Monday, September 20, 2010

සහෝදරවරුන් සමග / Walking with the comrades - 5

කැරලිකරුවෝ - ග්‍රාමාරක්ෂක කන්ඩායමක් : මෙය ගරිල්ලා හමුදා ධූරාවලියේ
පහලම ස්ථරයයි

මේ වන විට හුදෙක් භට ඛන්ඩ හතකින් ආරම්භ වූ මහජන සංග්‍රාම කන්ඩායම බොහෝ දුර පැමින තිබුනි.වර්ග කිලෝ මීටර 60 000  ක බිම් ප්‍රදේශයක්,දහස් සංඛ්‍යාත ගම්මාන හා මිලියන ගනනක් මිනිසුන් ආවරනය කරමින් ඔවුන්ගේ බලපෑම පැතිර ගොස් තිබුනි.


නමුත් කැලෑ දෙපාර්තමේන්තුවේ පසුබැසීම නිසා ඇතිවූ රික්තය,වඩා භයානක පොලිස් දෙපාර්තමේන්තුවේ පැමිනීමට අත වැනීය.ඔවුහු ලේ වැගිරීම් ප්‍රවාහයකට මුල පිරූහ.පොලිසියේ ව්‍යාජ වැටලීම් සහ මාඕවාදීන්ගේ හදිසි ප්‍රහාරයන්ගෙන් එක්වරම හැමදේම පිරෙන්නට පටන් ගත්තේය.ඉඩම්  ප්‍රතිසංස්කරන වලින් පසු එතෙක් නොතිබුනු වගකීම් සමුදායක් මාඕවාදීන් මත පැවරෙන්නට විය.වාරිමාර්ග,කෘෂිකර්ම ඵලදායිතාවය සහ වැඩි වෙන ජනගහනයට ගැලපෙන ලෙස ඉඩම් කලමනාකරනය කිරීම වැනි වගකීම් මෙහෙයවීම සදහා "යුද කටයුතු" වලින් "මහජන කටයුතු" වෙන් කිරීමට පක්ෂය තින්දු කලේය.

අද දන්ඩකාරන්‍යය සමූහ වශයෙන් පිහිටුවන ලද jantana sarkar (ජනතා ආන්ඩු) සමූහයක් විසින් පරිපාලනය කෙරේ.සංවිධාන මූලධර්ම චීන ව්ප්ලවය හා වියට්නාම් යුද්ධයේ ක්‍රියාකාරකම් හරහා උකහා ගන්නා ලදී.සෑම මහජන ආන්ඩුවක්ම ඒකාබද්ධ ජනගහනය 500 - 5000 අතර ප්‍රමානයෙන් සංයුක්ත වූ ගම්මාන සමූහයක් නියෝජනය කරයි.ආන්ඩුවක දෙපාර්තමේන්තු නමයකි.කෘෂිකර්මය,වෙලද හා කර්මාන්ත,ආර්ථික,නීති,ආරක්ෂක,සෞඛ්‍යය,මහජන සම්බන්ධතා,අධ්‍යාපන හා සංස්කෘතික සහ වනාන්තර කටයුතු යන විෂයන් අනුව මෙම දෙපාර්තමේන්තු බෙදි තිබේ.ජනතා ආන්ඩු කිහිපයක් විසින් ප්‍රා‍දේශීය කමිටුවක් සංයුක්ත කෙරේ.ප්‍රාදේශීය කමිටු තුනක් එක් ඩිවිෂනයකි.මෙවැනි ඩිවිෂන දහයක් දන්ඩකාරන්‍යය තුල පවතී.

"අපි කැලෑ දෙපාර්තමේන්තුවටත් හරියන්න ඉතිරි කරල තියෙනව" වෙනු සහෝදරයා පවසයි."නක්සලයිට් ප්‍රදේශ වල වන ගහනය වැඩි වෙලා තියෙන බව සදහන් රජයේම නිල වාර්තා ඔබ ඇතැම්විට කියවලා ඇති"

"උත්ප්‍රාසාත්මකව" කොම්රේඩ් වෙනු කියයි.කැලෑ දෙපාර්තමේන්තුවට එරෙහිව පක්ෂය කල සටනෙන් මුලින්ම වැඩිම ප්‍රතිලාභ ලබා ගත්තේ ගම්ප්‍රධානීන් හෙවත් මුකියාවරුය.තම පිරිස්බලය භාවිතා කල ඔවුන් වනාන්තර දෙපාර්තමේන්තුව පසුබසිද්දී තමන්ට ලබා ගත හැකි උපරිම ඉඩම් ප්‍රමානය අල්ලා ගැනීමට උත්සාහ ක‍ලේය.නමුත් ක්‍රමයෙන් ජනයා ඔවුන් අතර පැවති අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් හරහා පක්ෂය වෙත ආමන්ත්‍රනය කරන ලදී.පක්ෂය සාධාරනත්වය,පංති සහ අයුක්තිය  පිලිබද අදහස් ගෝත්‍රික ප්‍රජාවන් වෙත හදුන්වා දෙන්නට වූයේය.විශාල ඉඩම් හිමියන් ක්ෂිතිජයේ මෝදු වෙමින් තිබෙන අනතුරක් පිලිබද ඉගි කලේය.නමුත් පක්ෂයේ බලපෑම වැඩිවනවාට සමානුපාතිකව මෙම අනතුර දියවී යාම ආරම්භ විය.මිනිසුන් ක්‍රමයෙන් තම  ප්‍රශ්න ගම්ප්‍රධානීන්ට ඉදිරිපත් කරනවා වෙනුවට පක්ෂය වෙත යොමු කිරීමට පුරුදු වන්නට විය.සූරාකෑමේ ඉපැරනි ආකාර අභියෝගයට ලක්විය.සාම්ප්‍රදායිකව පලමු වැසි දිනයේදී මිනිසුන් තමන්ගේ ඉඩම් වෙනුවට ගම් ප්‍රධානියාගේ ඉඩම හෑමට බැදී සිටියේය.මෙම "පුරුද්ද" නතර වූයේය.මිනිසුන් තමන්ගේ පලමු අස්වැන්නේ කොටස් හෝ වෙනත් වනාන්තර නිපැයුම් වල කොටස් ගම් ප්‍රධානීන් වෙත පූජා කිරීමේ පුරුදු නතර කලේය.
ඉපැහැදිලිවම මෙය යම් දෙයක් ප්‍රතිචාර ලෙස සිදුවීම සදහා පරිසරය සකස් කලේය.

එම "යම් දෙය" මහේන්ද්‍ර කර්මා විසින් සිදුකරන ලදී.ප්‍රදේශයේ විශාලතම ඉඩම් හිමියෙකු වූ හෙතෙම ඒ කාලය වන විට ඉන්දිය කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය දැරීය.1990 දී ගම් ප්‍රධානීන් හා ඉඩම් හිමියන් කිහිප දෙනෙකු සමග එකතු වූ කර්මා Jan Jagran Abhiyaan ( මහජනයා අවදිකිරීමේ ව්‍යාපාරය ) යනුවෙන් ව්‍යාපෘතියකට මුලපිරීය."ජනතාව" "අවදිකිරීම" සදහා ඔවුන් තෝරා ගත් උපක්‍රමය වූයේ 300 කගෙන් පමන යුක්ත කන්ඩායම් පිහිටුවා වනය පීරීම සදහා ඔවුන් යොදාගැනීමයි.මෙම පිරිස් මිනිසුන් මැරීමට,ගැහැනුන්ට අතවර කිරීමට හා ගෙවල් ගිනිතැබීමට පටන්ගත්තේය.එවිට එවකට මධ්‍ය ප්‍රදේශ් ආන්ඩුව - ඒ වනවිට චත්තිස්ගාර් ප්‍රාන්තය ස්ථාපනය කොට නොතිබුනි - පොලිස් පිටුබලය ඊට සපයන්නට වූයේය.මහාරාෂ්ට්‍රයේදී "ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුන" නම් සංවිධානය තමන්ගේ අඩත්තේට්ටම් කිරීම ඇරඹීය.මහජන යුද්ධය මේ සියල්ලට මහජන යුද්ධයට ආවේනික ක්‍රමයෙන් පිලිතුරු සැපයීය.වඩාත්ම ක්‍රියාකාරී ඉඩම් හිමියන් කිහිප දෙනෙකු ඝාතනය කෙරින.මාස කිහිපයක් තුල "මහජන අවදිකිරීමේ ව්‍යාපාරය" - කොම්රේඩ් වෙනුට අනුව "ධවල භීෂනය" - වියැකී යාම ආරම්භ විය.1998 දී මහේන්ද්‍ර කර්මා නැවත මෙම ව්‍යාපාරය පන ගැන්වීමට උත්සාහ කලත් අවාසනාවකට පලමු උත්සාහය තරම් වත් එය සාර්ථක වූයේ නැත.මේ වන විට කර්මා කොංග්‍රසයේ නායකයෙක් බවට පත්ව තිබුනි.

2005 වසන්තයේදී,කෙසේ වුවද වාසනාව කර්මාට උදාවිය.අප්‍රෙල් මාසයේදී බීජේපී ආන්ඩුව චත්තිස්ගාර් ප්‍රාන්තයේ වානේ ආකර දෙකක් පිහිටුවීම සදහා ගිවිසුම් වලට එලඹුනේය.රැපියල් කෝටි 7000ක් වටිනා එක් ආකරයක් බයිලාඩිලාවලද,කෝටි 10 000 ඉක්මවන අනෙක ලොහන්ඩිගුදා වලද ස්ථාපනය කිරීමටද ගිවිස ගන්නා ලදී.එම මාසයේදීම අගමැති මන්මෝහන් සිං "මාඕවාදීන් ඉන්දියාවේ ගැඹුරුතම අභ්‍යන්තර තර්ජකයාය" යන තමන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශය සිදු කරන ලදී.
( ඒ අවස්ථාවේ එය තරමක් අමුතු ප්‍රකාශයක් විය.මන්ද එහි පරස්පරය සත්‍යය වූ බැවිනි.අන්ද්‍ර ප්‍රදේශයේ ආන්ඩුව මාඕවාදීන්ව සාර්ථකව මැඩ පවත්වා දුර්වල කොට තිබුනි.කාඩර්වරු 1600 පමන ඝාතනය කරනු ලැබ මාඕවාදින් තරමක දුර්වල අඩියකට වැටී සිටියේය )
අගමැතිගේ ප්‍රකාශය වානේ සමාගම් වල උත්සන්න වන අභිලාෂයන් සමග එතුමාගේ පවත්නා පොදුභාවය පෙන්නුම් කල අතර අනෙත් අතට මාඕවාදීන් රටේ බරපතලම අභ්‍යන්තර තර්ජනය නිසා මාඕවාදීන් යනු ඔවුන් පසුපස හඹායන කවර පාර්ශවයක වුවද "සාධාරන ගොදුරකි" යන අදහස මාධ්‍ය වෙත ඉගි කලේය.මහේන්ද්‍ර කර්මා 2005 ජූනි මාසයේදී කුට්රු ගම්මානයේ දී ගම් ප්‍රධානින්ගේ රහසිගත රැස්වීමක් කැදවා සල්වා ජුදුමය ( ශුද්ධ කිරීමේ මෙහෙයුම ) ප්‍රකාශයට පත් කරන්නේ මීට සමගාමීවය.සල්වා ජුදුමය වූ කලී වනචාරී ආක්‍රමනශිලිත්‍වයේද ගම්ප්‍රධානමය නාසිවාදයේ ද විස්මය ජනක සංකලනයකි.

මහජන අවදිකිරීමේ ව්‍යාපාරය මෙන් නොව සල්වා ජුදුමය භූමිය ශුද්ධ කිරීමේ මෙහෙයුමකි.එය මිනිසුන්ව ගම්මාන වලින් පලවා හැර කදවුරු වල ගාල්කිරීම ඉලක්කගත කලේය.එවිට එම ජනයා පොලිසියේ සුපරික්ෂාව යටතේ පාලනය කල හැක.මෙය මිලිටරිමය භාෂාවට අනුව උපක්‍රමික අවතැන් කිරීමකි.මෙම උපාය ජෙනරාල් ශ්‍රිමත් හැරල්ඩ් බ්‍රිග්ස් විසින් මලයානු කොමියුනිස්ට්වාදීන්ට එරෙහි බ්‍රිතාන්‍ය සංග්‍රාමයේදී 50 දශකයේදී අත්හදා බලනු ලැබූවකි.බ්‍රිග්ස් උපක්‍රමය ඉන්දියානු හමුදාව අතර මහත් ප්‍රසිද්ධියට පත්වූ අතර පිලිවෙලින් නාගලන්තය,මිසෝරාම් හා තෙලන්ගනා හිදී යොදා ගන්නා ලදී.තම ආන්ඩුව සලකන පරිදි,කදවුරු වෙත සිය ගෙවල් දොරවල් හැර පලා නොයන සියලු ගම්මුන් මාඕවාදීන් ලෙස සැලකීමට සිදුවන බව චත්තිස්ගාර්හි ප්‍රධාන අමාත්‍යවරයා වූ රාමන් සිං ප්‍රකාශ කලේය.මේ අනුව බස්තාර් වැනි ප්‍රදේශයක සාමාන්‍ය ගැමියෙක් මේ නිසා හුදෙක් තම ගෙදර සිටීම භයානක ත්‍රස්තවාදී ක්‍රියාවක් වශයෙන් අරුත් ගැන්වෙන්නට විය!

මා වෙත තේ කෝප්පයක් සමග යමෙක් විසින් විශේෂ සංග්‍රහයක් ලෙස ඉයර්ෆෝනයක් පිලිගැන්වීය.ඉක්බිති හෙතෙම එම් පී 3 ධාවකයක් ක්‍රියාවට නැංවීය.එය වූ කලී බිජාපූර් හි හිටපු පොලිස් අධිකාරි මන්හාර් මහතාගේ හඩ රැගත් නොපැහැදිලි හඩපටයකි.ඔහු සිය ගෙවල් අත්හැර කදවුරු වෙත යන "අවදි වුනු" ගම් වැසියන්ට ආන්ඩුව විසින් දෙනු ලබන ප්‍රතිලාභ පිලිබද සිය කනිෂ්ට නිලධාරියෙක්ට තොරතුරු කියයි.ඉන්පසු එසේ ගෙවල් අත්හැර යාම ප්‍රතික්ෂේප කරන අයවලුන්ට දෙන "දඩුවම්" පිලිබදද පැහැදිලි උපදෙස් ලබා දෙයි.එම නිවාස දවාහලු කල යුතු අතර නැක්සලයිට්වරුන්ගේ ක්‍රියාකාරකම් ආවරනය කිරීමට ඇතුලු වීමට තැත් කරන මාධ්‍යවේදීන් දුටු තැන වෙඩි තබා අහවර කල යුතුය.
( මෙම පුවත කාලෙකට ඉහතදී පුවත්පත් වල තිබී මා ඇස ගැටුනි.පුවත එලියට ආ කල්හි දඩුවමක් ලෙස මෙම පොලිස් අධිකාරිවරයා මාරු කරනු ලැබීය.ඉක්බිති ඔහුව අනුයුක්ත කරනු ලැබුවේ රාජ්‍ය මානව හිමිකම් කොමිසමේ රාජකාරි වලටය)

අම්බේලි ගම්මානය (2005 ජූනි 18) සල්වා ජුදුමය විසින් දවා හලු කල පලමු ගම්මානයයි.දකුනු දාන්තේවාද හි ප්‍රචන්ඩ ක්‍රියා ගනනකට ඉන්පසු එය සම්බන්ධ විය.ඔවුහු ගිනිතැබූහ.මිනීමැරූහ.ගැහැනු දූෂනය කලහ.ජුදුමයේ මෙහෙයුම් කේන්ද්‍රය වූයේ බිජාපූර් හා බයිලාදිලා යන දිස්ත්‍රික්ක ආසන්නයේ නව වානේ ආකර ස්ථාපනය කිරීමට නියමිතව තිබූ ප්‍රදේශය.මෙය මාඕවාදීන්ගේ මහජන ආන්ඩු අස්වැද්දීම් සදහා ජල ව්‍යාපෘති සංවිධානය කලා වූත් ඔවුන්ගේ බලය මහත් ප්‍රබල ලෙස පැවතියා වූත් ප්‍රදේශ වීම අහම්භයක් නොවේ.‍මෙම මහජන ආන්ඩු සල්වා ජුදුමයේ විශේෂ ඉලක්ක බවට පත්විය.ඉතාම දරුනු ආකාරයට සිය ගනන් දෙනා මරා දැමින.60 000 පමන ජනයා කදවුරු වෙත නික්මුනහ.ඇතැමුන් සිය කැමැත්තෙනි.ඇතැමුන් භීෂනය නිසා බියපත්වය.මේ අතරින් 3000 ක් පමන විශේෂ පොලිස් නිලධාරී ඒකක වලට රුපියල් 1500ක වැටුපක් වෙනුවෙන් අනුයුක්ත කරන ලදී.

විශේෂ පොලිස් නිලධාරීන් බවට පත්වීමේ මෙම අර්ථ විරහිත ක්‍රියාදාමයට සම්බන්ධ වීම මගින් නිලේශ්ගේ සොහොයුරා වැනි තවත් බොහෝ දෙනා ස්වේච්ඡාවෙන්ම ජීවිතාන්තය දක්වා පවතින විෂම චක්‍රයක් වෙත ඇතුලු වූහ.කෲරත්වය තුල ගිලී යා හැකි උපරිමයට ගිලී ගිය ඔවුහු ඇතැම්විට මෙම සාහසික යුද්ධයේ දරුනුතම ගොදුරු විය හැක.සල්වා ජුදුමය විසුරුවා හල යුතු යැයි බල කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරන තීරනයකට වුවද ඔවුන්ගේ ඉරනම වෙනස් කල නොහේ.

ඉතිරි වූ දහස් සංඛ්‍යාත ජනයා ආන්ඩුවේ රේඩාර් සීමාවෙන් පිටත පිහිටියා සේ සලකන ලදී.ඔවුනතරින් බොහෝ දෙනා අන්ද්‍රා ප්‍රදේශ් සහ ඔරිස්සා වැනි ප්‍රාන්ත වලට සංක්‍රමනය විය.එහිදී මිරිස් අස්වනු නෙලන කාලවල කුලී වැඩ කරමින් ඔවුන් දිවි ගැටගසා ගන්නට විය.තවත් දහස් සංඛ්‍යාත පිරිස් කැලෑ වැදුනෝය.එහි ඔවුන් තවම සිටී.සෙවනක් නැතිව රාත්‍රී කාලවල් ඔවුන් කැලෑ තුල ගතකරන අතර දිවා කාලයේ පමනක් සිය කුඹුරු හා ගෙවල් වලට පැමිනේ.

සල්වා ජුදුමයේ ක්‍රියාකාරකම් වලට අනුපූරක වශයෙන් පොලිස් ස්ථාන හා කදවුරු ඉදිවන්නට විය.මාඕවාදී ප්‍රදේශ යලි අත්පත්කරගැනීම සදහා ඇවැසි පසුතල ආරක්ෂාව සැපයීම මෙහි අරමුනයි.මෙම කදවුරු ඉදිකිරීම පසුපස පැවති පූර්ව නිගමනය වූයේ එවැනි විශාල ආරක්ෂක බල සංකේන්ද්‍රිතයකට එරෙහිව ‍ප්‍රතිප්‍රහාර දීමට තරම් මාඕවාදීන් නිර්භීත නොවනු ඇත යන්නයි.මාඕවාදීන්ගේ පැත්තෙන් මෙම ආරක්ෂක කදවුරු පැවතිමට ඉඩ හැරීම යනු තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනයාව අතරමං කර දැමීමකි.එය වසර 25 ක් තිස්සේ ඔවුන් සමග වැඩකල හා ජීවත් වූ ප්‍රදේශවාසී ජනතාව වෙතින් ඔවුන් දිනාගත් විශ්වාසය පාවාදීමක් වනු ඇත.
මේ නිසා ඔවුහු ප්‍රතිප්‍රහාර දීම ඇරඹූහ.ආරක්ෂක වලල්ල සිදුරු කරනු වස් එහි හදවත ඉලක්ක කල ප්‍රහාර මාලාවක් මාඕවාදීහු ඇරඹූහ.


2006 ජනවාරි 26 දින ගන්ගලාවූර් පොලිස් ස්ථානයට පහර දුන් මහජන විමුක්ති ගරිල්ලා හමුදාව එහි වූ සත්දෙනෙකු මරා දැමීය.2006 ජූලි 17 දින එරාබෝර් හි සල්වා ජුදුම් කදවුර පහරදීමට ලක්වූ අතර 20 දෙනෙක් එහිදි මිය ගියහ.150 ක් පමන තුවාල ලැබීය.
( එය ඇතැම් විට ඔබ ප්‍රවෘත්ති වලින් අසා තිබෙනවා විය හැක."මාඕවාදීන් රජය විසින් ආරම්භ කල සහන කදවුරකට පහර දී නැක්සලයිට් භීෂනය නිසා තැතිගැන්මට ලක්ව පලා අවුත් එහි සිටි සරනාගතයන් විශාල ප්‍රමානයක් මරා දමා ඇත"- මේ එබදු ප්‍රවෘත්ති වල සාමාන්‍ය ස්වභාවයයි)
2006 දෙසැම්බර් 13 දින බසාගුදා "සහන" කදවුරට පහර දුන් ඔවුන් විශේෂ පොලිස් නිලධාරින් තිදෙනෙකු මරාදැමීය.2007 මාර්තු 15 දින මේ සියලු පහරදීම් අතරින් ඉතාම නිර්භය පහර දීම සිදුවිය.එකසිය විස්සක් පමන වූ ගරිල්ලාවරු එදින රානි බෝදිලි කන්‍යා ආශ්‍රමය නම් - හමුදා බැරැක්කයකට හැරවූ කාන්තා නේවාසිකාගාරයකට පහර දුන්හ.මෙහි චත්තිස්ගාර් විශේෂ පොලිස් භටයන් 80 ක් පමන වූ අතර නේවාසිකාගාරයේ ගැහැනු ලමෝ මිනිස් පලිහක් ලෙස භාවිතා වූහ.
ගරිල්ලන් නේවාසිකාගාර පරිශ්‍රයට ඇතුලුව ගැහනු ලමුන් නේවාසිකව සිටි ඇනෙක්සිය වෙන් කලේය.ඉක්බිති බැරැක්කය ආක්‍රමනය කලේය.පොලිස් නිලධාරින් 55 ක් ඝාතනය විය.කිසිදු ගැහැනු ලමයෙක්ට හානි සිදු නොවීය.
( දාන්තේවාදහි විනීත පොලිස් නිලධාරියා මා හමුවු අවස්ථාවේ මා වෙත මියගිය පොලිස් භටයන්ගේ පිලිස්සී ගිය මල සිරුරු වලින් යුතු තැති ගන්වන සුලු දර්ශන සහිත පවර් පොයින්ට් ප්‍රසන්ටේෂනයක් ඉදිරිපත් කලේය.පුපුරුවනු ලැබූ පාසල් ගොඩනැගිලි දර්ශන පසෙකින් විය.ඒවා අතිශය භයංකාර වූ අතර ඉවත නොබලා සිටිය නොහැකි තරමට පිලිකුල් සහගතද විය.මගේ ප්‍රතික්‍රියාවෙන් පොලිස් අධිකාරිවරයා සතුටට පත්වූ සෙයක් දිස්විය)

කාන්තා නේවාසිකාගාරයේ ප්‍රහාරය රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කලේය.මානව හිමිකම් සංවිධාන ඔවුන්ගේ ප්‍රචන්ඩත්වයට පමනක් නොව අධ්‍යාපන විරෝදී හා පාසල් ආක්‍රමනය කරන හැසිරීම ද සම්බන්ධයෙන් මාඕවාදීන් වෙත චෝදනා එල්ල කලේය.නමුත් දන්ඩකාරන්‍යයේදී රානි බෝදිලි නේවාසිකාගාර  ප්‍රහාරය මහත් වීර ක්‍රියාවක් ලෙස පිලිගන්නා ලදී.එය අරභයා ගීත,කාව්‍ය නිර්මාන හා නාට්‍ය පවා බිහි කෙරිනි.

මාඕවාදීන්ගේ ප්‍රතිප්‍රහාර විසින් ආරක්ෂක වලල්ල බිද දැමුනු අතර පදිංචි ජනයා වෙත යම් අස්වැසිල්ලක් ඉන් සැපයින.පොලිසිය හා සල්වා ජුදුමයය යලි සිය කදවුරු වෙත පසුබැස්සාහ.ගම්මාන වටකරමින් සිදුකෙරෙන සිය සෝදිසි මෙහෙයුම් වෙත අඩුම තරමින් 300 ත් 1000 ත් අතර පිරිසක් සමග මහා රාත්‍රියේ මිස අන් අවස්ථාවක යාමට ඔවුහු මැලිවූහ.විශේෂ පොලිස් නිලධාරින් හැර බොහෝ සල්වා ජුදුම සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල් නැවත සිය ගම්බිම කරා පැමිනෙනන්ට විය.මාඕවාදීන් ඔවුන්ව පිලිගත් අතර අවංකව පසුතැවිලි වන්නේ නම් හා ප්‍රසිද්ධියේ සිය ක්‍රියා පිලිබද කනගාටුව පල කරන්නේ නම් විශේෂ පොලිස් භටයන්ට වුවද ගම් කරා නැවත ඒමේ ගැටලුවක් නැති බව ඔවුන් නිවේදනය කලේය.යෞවන ජනයා අතර ගරිල්ලා හමුදාවට සම්බන්ද වීමේ රැල්ලක් පැතිර ගියේය.
( මහජන විමුක්ති ගරිල්ලා හමුදාව නිල වශයෙන් ව්‍යුහගත කිරීම 2000 වසරේදී සිදු විය.පසුගිය වසර 30 තුල එහි සන්නද්ධ අංශ ක්‍රමයෙන් භට කන්ඩ වලටද භට කන්ඩ ප්ලැටූනයන්ට ද ව්‍යාප්ත වී තිබේ.නමුත් සල්වා ජුදුමයේ පසුබැසීම සමග බැටෑලියනයක ශක්තිය දක්වා  පැමිනීමට ගරිල්ලා හමුදාවට හැකියාව ලැබුනි)

සල්වා ජුදුමය අසාර්ථක වූවා පමනක් නොවේ,එය බරපතල ලෙස පරාජයටද ලක්ව තිබුනි.

අප දැන් දන්නා ලෙස එය වූ කලී හුදෙක් කුඩා පරිමාන ප්‍රාදේශිය හුදෙකලා මෙහෙයුමක් නොවේ.මාධ්‍යයේ දෙබිඩි ප්‍රකාශ කෙසේ වුවද සල්වා ජුදුමය වනාහි චත්තිස්ගාර් ප්‍රාන්ත රජයේද කොංග්‍රසය විසින් බලය හෙබවූ මධ්‍යම රජයේද ඒකාබද්ධ මෙහෙයුමකි.රජයේ පැත්තෙන් එය අසාර්ථක වීම සිදු නොවිය යුත්තකි.විශේෂයෙන් දීප්තිමත් අපේක්ෂා සහිත විවාහ මංගල උත්සවයක් මෙන් සමාගම් සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම් ගනනාවක් පවතින සන්දර්භයක - එය කිසිසේත්ම අසාර්ථක වීමට ඉඩ දිය නොහේ.
ආන්ඩුව මේ නිසා නව සැලැස්මක් පිලිබද දැඩි උවමනාවකින් පෙලෙන්නට වන්නේය.ග්‍රීන් හන්ට් මෙහෙයුම ( operation green hunt) මෙහි ප්‍රතිඵලයයි.සල්වා ජුදුමයේ විශේෂ පොලිස් නිලධාරීන් දැන් කෝ‍යා කොමාන්ඩර්වරු වෙති.මෙම මෙහෙයුම චත්තිස්ගාර් ගුවන් හමුදාව,මධ්‍යම පොලිස් සේවය,දේශසීමා ආරක්ෂක බලකාය,ඉන්දු ටිබේට දේශසීමා බලකාය,මධ්‍යම කාර්මික ආරක්ෂක බලකාය ගෝනුස්සන්,දඩයම්බල්ලන්, සර්පයන් සහ WHAM ( winning hearts and minds) නම් විශේෂ ප්‍රතිපත්තියකින්ද සංයුක්ත වන්නේය.

කැපීපෙනෙන සුලු යුද්ධ බොහෝ විට අභව්‍ය ප්‍රදේශ වල හටගනී.නිදහස් වෙලදපොල ධනවාදය විසින් ඇෆ්ඝනිස්ථාන දුර්ග වලදී සෝවියට් කොමියුනිස්ට්වාදය පරදවනු ලැබිය.මෙහි,දාන්තේවාදහි ගැඹුරු කැලෑ තුල ඉන්දියාවේ ආත්මය වෙනුවෙන් සටන් ඇවිල යයි.ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගිලී යමින් ඇති අර්බුදයත් විශාල සමාගම්,ප්‍රධාන දේශපාලන පක්ෂ සහ මිලිටරි ස්ථාපිතය අතර ඇති පොදු එකගතාවය ගැනත් බොහෝ දේ කියවී තිබේ.යමෙක්ට මෙසේ කියවෙන දෙවල්  ක්ෂනික තහවුරු කරගැනීමේ සාක්ෂි ඇවැසි නම් - දාන්තේවාදය යනු යා යුතු තැනයි.

රජයේ කෘෂිකර්ම සබදතා සහ සම්පූර්න නොකල ඉඩම් ප්‍රතිසංස්කරන පිලිබද කෙටුම්පත් වාර්තාවේ පලමු වෙලුම දක්වන පරිදි ටාටා සහ එසර් යනු සල්වා ජුදුමය සදහා අරමුදල් සැපයූ ප්‍රථම සමාගම් දෙකයි.එය රජයේ වාර්තාවක් නිසා නිකුත් වූ විගස එය මාධ්‍ය අතර මහත් හා හූවක් ජනිත කලේය.
( කෙසේ වුවද මෙම කරුන ප්‍රකාශයට පත්වූ අවසන් වාර්තාවෙන් හැලී තිබුනි.එම කරුන කෙටුම්පතේ සටහන් වීම ඇත්තටම වැරදීමක්ද? නැතිනම් වාර්තා සම්පාදකයෙක්ගේ උරහිස මත වානේමය හස්තයකින් සිදුවූ යම් අප්‍රසන්න ඇතිල්ලීමක් නිසා එය අන්තිම වාර්තාවෙන් හැලී ගියාද?ප්‍රශ්නය විවෘතය)

2009 ඔක්තෝබර් 12 දින ලොහන්දිගුදා හිදී මහජනයාගේ අදහස් විමසීමේ රැස්වීමක් ටාටා වානේ ව්‍යාපෘතිය විසින් සංවිධානය කරන ලදී.මහජනයා වෙනුවෙන් පැවැත්වූ මෙම රැස්වීම දැඩි ආරක්ෂක මුරකාවල් සහිත කුඩා ශාලාවක සංවිධානය කොට තිබුනු අතර ආන්ඩුවේ ජීප් රථ වලින් ගෝත්‍රික පිරිස් වලින් යුක්ත "කුලියට ගත්" ශ්‍රාවක කන්ඩායමක්ද ඊට ගෙන එන ලද්දේය.රැස්වීම අවසානයේ දිස්ත්‍රික් ඒජන්තවරයා දැක්වූ සහයෝගය හා නම්‍යශීලිත්වය වෙනුවෙන් "ලෝහන්දිගුදා හි ජනතාවට" සිය ප්‍රනාමය පුද කලේය.දේශීය පුවත්පත්ද මෙම බොරුව - එහි සත්‍යය අන් කවරෙකුටත් වඩා දැන සිටියදී වුව - නැවත නැවතත් ප්‍රචාරය කරන්නට විය.ගම්මුන්ගේ විරෝධය නොතකා ව්‍යාපෘතිය වෙනුවෙන් ඉඩම් පවරාගැනීම ආරම්භ වී තිබුනි.

ඉන්දීය රාජ්‍යය බලයෙන් පහ කිරීමට සටන් වැද සිටින එකම පිරිස මාඕවාදීන් පමනක් නොවේ.එය හින්දු මූලධර්මවාදයේ සහ ආර්ථික අධිකාරිවාදයේ ප්‍රහාරයන්ගෙන් කිහිප විටකදීම දුර්වල වී තිබේ.දාන්තේවාද හි සිට පැය පහක ගමනක දුරින් පිහිටි ලෝහන්දිගුදා ප්‍රදේශය නැක්සලයිට් ප්‍රදේශයක් ලෙස පෙර පැවති එකක් නොවේ.නමුත් දැන් එය එවැන්නකි.මා කූඹි චට්නි අනුභව කරන අතර පසෙකින් වාඩි වී සිටි ජූරි සහෝදරිය එම ප්‍රදේශයේ වැඩ කරයි.ඇය කි පරිදි ගම්මාන වල නිවාස බිත්ති වල Naxali aao, hamein bachao ( නක්සල්වරුනි,ඇවිත් අප බේරා ගන්න ) යනුවෙන් ලියැවෙමින් පවතින යුගයකය ඔවුන් ප්‍රදේශයට  ප්‍රවේශ වූයේ.මාස කිහිපයකට පෙර ගමේ පංචායත් සභාවේ සභාපති වූ විමල් මෙශ්රාම් වෙලද‍පොල ඉදිරිපිටදී වෙඩි තබා මරා දැමුනි."ඔහු ටාටා සමාගමේ මිනිහෙක්" ජූරි කියයි."ඔහු මිනිසුන්ට ඉඩම් පවරා දීමටත් ඒ වෙනුවෙන් වන්දි ගැනීමට එකග වෙන ලෙසත් බල කරමින් සිටියා.ඔහු අහවර වුන එක හොදයි.අපිට සිද්දියේදී සහෝදරයෙකුත් අහිමි වුනා.උන් ඔහුට වෙඩි තිබ්බා.තව චපෝලි ඕනෙද?"
ඇය විසි හැවිරිදිය."අපි ටාටා එකට මෙහෙ එන්න දෙන්නෙ නැහැ.මිනිස්සුන්ට ඔවුන්ව අවශ්‍ය නැහැ"ජූරි ගරිල්ලා හමුදාවට අයත් නැත.ඇය පක්ෂයේ සංස්කෘතික අංශයේ වැඩ කරයි.ඇය ගයයි.ගී ලියයි.ඇය අබුජ්මාද් වලින් ආ අයෙකි.
( ඇය කොම්රේඩ් මාධව්ගේ බිරිදය.ඇයගේ ගමට පක්ෂයේ සංස්කෘතික අංශයේ පිරිසක් සමග ඔහු ආ අවස්ථාවක ඇය ඔහු ගී ගයනු අසා ඔහු හා පෙමින් බැදුනාය)

මෙම අවස්ථාවේදී මා යමක් කිව යුතු බව මට හැගේ.ප්‍රචන්ඩත්වයේ නිෂ්ඵලත්වය ගැන මා කිව යුතුය.කේවල පුද්ගල ඝාතනයන්ගේ පිලිගත නොහැකි භාවය පිලිබද මා කිව යුතුය.නමුත් මා ඔවුන් වෙත යෝජනා කල යුත්තේ මොනවාද?
අධිකරනයට යාමට?නවදිල්ලියේ උද්ඝෝෂනයක් කිරීමට?රැලියක් පැවැත්විමට?මාරාන්තික උපවාසයක් කිරීමට?එය විකාරයක් සේ හැගේ.තම ප්‍රතිපත්තිය පිලිගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව ඉතා පහසුවෙන් පවසන නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට සහය දක්වන්නන් එසේ නම් විරෝධය දැක්වීම සදහා විකල්ප ආකාරයක් යෝජනා කල යුතුය.මෙම නිශ්චිත වනාන්තරයේ මෙම නිශ්චිත ජනතාවට නිශ්චිත ආකාරයක් යෝජනා කල යුතුය.මේ දැන්ම නොපමාව එය කල යුතුය.ඔවුන් ඡන්දය දිය යුත්තේ කුමන පක්ෂයටද?ඔවුන් විශ්වාසය තැබිය යුත්තේ රටේ කුමන ප්‍රජාතන්ත්‍රවාදි ආයතනය කෙරෙහිද?නර්මදාවෙහි විශාල වේලි වලට එරෙහි සටන් පැවති වසර ගනනාවක් තිස්සේ නර්මදාවේ ජනතාව ආමන්ත්‍රනය නොකලේ කාටද?තට්ටු නොකලේ කුමන දොරටද?


No comments:

Post a Comment