවත් අයුක්තියකි."චීනයේ සභාපති අපගේද සභාපති වේ සහ චීනයේ මාවත අපගේද මාවත වේ" යැයි චාරු මසුම්දාර් ප්‍රසිද්ධියේ පැවසු විට,එය කෙතරම් අන්තවාදී වීද යත් නැගෙනහිර පකිස්ථානයේ ( අද බංගලාදේශයේ) සමූලඝාතනයන් සදහා ජෙනරාල් යාහියා ඛාන් අන දෙන විට - පකිස්ථානය එවකට චීනයේ හිතවත් රාජ්‍යයක් වීම මත - නැක්සලයිට්වරු නිහඩ ස්ථාවරයක පසුවූහ.කාම්බෝජයේ කෙමර් රූජ් සමූලඝාතනයන් අරභයාද ඔවුහු නිහඩතාවය රැක්කාහ.චීන හා රුසියන් විප්ලවයන් හි සීමාන්තික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද එවැනිම නිහඩතාවයක් විය.ටිබේටය සම්බන්ධවද එය එසේය.නැක්සලයිට් ව්‍යාපාරය තුල පවා සීමාන්තික අති ධාවනකාරි ක්‍රියාකාරකම් වරින් වර පැන නැගුනි.එවැනි ප්‍රචන්ඩ සීමාන්තික ක්‍රියා යුක්ති යුක්ත කිරීම දුෂ්කරය.
නමුත් ඔවුන් කල සියලු දේ පන්ජාබයේ,කාශ්මිරයේ,දිල්ලියේ,බොම්බායේ,ගුජරාටයේ කොංග්‍රසය සහ බීජේපීය සිදු කල සීමාන්තික ක්‍රියා සමග සසදන කල්හි තත්වය කවරක් වන්නේද?මෙම සියලු තැතිගන්වන සුලු ප්‍රතිවිරෝධතා පැවතියදී වුවද චාරු මසුම්දාර් තමා ලියන හා ප්‍රකාශ කරන දේ වෙනුවෙන් පෙනී සිටි දෘෂ්ටිවාදියෙක් වූයේය.ඔහු නිර්මානය කල පක්ෂය ( සහ එය ඇසුරින් බෙදී හටගත් විවිධ කන්ඩායම් ) විප්ලවය පිලිබද සිහිනය ඉන්දියාව තුල ජීවමානව සහ යථාවත්ව ජීවත් කරවමින් සිටී.එබදු සිහිනයකින් තොර සමාජයක් උපකල්පනය කරන්න.මෙම සන්දර්භය තුල ඔහු පිලිබද දෘඩ විනිශ්චයකට පැමිනිමට අපට ඉතිහාසය ඉඩ නොදේ.විශේෂයෙන් ගාන්ධිගේ "අවිහිංසාවාදි සටන්" පිලිබද ආගමික ස්වරූපී දෙබිඩි උමතුවකින් වෙලී සිටිනා ගමන් එවැනි විනිශ්චයකට එලඹීමට අපට අයිතියක් තිබේද?."ධනවතා ධනය හිමි කර ගත යුතුය.ඔහු එය යුක්තිසහගත ලෙස තමන්ගේ පෞද්ගලික උවමනා වෙනුවෙන් වැය කරනා අතරේ සමාජය වෙනුවෙන් ධනය වැය කරන භාරකරුවෙකු ලෙසද ක්‍රියා කරනු ඇත" යන ධනවතාගේ වගකීම පිලිබද ගාන්ධියානු න්‍යාය පිලිගෙන තිබෙන සන්දර්භයක සිට එබදු විනිශ්චයකට එලඹීම - එය කල හැකිද?

නමුත් උත්ප්‍රාසාත්මක ලෙස චාරු මසුම්දාර් ඉතා ඈතක පැවසූ දෙය වත්මන් ඉන්දීය ස්ථාපිතයේ සාර්වරුන් වන,නැක්සලයිට්වරුන් අනුකම්පා විරහිතව මර්ධනය කල ඉන්දීය රාජ්‍යය මේ වන විට වෙනත් සන්දර්භයක සිට පුනරුච්චාරනය කරමින් සිටී.
-චීනය ගිය මාවත අප යන මාවතද වන්නේය -

උඩ යට මාරු වී ඇත.සියල්ල නොපිට පෙරලි ඇත.

චීනයේ මාවත දැන් වෙනස් ව තිබේ.චීනය අන් රටවල් මත ආක්‍රමනශීලී බලපෑම් එල්ල කරන,වෙනත් රටවල මිනිසුන්ගේ සම්පත් දෙස කෑදර බැලුම් හෙලන අධිපතිවාදී බලයක් ලෙස වර්ධනය වෙමින් පවතී.නමුත් පක්ෂයේ ස්ථාවරයේ වෙනසක් නැත.පක්ෂය හිත හදාගෙන ඇතිවා සේය.

පක්ෂය බලය අත්පත් කරගනිමින් ඉන්නා අවධියේ දී ( වර්තමාන දන්ඩකාරන්‍යයේ මෙන් ) එය ජනතාව වෙත සැබැවින්ම ගමන් කරන,ජනතාවගේ සෑම අවශ්‍යතාවයක් කෙරෙහි අව්‍යාජව සැලකිලිමත් වෙන අවධියේදී එය සැබැවින්ම ජනතාවගේ පක්ෂයක් වන්නේය.එහි හමුදාව සැබැවින්ම ජනතාවගේ හමුදාවක් වන්නේය.නමුත් විප්ලවය ජයග්‍රහනය කල පසු මෙම ප්‍රේම සම්බන්ධතාවය එලෙසම පවතිනු ඇද්ද?එය අතෘප්තකර විවාහ බන්ධනයක් බවට පත්විය නොහැකිද?මහජනතාවගේ හමුදාව ඉතා පහසුවෙන් ජනතාවට පිටු පෑමේ සම්භාවිතාවයක් නොපවතීද?අද දන්ඩකාරන්‍යයේදී,පක්ෂය බෝක්සයිට් ලෝහය කදුවලම තිබිය යුතු බව විශ්වාස කරයි.හෙට,එය සිය හිත වෙනස් කර ගනු ඇද්ද?
නමුත් අපට අනාගතයේ විය හැකි යැයි සැක සිතෙන යමක් නිසා වර්තමානයේ කිසිවක් නොකොට,කිසිදු ස්ථාවරයක් නොගෙන සිටිය හැකිද?අප එසේ කල යුතුද?

රාත්‍රිය පුරා නැටුම් ගැයුම් ඇදි යයි.මම කදවුර වෙත නැවත ඇවිද යමි.මාසි කදවුරේ සිටියාය.අපි බොහෝ වේලා කතා කරමින් සිටියෙමු.මා ඇයට නෙරුදාගේ කවි පොතක් දුන්නෙමි.ඇය දිගින් දිගට මගෙන් ප්‍රශ්න අසයි."අප ගැන එලියේ තිබෙන අදහස කුමක්ද?ශිෂ්‍යයන් කියන්නේ මොනවාද?කාන්තා ව්‍යාපාරය ගැන මට කියන්න.දැනට තිබෙන දැවෙන ප්‍රශ්න මොනවාද?"ඇය මා ගැන අසයි.මගේ ලේඛන ජීවිතය ගැන විමසයි.මගේ ඛේදවාචකය පිලිබද මා හැකිතාක් අවංකව ඇයට කරුනු පවසමි.ඉක්බිති ඇය තමා ගැන කතා කිරීම ඇරඹුවාය.ඇය පක්ෂයට සම්බන්ධ වූ ආකාරය.තම පෙම්වතා පසුගිය මැයි මාසයේදී ක්ෂනික වැටලීමක් අතර තුර පොලිසිය විසින් මරා දැමූ බව ඇය කීවාය.නාශික් හිදී අත්අඩංගුවට ගත් හෙතෙම වරාන්ගල් වලට ගෙන ගොස් ඝාතනය කොට තිබුනි."ඔවුන් ඔහුට දරුනු ලෙස වද හිංසා පමුනුවන්න ඇති"ඔහු අත්අඩංගුවට පත්වූ පුවත කන වැකෙද්දී ඇය ඔහුව මුන ගැසෙනු වස් ගමන් කරමින් සිට ඇත.දිගු නිහැඩියාවකට පසු,තමා වසරකට පෙර විවාහ වී සිටි අයෙක් බව ඇය කීවාය."ඔහුවත් ඝාතනයට ලක්වුනා"ඇය පැවසුවාය.

මගේ පැදුර මත දිගාවී අවට නොනැවතී ඇසෙන බෙර හඩ සහ නොනැවතී ඇසෙන සන්තෝෂයේ හඩට සවන් දෙමින් මාසිගේ නොනවතින ශෝකය සහ මාඕවාදී පක්ෂයේ කේන්ද්‍රීය අදහස වන චාරු මසුම්දර්ගේ නොනවතින යුද්ධය පිලිබද සංකල්පය ගැන කල්පනා කරමි.මාඕවාදින් වෙත සාම සාකච්ඡා සදහා ආරාධනා කිරීම නිෂ්ඵල යැයි මිනිස්සු කල්පනා කරන්නේ මේ නිසාය.එය යලි හුස්ම ගැනීමේ අවසරයක් ලෙසත්,ප්‍රතිසංවිධානය වී ප්‍රතිසන්නද්ධ වී යලි සිය නොනවතින යුද්ධය වෙත ගමන් කිරීම සදහා වන විරාම කාලයක් ලෙසත් යොදා ගනු ඇත යන්න ජනප්‍රිය මතයයි.දිග්ගැස්සෙන යුද්ධය යනු කුමක්ද?එය සංකල්පයක් ලෙස එනයින්ම කෲර එකක්ද?නැතිනම් එය ‍මෙම යුද්ධයේ ස්වරුපය මත ඇතිවූ තත්වයක්ද?දන්ඩකාරන්‍යයේ මෙම ජනතාව පසුගිය තිස් වසර පුරාවට මෙම ‍දිග්ගැස්සුන යුද්ධයේ නියුතු නොවී නම්,අද ඔවුන්ගේ තත්වය කවරක් වනු ඇද්ද?

දිග්ගැස්සෙන යුද්ධයක් පිලිබද විශ්වාසය තබනුයේ මාඕවාදින් පමනද?ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූ මොහොතේ සිටම ඉන්දියාව අධිපතිවාදී බලවේගයක් බවට පත්විය.එය ප්‍රදේශ ඈදා ගත්තේය.යුද්ධ පිට යුද්ධ වලට පැටලුනේය.දේශපාලන ප්‍රශ්න මිලිටරිමය ලෙස ආමන්ත්‍රනය කිරීම සදහා කාශ්මිරයේ,හයිද්‍රාබාදයේ,ගෝවේ,නාගලන්තයේ,මනිපුරයේ,තොලන්ගානා හිදී,ඇසැමයේ,පන්ජාබයේ දී සහ බටහිර බෙංගාලය,බිහාරය,අන්ද්‍රා ප්‍රදේශය හා  මධ්‍යම ඉන්දියාවේ ගෝත්‍රික ප්‍රදේශ පුරා පැතිර යන නැක්සලයිට් නැගිටීමේදී යුද්ධ බලය යෙදවීමට එය කිසිසේත්ම මැලි නොවීය.දස දහස් ගනනක් නිර්දය ලෙස මරා දමා ඇත.දස දහස් ගනනක් අනුකම්පා විරහිත ලෙස වද හිංසාවලට ගොදුරු කොට ඇත.මේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජ වෙස්මුහුනක් පසුපස සැගවෙමින් සිදු කල දේවල්ය.මෙම යුද්ධ දියත් කෙරුනේ කාට විරුද්ධවද?මුස්ලිම්වරුන්ට,ක්‍රිස්තියානින්ට,සීකයන්ට,කොමියුනිස්ට්වාදීන්ට,දාලිත්වරුන්ට,ගෝත්‍රිකයන්ට - සරලවම ගතහොත් රාජ්‍යය විසින් පතිත කරන පීඩනයට යටවී තැලී චප්ප වෙනු වෙනුවට පෙරලා පහර දීම තෝරාගත් සියලුම දුගීන්ට එරෙහිව මෙම සංග්‍රාම ශක්තිය යෙදවුනි.ඉන්දීය රාජ්‍යය වනාහි ( කවර පක්ෂයක් ආන්ඩු බලය හෙබවූවද ) සිය "අනෙකා" වෙත නොඉවසිලිමත් ආක්‍රමනශීලිත්වයක් දක්වන කුලීන හින්දු රාජ්‍යයකි යන්න පැහැදිලිය.සැබෑ යටත්විජිතවාදි ස්වභාවයකින් එය විවිධ ප්‍රජාවන් එකිනෙකා කොටවමින් සිය පැවැත්ම සාදා ගනියි.එය නාගලන්තයේ හා මිසෝරාමයේ වැසියන්ව,මාඕවාදීන් සමග සටන් කරනු වස් චත්තිස්ගාර් ප්‍රදේශයට යවයි.සිකයන් කාශ්මිරයට යවයි.කාශ්මිර වැසියන් ඔරිස්සාවට යවයි.දෙමල ජාතිකයන්ව ඇසෑමයට යවයි.මෙය සැබැවින්ම දිග්ගැස්සුන යුද්ධයක් නොවේ නම් අන් කවරක්ද?

අලංකාර තාරකාවන්ගෙන් සපිරි රාත්‍රියක නැගෙන අප්‍රසන්න සිතුවිලි.සුඛ්දේව් තනියම සිනාසේ.පරිගනකයේ ආලෝකය ඔහුගේ මුහුන මත වැටී තිබේ.ඔහු වැඩ කෙරෙහි උමතු ආදරයක් දක්වන වැඩලෝලියෙකි.සිනාවෙන්නේ ඇයිදැයි මම අසමි."මට ගිය අවුරුද්දේ බුම්කාල් උත්සවයට පැමිනි මාධ්‍යවේදින්ව මතක් වුනා"සුඛදේවී කීවේය "ඔවුන් ආවේ දවසකට හෝ දෙකකට.එක් අයෙක් මගේ රයිෆලය තමා අතට ගෙන තමාගේම පින්තූරයක් වෙන කෙනෙක් ලවා අරගත්තා.ආපසු ගියාට පසු ඔවුන් මිනීමරන යන්ත්‍ර වගේ නමකිනුයි අපව හදුන්වලා තිබුනේ"

No comments:

Post a Comment