Sunday, September 19, 2010

සහෝදරවරුන් සමග / Walking with the comrades - 4


ඒකාබද්ධ වූ කුනාටුව - නොයෙක් ප්‍රදේශ වල ජනතා ආන්ඩු නාට්‍ය කන්ඩායම් භූම්කාල් දිනයේදී නර්තනයන් ඉදිරිපත් කරමින්

පාතරාසය නිම වූ පසු කොම්රේඩ් වෙනු මා එ‍නතුරු බලා සිටියේය.පැදුර මත එරමිනිය ගොතා හිද සිටි හෙතෙම ගම්බද පාසලක ගුරුවරයෙකු ලෙස බැලූ බැල්මට දිස්වනු ඇත.මම ඉතිහාස පාඩමක් ඉගෙන ගැනීමට යමි.වඩා නිවැරදිව කිවහොත් දන්ඩකාරන්‍ය වනයේ පසුගිය වසර තිහක ඉතිහාසය - සැබැවින්ම  එය වූ කලී වනය තුල දිග ඇදෙමින් පවතින සංග්‍රාම‍යේද ඉතිහාසයයි - පිලිබද දේශනයක් දැන් සිදුකිරීම නියමිතය.පැහැදිලිවම එය පාටිසාන්වරයෙකුගේ දෘෂ්ටිකෝනයෙන් කෙරෙන ඉතිහාසමය විවරනයක් බව සත්‍යයකි.නමුත් ඉතිහාසය යනු ඇත්තටම කවරක්ද?සෑම ප්‍රශ්නයකදිම සිදුවෙමින් පවතින දේ ප්‍රශ්න කිරීමට නම්,තර්කයට ලක් කිරීමට නම් රහසිගත ඉතිහාසය ප්‍රසිද්ධ කල යුතුය.

වෙනු සහෝදරයා සතුව සන්සුන් වූද ආචාරශීලි වූද ගලායන සුලු වූද හඩක් පවතී.මෙම උදෑසන හේ පැය ගනන් එක දිගට කතාකරයි.ඔහු කුඩා ගබඩාකරුවෙකු වැන්න.ගබඩාවේ යතුරු ඔහු දරා සිටී.ගබඩාව කතන්දර,ගීත හා අත්දැකීම් වලින් පිරී ඉතිරී ගිය ලාච්චු ගනනාවක් සහිත එකකි.

වසර තිහකට පෙර 1980 ජූනි මාසයේ ගෝදාවරි ගංගාව තරනය කොට අන්ද්‍රා ප්‍රදේශයේ සිට දන්ඩකාරන්‍යය වනයට ප්‍රවේශ වූ මුල්ම ‍භට සේනාංක හතෙහි භට පිරිස් අතර වෙනු සහෝදරයාද වූයේය.ව්‍යාපාරයේ පැරනිම සාමාජිකයන් හතලිස් නම දෙනා අතරින් ඔහුද එකෙකි.ඔවුන් මහජන සංග්‍රාම කන්ඩායම (PWG)හි සාමාජිකයන්ය.මෙම කන්ඩායම නැක්සලයිට් අරගලය දියත් කල මාක්ස් ලෙනින්වාදි ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට අයත් කන්ඩායමකි.මෙම කන්ඩායම ස්වාධීන වෙනම පක්ෂයක් ලෙස එම වසරේ අප්‍රේල් මස ප්‍රකාශයට පත්කරන ලද්දේ ය.කොන්දප්පිලි සීතාරමියාහ් යටතේ මෙම කන්ඩායම සංවිධානය වී තිබුනි.කන්ඩායම ස්ථිරසාර වූ ද මූලස්ථානයක් ලෙස යොදාගත හැකි වූද හමුදාවක් ගොඩනැගීමට තීරනය කර තිබුනේය.දන්ඩකාරන්‍ය වනය මූලකදවුර විය.මුල්ම භට සේනාංක වනය තුලට යැවුනු අතර ගරිල්ලා කලාප ඉදිකිරීම ඔවුහු ඇරඹූහ.හමුදාවක් ගොඩනැගීම පිලිබද මහජන සංග්‍රාම කන්ඩායමේ අදහස ආන්ද්‍රා ප්‍රදේශයේදී ඔවුන් ලද අත්දැකීම් අනුසාරයෙන් ගලා ආ එකකි.එහිදී ඔවුන් දියත් කල දුගීන්ට ඉඩම් බෙදා දීම පිලිබද ව්‍යාපෘතිය ඉඩම් හිමියන්ගේ විරෝධයට ලක්වූ අතර එය සාහසික පොලිස් මර්ධනයකට තුඩු දුන්නේය.ශක්තිමත් ප්‍රතිරෝධය පෑමේ හමුදාවක් රහිතව පොලිස් මර්ධනයට මුහුන දීම පක්ෂයට කිසිසේත් කල නොහැක්කක් වූයේය.

( 2004 PWG සංවිධානය අනෙකුත් මාක්ස් ලෙනින්වාදී ඉන්දිය කොමියුනිස්ට් පක්ෂ ප්‍රවනතා සමග එක්සත් විය.සමගි පක්ෂය හා මාඕවාදී කොමියුනිස්ට් කේන්‍ද්‍රය යන සංවිධාන ඒ අතර වැදගත්ය.මේ ප්‍රවනතා විසින් බිහාර් හා ජාර්කන්ද් වලින් පිට විශාල ප්‍රදේශයක බලපෑම පතුරුවා තිබේ.මෙම එක්සත් කන්ඩායම් විසින් වර්තමාන මාඕවාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය පිහිටුවාගෙන තිබේ )


න්ඩකාරන්‍ය වනය බ්‍රිතාන්‍යයන් විසින් ( ඔවුන්ගේ "සුදු මිනිසාගේ ශෛලිය" අනුව ) ගොන්ද්වානා යනුවෙන් හැදින් වූ ප්‍රදේශයට අයත්ය.ගොන්ද්වරුන්ගේ දේශය යන්න එහි අර්ථයයි.අද වනය මධ්‍ය ප්‍රදේශ්,චත්තිස්ගාර්,ඔරිස්සා,අන්ද්‍රා ප්‍රදේශ් හා මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත අතරේ බෙදී ගොස් තිබේ.කලහකාරී ජනතාවක් පරිපාලන ඒකක කිහිපයක් අතර බෙදා දැමීම පැරනි පරිපාලනමය ප්‍රයෝගයකි.එහෙත් මෙම මාඕවාදින් හා මාඕවාදී ගොන්ද්වරු ප්‍රාන්ත දේශසීමා වැනි දේ පිලිබද එතරම් නොතකති.ඔවුන් සතුව ඔවුන්ගේම සිතියම් ඔවුන්ගේ සැලසුම් තුල තිබෙන අතර වනයේ අනෙත් සතුන්ට සේ තමාගේම වූ පාරවල්ද වනය තුල පවතී.සම්මත පාරවල් වූ කලී ඔවුන්ට ඇවිද යා යුතු යමක් නොව තරනය කල යුතු එසේ නැතිනම් හදිසි අවස්ථාවක් මතු වුවහොත් අවහිර කල යුතු ව්‍යුහයන්ය.ගොන්ද්වරු ප්‍රදේශයේ ප්‍රධානම ජනකොටස වූවද වෙනත් කුඩා පරිමාන ගෝත්‍රික ප්‍රජාවෝද එහි වාසය කරති.මහාමාර්ග හා පොදු වෙලදපොලවල්වලට ආසන්නව වනාන්තරයේ අද්දරට වන්නට ආදිවාසී නොවන වෙනතත් වාසිකයන් ද ජීවත් වේ.මොවුන් සංක්‍රමනිකයන්ගෙන් හා වෙලෙදුන්ගෙන් සමන්විත වේ.

මහජන සංග්‍රාම කන්ඩායම දන්ඩකාරන්‍යය වෙත පැමිනි මුල්ම "ශුභාරංචි දේශක කන්ඩායම" නොවේ.චිර ප්‍රසිද්ධ ගාන්ධිවාදියෙකු වූ බාබා අම්තේ 1975 දී සිය ආශ්‍රමය හා ප්‍රතිකාර මධ්‍යස්ථානය වරෝරා හි පිහිටුවීය.රාමක්‍රිෂ්නා කන්ඩායම අබුජ්මාද් හි අති දුෂ්කර ප්‍රදේශ වල පාසල් පිහිටුවා තිබේ.උතුරු බස්තාර් හිදී බිහාරි දාස් බාබා විසින් "ගෝත්‍රිකයන්ව යලි හින්දු දහමේ සාරය" වෙත කැදවීම වෙනුවෙන් ආවේගාත්මක ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ.ගෝත්‍රික  සංස්කෘතින්ගෙන් මිදීමට,ස්වයං වෛරය ඇතිකරගැනීමට සහ හින්දු දහමේ මහගු ත්‍යාගය වන කුලවාදය වෙත ඔවුන් හදුන්වාදීමේ ව්‍යාපෘතියක් මෙම ව්‍යාපාරයට ඇතුලත්ය.මෙම හින්දුත්ව නිකායේ මුල්ම අනුගාමිකයෝ වූවෝ ඉඩම් හිමියෝය.ගම් ප්‍රධානීහුය.සල්වා ජුදුමයේ නියමුවා වන මහෙන්ද්‍ර කර්මා වැනි අයගෙන් සමන්විත මෙම භක්තිවන්තයන් පිරිස වෙත "දෙවරක් උපන් බ්‍රාහ්මනවරු" යන විරුදාවලිය පුද කරන ලදී.
( මෙය තරමක් හාස්‍යජනකය.න්‍යායාත්මකව නම් යමෙක් බ්‍රාහ්මන කුලයට අයත් වනුයේ උපතිනි.කිසිවෙකුට එම කුලය වැලදගත නොහැක.එසේ කල හැකි නම් මේ වන විටත් සමස්ත ඉන්දියාවම බ්‍රාහ්මන කුලයට අයත් වූවන්ගේ රටක් ව තිබෙනු ඇත)
නමුත් මෙම ව්‍යාජ හින්දු අර්ථකතනය ගෝත්‍රිකයන්ට ගැලපෙන බවට තීන්දු වූවා සේය.එය හරියට ව්‍යාජ වූද විකෘති වූද - සබන්,බිස්කට්,ගිනිකූරු,තෙල් යනාදී වෙනත් ඕනෑම දෙයක් - ගම්මාන වල වෙලදපොලවල් වල අලෙවි කිරීම සුදුසු යැයි හිතුවා වැනි දෙයකි.මෙම හින්දුත්ව ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක්‍ ලෙස ගම්මාන වල නම් වෙනස් කෙරින.මේ නිසා බොහෝ විට ව්‍යවහාරිත නම හා රජයේ නාමලේඛන වල ඇති නම ලෙස ගම්වලට නම් දෙකක් තිබේ.නිදසුනක් ලෙස ඉන්නාර් නම් ගම චින්නරි බවට පත්විය.චන්දදායක ලැයිස්තු වල ගෝත්‍රික නම් හින්දු නම් බවට හැරවිනි.මාසා කර්මා මහේන්ද්‍ර කර්මා වීම නිදසුනකි.හින්දුත්ව පරිවර්තනය සමග එක්වීමට ඉදිරියට නොආ පිරිස් කට්වා යන ගර්හිත නමින් හදුන්වනු ලැබීය.කර්මයෙන් දූෂිත වූද  අපවිත්‍ර වූ ද අස්පර්ශී කොටස් ලෙස මෙම කොටස් බැහැර කරන ලදී.පසුකාලිනව මාඕවාදීන් වෙත ආකර්ශනය වන ප්‍රධාන කොටසකි මෙම පිරිස.

කොම්රෙඩ් වෙනු මහජන සංග්‍රාම කන්ඩායමේ මුල් අත්දැකීම් මට විස්තර කරයි.ඔවුහු දකුනු බස්තාර් හා ගද්චිරොලි ප්‍රදේශ වල මුලින්ම කටයුතු ආරම්භ කලහ.මුලදී ගම්මු සැක සහිත වූහ.ඔවුන්ව නිවෙස් තුලට වැද්දා ගනු නොලැබුනි.කිසිවෙක් මාඕවාදීන්ට වතුර හෝ අහර පිලිගැන්වීමට ඉදිරිපත් නොවීය.ඔවුන් චෞරයන් බවට කටකතා පොලිසිය විසින් පැතිරවිනි.ලිපෙහි අලු යට ගැහැනුන් තමන්ගේ ආභරන සගවන්නට විය.දරුනු මර්ධනයක් මුල සිටම තිබුනේය.පොලිසිය 1980 නොවැම්බරයේදී ගද්චිරොලි හිදී මුලුමහත් මාඕවාදී කන්ඩායමක්ම රැස්වීමක් අතර තුර වෙඩි තබා මරා දමන ලදී.මෙය දන්ඩකාරන්‍යයේ පලමු "මුහුනට මුහුන" ඝාතනය විය.මෙය පසුබැසීමකට හේතු වූ අතර සහෝදරවරු ගෝදාවරි ගංගාව දක්වා පසුබැස ගොස් ප්‍රතිසංවිධානයව නැවත 1981 දී පැමිනියහ.
බීඩි සෑදීමට යොදාගන්නා තෙන්දු නම් ශාක පත්‍ර වර්ගය සදහා ගෙවන මිල ගනන් සම්බන්ධ අරගලයකට ගෝත්‍රික ජනයා සංවිධානය කිරීමට ඔවුහු උත්සාහ ගන්නට වූහ.එවකට වෙලෙදුන් ගෙවූ මිල වූයේ කොල පනහක් සහිත මිටියකට ශත තුනකි.වර්ජනයක් සදහා මෙම මිනිසුන් සංවිධානය කිරීම කෙතරම් දුෂ්කර වීද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.එවැනි දේශපාලනයක් එම ජනයාට මුලුමනින්ම නුහුරු නුපුරුදු ආගන්තුක එකක් වූයේය.
කෙසේ වුවද වර්ජනය සාර්ථක වූ අතර එක් කොල මිටියක් වෙනුවෙන් ගෙවන මිල දෙගුන කරගැනීමට ගෝත්‍රිකයෝ සමත් වූහ.නමුත් සැබෑ සාර්ථකත්වය වූයේ කොල මිටියක මිල වැඩිවීම නොවේ.එක්සත්භාවයේ හා සංවිධානයේ පනිවිඩය ගෝත්‍රික ජනයා අතර ස්ථාපනය වීමයි.දේශපාලන අයිතීන් දිනාගැනීමේ නව ආකාරයක් ගෝත්‍රික ජනයා වෙත මේ හරහා හදුන්වා දෙනු ලැබින.අද වන විට වර්ජනයන් ගනනාවක ප්‍රතිඵලයක් ලෙස තෙන්දු  කොල මිටියක මිල රුපියලක් වේ.
( මෙය ප්‍රශ්නකාරි මිලක් බව ඇත්තකි.තෙන්දු ව්‍යාපාරයේ අවසන්  ආදායම ගිනිය යුතු වනුයේ රුපියල් කෝටි ගනන් වලිනි )
සෑම වසරකදීම රජය බෑග 1500 - 5000 අතර ගනනකින් සමන්විත මානක් බෝරා නම් තෙන්දු පත්‍ර ඒකකයක් වෙනුවෙන් ටෙන්ඩර් නිකුත් කරනු ලබයි.සෑම මානක් බෝරාවකම තෙන්දු පත්‍ර මිටි දහසක් පමන අඩංගු වේ.තෙන්දු වෙලදපොල වෙත ඒමේදී ඒවායේ බර කිලෝ ග්‍රෑම් වලින් අගය කෙරේ.කොල "මිටි" වලින් යුතු තෙන්දු ප්‍රමානයන් කිලෝ ග්‍රෑම් වලින්යුතු මානක් බෝරා වලට පරිවර්තනය කිරීමේ ලිස්සන සුලු හා කුටිල වූ ගනිතමය ක්‍රීඩාව කොන්ත්‍රාත්කරුවන් විසින් සිදුකරන අතර මෙය වංචාවන් වෙනුවෙන් හරිනු ලබන සීමා රහිත කවුලුවකි.ඉතාම අන්තවාදි අගය කිරීම අනුව පවා එක් නිශ්චිත බෑගයක් වෙනුවෙන් රුපියල් 1 110  ලාභයක් උපයන බව කිව හැකිය.එවැනි තත්වයකදී ඉතාම කුඩා පරිමාන කොන්ත්‍රාත්කරුවෙකු බෑග 1 500 ක් සැපයීමෙන් අඩුමතරමින් රුපයල් ලක්ස 16 ක් උපයනු ඇති අතර බෑග 5000 ක සපයන විශාලම කොන්ත්‍රාත්කරුවාගේ ලාභය ලක්ෂ 55 වනු ඇත.සැබෑ ඉපයුම් ප්‍රමානය ඇතැම්විට මෙයද ඉක්මවනු ඇත..

සිනා හඩක් නිසා අපගේ සාකච්ඡාවට බාධාවක් එල්ල වෙනු ලැබේ.තරුන ගරිල්ලා හමුදා භටයෙකු වූ නිලේෂ් තමාගේම කම්මුලට ගසා ගනිමින් ඉවුම් පිහුම් කරන ස්ථානය වෙත වේගයෙන් යමින් සිටියේය.ඔහු අත වියරු වැටුනු රතු කූඹින් සහිත කොල ඉත්තකි.කූඹිහු ඔහුගේ සිරුර වට දිව යති.බෙල්ල සහ අත් සපා කති.නිලේෂ්ද සිනහසේ."ඔබ කූඹි චට්නි කා තියෙනවද?"වෙනු සහොදරයා මගෙන් විමසයි.මම රතු කුහුඹුවන් හොදින් හදුනමි.කුඩා කල මා උපන් කේරල ප්‍රදේශයේ ඔවුහු සුලභ දසුනක් වෙති.උන් මා සපා  කා ඇත.නමුත් මා පෙරලා උන්ව නම් අනුභව කොට නැත.
(කෙසේ වුවද චපොලි - ප්‍රනීතය.තරමක් ලුනු රසැතිය.ෆෝලික් අම්ලයෙන් යුක්තය)

නිලේෂ් සල්වා ජුදුමයේ හදවත බදු වූ බිජාපූර් වැසියෙකි.ඔහුගේ බාල සොහොයුරා එහි මංකොල්ලකාරී ව්‍යාප්තියේ ආරම්භක අවස්ථාවේම ජුදුමයට සම්බන්ධ වී විශේෂ පොලිස් නිලධාරියෙකුගේ තත්වයට උසස් කරනු ලැබීය.හෙතෙම ඔවුනගේ මව සමග බසගුඩා කදවුරේ වාසය කරයි.කදවුරේ ජීවත් වීම ප්‍රතික්ෂේප කල  පියා නැවත ගම වෙත පැමිනියේය.මෙය පවුලේ ලෙය හැලෙන සටනකි.පසුව අවස්ථාවක් ලද විටෙක බාල සොහොයුරා ජුදුමයට සම්බන්ධ විම ගැන මම නිලේෂ්ගෙන් ප්‍රශ්න කලෙමි.
"ඔහු ඉතාම තරුනයි" නිලේෂ් මට පැවසීය "කැලෑ පැනීමට මිනිසුන්ට හිංසා කිරීමට හා ගෙවල් ගිනිතැබිමට ඔහුට අවස්ථාව ලැබුනා.ඒ ආශ්වාදයෙන්  ඔහු මෝහනය වී විකාරයක් මෙන් වුනා.දරුනු දේවල් කලා.දැන් ඔහු හිරවෙලා.එයාට නැවත ගමට එන්න බැහැ.එය ඔහු දන්නවා"

අප නැවත ඉතිහාස පාඩමට යොමු වෙමු.පක්ෂයේ ඊලග විශාල සටන වූ බල්ලාර්පූර් මෝලේ සටන පිලිබද වෙනු සහෝදරයා පැහැදිලි කරයි.රජය තාපාර් සමාගම වෙත වසර 45 ක කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබුනි.ලක්ෂ එක හමාරක් වටනා උන බම්බු මිලදී ගනු වස්ය කොන්ත්‍රාත්තුව. උනබම්බු එක් මිටියක් වෙනුවෙන් ගැමියන්ට පයිසා දහයක් ගෙවන ලදී.
( කොන්ත්‍රාත්කරුවන් විසින් ඉපයූ ලාබ සමග එම විකිනුම් මිල සැසදීමේ ආවේග දනවන සුලු කටයුත්තට මෙහිලා මම නොපෙලඹෙමි )
දීර්ඝ කාලීන උද්ඝෝෂනයක්,වැඩවර්ජනයක් සහ බලධාරීන් සමග ඇති වූ සාකච්ඡා වට කිහිපයක් විසින් මිටියක මිල තුන් ගුනයකින් ඉහල නැංවිය.ගෝත්‍රිකයන්ට මේවා විශාල ජයග්‍රහන වූයේය.අනෙත් දේශපාලන පක්ෂ බොහෝ දෑ පොරොන්දු වී තිබුනි.නමුත් ලද දෙයක් නැත.මිනිසුන් ක්‍රමයෙන් මහජන සංග්‍රාම කන්ඩායම වෙත යොමුවන්නට පටන්ගත්තේය.ඊට සම්බන්ධ වීමට ඇතැම්හු අවසර පැතූහ.

කෙසේ වෙතත් තෙන්දු කොල වල උන බම්බු වල  සහ අනිත් වනාන්තර බද නිමැවුම් වල දේශපාලනය කන්නයෙන් කන්නයට ආ එකක් විය.සෘතු භේද නැති අඛන්ඩ ප්‍රශ්නයක් ලෙස පැවතුනේ විශාලම ඉඩම් හිමියා වූ වනාන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයයි.සෑම උදෑසනකම නරක සිහිනයක් මෙන් වනාන්තර නිලධාරිහු පැමිනෙති.මෙම කැලෑ මහත්තුරුන්ගේ ඉතාම කනිෂ්ට අය පවා ගම්මුන් ඔවුන්ගේ කුඹුරු හෑම,දර එකතුකිරීම,කොල කැඩීම,පලතුරු කැඩීම,හරක් දිගේලි කිරීම,වැනි කටයුතුවලින් සරලවම ගතහොත් ජීවතය පවත්වා ගෙන යාමෙන් වලක්වති.කුඹුරු චප්ප කරනු වස් ඔවුහු අලි ගෙන එති.පස දූෂ්‍ය කරනු වස් බාබුල් බීජ වපුරති.මිනිසුන්ට හේතුවක් නැතිව පහර වැදේ.ඔවුන්ගේ බවභෝග විනාශ කෙරේ.ඔවුන් විවිධ අපහාසයන්ට නින්දාවන්ට භාජනය කෙරේ.සැබැවින්ම වන දෙපාර්තමේන්තුවේ නිල අදහසට අනුව මෙම මිනිසුන් නිරතව සිටිනුයේ වනය විනාශ කරන නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී කටයුතු වලය.මේ නිසා කැලෑ මහත්වරුන්ගේ හැසිරීම් හුදෙක් නීතියේ ආධිපත්‍යය බලාත්මක කිරීමකි.
( ගැහැනුන් වෙත ලිංගික අඩත්තේට්ටම් කිරීම නීතියේ ආධිපත්‍යය සුරැකීම නමැති භාරධූර කාර්යය ඉටු කිරීමට යාමේදී හටගන්නා එතරම් ගනන් නොගත යුතු අතුරු ඵලයකි )

එතෙක් සංවිධානය කල අරගල වලදි ජනතාව දැක්වූ සහයෝගයෙන් අනුබල ලත් පක්ෂය වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට තිරනය කලේය.පක්ෂය වනය තුලට කා වැදීමටත් වනාන්තර ඉඩම් අස්වැද්දීමටත් මිනිසුන්ව දිරිමත් කරන්නට විය.දෙපාර්තමේන්තුව වනාන්තර තුල අලුත ස්ථාපිත කෙරෙන ගම්මාන ගිනි තැබීමෙන් ප්‍රතිචාර දැක්වීය.1986 දී දෙපාර්තමේන්තුව බිජාපූර්හි රක්ෂිත කලාපයක් ප්‍රකාශයට පත්කරන ලදී.රක්ෂිත කලාපය යථාර්තයක් වීමට නම් ගම්මාන හැටක් ඉවත් කල යුතු විය.එම ගම් වලින් අඩක් පමන ඉවත් කොට තිබියදී සහ රක්ෂිත වන උයනේ ඉදිකිරීම් සිදුකිරීම සිදුවෙමින් තිබියදී පක්ෂය මැදිහත් වූයේය.පක්ෂය උයනේ ඉදිකිරීම් පුපුරුවා දැමීය.ඉතිරිව ඇති ගම් කඩා ඉවත් කිරීම නතර කලේය.වනාන්තර දෙපාර්තමේන්තුවට ප්‍රදේශය තුලට ඇතුලු විමට වූ ඉඩ අහුරා දැමීමට පක්ෂය ක්‍රියා කලේය.කිහිප අවස්ථාවකදී කැලෑ නිලධාරින් අල්ලා ගැනීමටද,ගස් වල බැදීමටද,පහර දීමටද ගම්මු යොමුවූහ.එය වූ කලී පරම්පරා ගනනාවක අනවරත සූරාකෑමට එරෙහිව කරන ලද ප්‍රචන්ඩ පලිගැනීමකි.ක්‍රමයෙන් වනාන්තර දෙපාර්තමේන්තුව පරාජය වන ලකුනු පහල විය.1986 සිට  2000 දක්වා කාලය තුල පක්ෂය අක්කර 3 00 000ට අධික ප්‍රමානයක් ගම්මුන් අතර බෙදා දෙන ලදී.අද - කොම්රේඩ් වෙනු කියයි.අද ඉඩම් අහිමි කිසිදු ගැමියෙක් දන්ඩකාරන්‍යයේ නැත.

වර්තමාන තරුන පරම්පරාවට වනාන්තර දෙපාර්තමේන්තුව යනු දුරස්ථ මතකයක් පමනි.මව්වරු අතීත ක්‍රෑරත්වය පිලිබද කතා දරුවන්ට පවසති.වද හිංසනයන්ගේ සහ අවමානයන්ගේ ජනප්‍රවාදමය අතීතය පිලිබද කතා ගෙතී ඇත.පැරනි පරපුරට කැලැ දෙපාර්තමේන්තුවෙන් ලද නිදහස වූ කලී වචනයේ නියම අර්ථයෙන් නිදහසම විය.ඔවුන්ට එම නිදහස ස්පර්ශ කල හැකි විය.එය දිව ගා බැලිය හැකි විය.එය "ඉන්දීය නිදහස" ඔවුන් තුල ජනිත කල හැගීමට වඩා සිය දහස් ගුනයක හැගීමක් ඔවුන් අතර ජනනය කලේය.ඔවුන් වෙනුවෙන් සටන් කල පක්ෂය වටා එක්සත් වීමට මේ අනුව ඔවුහු ක්‍රමයෙන් යොමුවුනාහ.

No comments:

Post a Comment