Sunday, September 19, 2010

සහෝදරවරුන් සමග / Walking with the comrades - 3


ප්‍රාසාංගික කලාව - නාට්‍ය කන්ඩායමක පිරිසක්.මෙම කන්ඩායම් පක්ෂයේ සංස්කෘතික අංශය නියෝජනය කරයි

පි උදෑසන පහට පිබිදුනෙමු.හයට ගමන් ඇරඹීමු.පැය දෙකක් ඇතුලත තවද ගංගාවක් තරනය කලෙමු.
සෑම ගම්මානයක්ම ඉහලින් විශාල වශයෙන් සියඹලා ගස් වැඩී තිබුනි.සවිමත් දෑත් සහිත දේවතාවුන් සමූහයක් මෙන් ඒවා ගම්මාන‍ දෙස බලා සිටී.දහවල් 11 වන විට ඉර මුදුන් වන්නට පටන් ගත් අතර ප්‍රචන්ඩ හිරු රශ්මිය මධ්‍යයේ පා ගමන එතරම් මිහිරි නොවීය.අපි ගම්මානයක දහවල් අහර සදහා නැවතුනෙමු.චන්දු අහර පිලිගැන්වූ නිවසේ නිවැසියන් දන්නා හදුනන සෙයකි.සුන්දර තරුනියක ඔහු සමග අගර දගර පාන්නට වූවාය.චන්දු මදක් ලජ්ජාශීලි ස්වරූපයක් පෙන්වයි.ඇතැම්විට මා එතැන සිටීම ලජ්ජාවට හේතුවූවා විය හැක.දහවල් අහර කිස පරිප්පු රතු සහල් බත් සමග අමු පැපොල් වලින් යුක්ත විය.අප ඉර මදක් බහින තුරු එතැනම විවේක ගැන්මට නියමිතය.එම ස්ථානයේ විරල අලංකාරයක් විය.හැමදේම පිලිවෙලය.පිරිසිදුය.මැටි බිත්තිය දිගේ කලු පැහැති කිකිලියක බඩ ගාන්නට වෑයම් කරයි.ගෙදර පසෙක බෙර දෙකක්,කොස්සක්,වියන ලද පෙටිටියක්,කැඩුන කුඩයක් හා බාගෙට තැලුනා සේ පෙනෙන හිස් කාඩ්බෝඩ් පෙට්ටි සමූහයක් විසිර තිබේ.කාඩ්බෝඩ් පෙට්ටි සමූහය වහා මා අවධානය ඇද ගත්තේය.කුතුහලයෙන් යුතුව උපැස් යුවල ලූ මම අවධානයෙන් එදෙස බැලූයෙමි.
Ideal Power 90 High energy Emulsion Explosive (class-2) SD CAT ZZ
පෙට්ටියේ මුද්‍රිත අකුරින් ස‍ටහන්ව තිබුනි.


පස්වරු දෙකට යලි පිටත් වුන අපි මෙවර මුන ගැසීමට යන්නේ "සහෝදරියකි".මගේ ගමනේ ඊලග අදියර ගැන දන්නේ ඇයයි.චන්දු එපිලිබද කිසිවක් නොදනී.මෙම ලෝකයේ තොරතුරු වල ද ආර්ථිකයක් තිබේ.සියල්ලෝ කිසිවක් දනී.එහෙත් කිසිවෙකු සියල්ල  නොදනී.
කෙ‍සේ වුවද අප අදාල ස්ථානය වෙත ලගා වෙද්දී සහෝදරිය එතැන නොසිටියාය.ඇය කොහේදැයි දත් කිසිවෙක්ද නොවීය.පලමු වරට චන්දු තුල යම් බියක් පිලිබද හැගීමක් මම නිරීක්ෂනය කරන්නට වූයෙමි.චන්දුගෙන් ජ්‍යෙෂ්ඨයෙකු මා භාර ගත යුතුය.ගරිල්ලා ලෝකයේ සන්නිවේදනය ගැන මම නොදනිමි.නමුත් යම් වැරදීමක් කොතැනක හෝ වී ඇත්නම් මා කුමක් කල යුතුද?


අත්හැර දමන ලද පාසල් ගොඩනැගිල්ලකට ඔබ්බේ අපි නැවතුනෙමු.ඇත්තටම සියලු ආන්ඩුවේ පාසල් ගොඩනැගිලි කොන්ක්‍රීට් ප්‍රාකාර මෙන් ගොඩනගන්නේ මන්ද?ගමේ ‍අනෙත් ගෙවල් මෙන් මැටි හා උනබම්බු වලින් ඉදි නොකොට වානේ දොරවල් සහ ජනේල සහිතව ඒවා ඉදිකරන්නේ මන්ද?පිලිතුර පැහැදිලිය.මේවා හුදෙක් පාසල් පමනක් නොව බංකර හා බැරැක්ක ලෙසද යොදාගත හැකිය.
"අබුජ්මාද් ගම්මාන වල" චන්දු පවසයි. "ඉස්කෝල හදන්නෙ මේ විදිහට."
හෙතෙම වැලි පොලොව මත ඇගිලි වලින් ගොඩනැගිලි සැලැස්මක් මට ඇද පෙන්වයි.අෂ්ටාශ්‍ර හැඩැති ව්‍යුහයන් තුනක් එකිනෙක සමග වෙලි ඇත.
"එතකොට හැම පැත්තටම වෙඩි තියන්න පුලුවන්"චන්දු හැම අතටම වෙඩි පහරවල් සංකේතවත් කරමින් ඊතල අදී.එය ක්‍රිකට් පිතිකරුවෙකුගේ ප්‍රහාරයන් දක්වන සටහනක් වැන්න.කිසිදු පාසලක ගුරුවරු නැත.ඔවුහු සියල්ලෝම පලා ගොස් ඇත."ඔබලා ඔවුන් එලවා දැමුවා නේද?" මම ඔහුට බාධා කලෙමි.නැහැ පන්නා දැම්මේ පොලිසිය පමනයි.හේ කියයි.ඇත්තටම ගුරුවරු මේ වනාන්තර තුලට එන්නේ ඇයි?හේ විමසයි.ආරක්ෂක හේතු පෙන්වා ගෙවල් වල නතරව හිද නිවසේ සිටම වැටුප් ලද හැකිව තිබියදී.
මෙය "අලුතින් දිනා ගත් ප්‍රදේශයක්" බව චන්දු කීවේය.පක්ෂය ප්‍රදේශයට ඇතුලත්ව තිබෙනුයේ මෑතකදීය.


පිරිමි ලමුන් හා ගැහැනු ලමුන් සහිත විස්සක පමන තරුන පිරිසක් එතනට පැමිනියහ.මේ ගම් මට්ටමේ හමුදා සේනාංකයක් බව චන්දු මට විස්තර කර දෙයි.අවුරුදු පහලවත් විසිගනනුත් අතර ප්‍රාන්තරයක මෙම තරුන තරුනියෝ පසුවූහ.මෙය මාඕවාදී මිලිටරි ධූරාවලියේ පහලම ස්ථරයයි.ඔවුනගෙන් ඇතැමුන් සාරි සහ ලුන්ගි ඇද සිටියේය.පිරිමි ලමුන් ආභරන සහ හිස් ආවරන පැලද සිටියේය.ඔවුහු සැමකෙක්ම රයිෆලය බැගින් අත දරා සිටියහ.සමහරුන් ට රයිෆලයට අමතරව පිහි,පොරෝ,දුනු හා හීතල තිබින.එක් "භටයෙක්" අත බටයකින් තනා ගත් ගිනි අවියක් තිබිනි.එය වෙඩි බෙහෙත් වලින් පුරවා ඇත.ඉන් අධික ශබ්දයක් නිකුත් වන නමුත් භාවිතා කල හැක්කේ එක් වරක් පමනයි.එහෙත් එය පොලිසිය තැතිගන්වන බව ඔවුහු සිනාසෙමින් පවසති.යුද්ධය ඔවුනට තැති ගන්වන සුලු යමක් නොවූවා සේය.ඇතැම්විට මෙම ප්‍රදේශය සල්වා ජුදුමයට අත පෙවිය හැකි මානයෙන් එපිට තිබෙන නිසා එසේ වුවා විය හැක.මෙම තරුනයන් ඔවුන්ගේ දවසේ වැඩ නිමා කර තිබුනා පමනි.එලුවන් පැන යාම වැලැක්වීම සදහා වැටවල් බැදීමට ගම්මුන්ට උදව් වීම ඔවුන්ගේ අද දවසේ "රාජකාරිය" විය.ඔවුන් ප්‍රීතිමත්ය.කුතුහලයෙන් සපිරිය.ගැහැනු ලමුන් පිරිමි ලමුන් හා මුහු වීමේදී කිසිදු කෝලයක් නොපෙන්වීය.මෙය මා තුල පැහැදිමක් හා උනන්දුවක් ජනිත කලේය."මේ අයගේ වගකීම" චන්දු පහදයි.වගකීම ගම් හතරක් හෝ පහක් සදහා මුරකාවල් කිරීම හා එම ගම්වල කුඹුරු වැඩ,ලිං සුද්ද කිරීම ගෙවල් පිලිසකර කිරීම වැනි කාර්යයන් වෙනුවෙන් උදව් කිරීමය.


තවම "සහෝදරිය" නැත.කුමක් කල යුතුද?
කිසිවක් නැත.රැදී සිටිය යුතුය.


රාත්‍රී අහර ගැනීමෙන් පසු වැඩි කතාබහක් නැතිව සියල්ලෝ පෙල ගැසුනාහ.අපි ඇවිදින්නට වීමු.අවට හැමදේම අප සමග චලනය වේ.හැමදේම අපි රැගෙන යන්නෙමු.බත්,එලවලු,හට්ටි මුට්ටි සියල්ල රැගෙන පාසල් පරිශ්‍රය අත්හැර අපි වනය වෙත පිවිසියෙමු.පැය භාගයකින් පමන එදා රාත්‍රිය ගත කරන්නට නියමිත ස්ථානයට ලගා විමු.අවට සියල්ල නිශ්ශබ්දය.චන්දු හා මන්ග්ටු එක ඇතිරිල්ලක් බෙදා ගනියි.මා හට වෙනම ඇතිරිල්ලක් සහ නිදාගැනීමට "සුදුසුම" ස්ථානය ලෙස සැලකුන ගලක් පිරිනැමිනි.තමා "සහෝදරියට" පනිවිඩය යවන බව චන්දු පැවසීය.ඇයට පනිවිඩය ලැබුනොත් ඊලග දිනයේ උ‍දේම මා දකින පලමු තැනැත්තිය ඇය වනු ඇති බවට හේ සහතික වූයේය.ඇයට පනිවුඩය "ලැබුනොත්".අසම්භාව්‍යයේ අනියමාර්ථ ප්‍රකාශයකි.


එදා මා නිදාගත් වනාන්තරය මා එදාමෙදා තුර නිදාගෙන තිබෙන ලස්සනම කාමරය විය යුතුයැයි මට සිතිනි.එය තරු දහස් ගනනක හෝටලයකි.අමුතු වූද කුතුහලයෙන් පිරුනා වූ ද ගැටවරයන් පිරිසක් මා වට කරගෙන සිටී.මොවුන් සියල්ලන්ම නියත වශයෙන්ම මාඕවාදීන්ය."ත්‍රස්තවාදීන්ය".මොවුන් සියල්ලන්ම මියයනු ඇද්ද?මොවුනට ගරිල්ලා සටන් පුහුනු පාසලක් තිබේද?‍ලේසර් කිරන සහිත සෙවීම් උපකරන,ගිනිඅවි සහිත හෙලිකොප්ටර් යානා,උෂ්නත්වය උරා ගන්නා යුද උපකරන - මේ කිසිවක් මොවුන් සතුව පවතීද?


මොවුන් මිය යා යුත්තේ ඇයි?කවරක් උදෙසාද?මේ මුලු ප්‍රදේශය එක තනි පතලක් බවට පත්කිරීමටද?


ඔරිස්සාවේ කියොන්ජර් ප්‍රදේශයේ යකඩ පතලකට වරක් මා ගිය සංචාරයක් මා මතකයට නැගේ.අතීතයේ එම පෙදෙස තනි වනාන්තරයක් විය.මෙවැනිම ලමුන් සහිත අලංකාර වනාන්තරයක්.දැන් එම භූමිය එහෙම්පිටින්ම පැසවමින් තිබෙන රක්ත පැහැති තුවාලයකි.රක්ත පැහැ ධූලි පෙනහලු හා නාස් කුහර පුරවා දමයි.ජලය රතු පැහැතිය.වාතය රතු පැහැතිය.මිනිසුන් රතු පැහැතිය.ඔවුන්ගේ පෙනහලුද හිසකෙස්ද රතු පැහැතිය.දහස් ගනන් ට්‍රක් රථ දවස පුරා දවස මුලුල්ලේ ඔවුන්ගේ ගම්මාන අතරින් ඇදී යයි.දිවා රෑ පුරා ට්‍රක් රථ ඇදී යයි.මෙම ට්‍රක් රථ ලෝහ සහිත පස් ප්‍රදීප් තොටුවට රැගෙන යයි.ඉනික්බිති ඒවා චීනයට පැටවෙනු ඇත.චීනයේදී මේවා මෝටර් රථ හා දුම් වලට හැරවේ.මහා නගර එක රැයෙන් පහල වේ.මෙම ලෝහමය පස් විසින් ආර්ථික විද්‍යාඥයන් මුසපත් කරවන "වර්ධන වේග" නිර්මානය කෙරේ.ඒවා විසින් යුද්ධ සදහා ආයුධ නිර්මානය කෙරේ.


පැය භාගෙන් භාගෙට මුරකාවල් සදහා අයෙකු රදවා සියල්ලෝ නින්දේ පසුවෙති.අවසානයේ මට රෑ තාරකා දෙස බලා සිටිය හැක.මීනාචල් ගග අසබඩ කුඩා දැරියකව මා උස් මහත් වූ කාලයේ හිමිදිරියට පෙර ඇසෙන කනාමැදිරි නාදයන්ට සවන් දීමෙන් මම මහත් සතුටක් ලදිමි.ඒවා උදාවීමට නියමිත තාරකා විසින් ගයන ගීතිකා වැනිය.මේ ස්ථානයේ මෙතැන පසුවීමට ලැබීම මහත් වාසනාවකැයි මට සිතේ.ලොව අන් කිසිදු ස්ථානයක මෙවන් සතුටක් නොලැබෙනු ඇත.අද රාත්‍රියේ මා වූ කලී කවුද?තාරකා යට නිදන රහෙල් සහෝදරයා.ඇතැම්විට "සහෝදරිය" හෙට උදෑසන එනු ඇත.


ආශ්චර්යමත් සිනහව - කම්ලා සහෝදරිය (17) ඇය ඉනෙහි පිස්තෝලයක් පැලද සිටී
වුහු සන්ධ්‍යා යාමයේ පැමිනියහ.පහලොවක් පමන වූ එම පිරිස ඔලිව් පැහැ කොල පාට නිල ඇදුම් හැද සිටියහ.ඔවුන් අප වෙත දුවමින් ලගාවෙනු මම ඇත සිට බලා සිටියෙමි.මද දුරක සිට වුවද ඔවුන් දිව එන විලාශයෙන් මොවුන් ප්‍රවීන ගරිල්ලන් බව මට කිව හැක.මහජන විමුක්ති ගරිල්ලා හමුදාව.ලේසර් කිරන සහිත සෙවුම් යන්ත්‍ර එල්ල වනුයේ,උෂ්නත්වය උරාගත හැකි ආයුධ යොමු වනුයේ මොවුන් වෙතය.කැලෑබද ත්‍රස්ත විරෝධී සංග්‍රාමික පාසල් පවත්වාගනු ලබනුයේ මොවුනට එරෙහිවය.


ඹවුන් අත බරපතල රයිෆල් තිබුනි.දෙදෙනෙකු සතුව AK 47 වර්ගයේ ගිනි අවි වූයේය.INSAS,SLR වර්ගවල ආයුද තවත් අය දරා සිටියහ.භට කන්ඩායමේ ප්‍රධානියා කොම්රේඩ් මාධව්ය.අන්ද්‍රා ප්‍රදේශයේ ව්රාන්ගල්හි වැසියෙක් වූ ඔහු පක්ෂයට සම්බන්ධව තිබුනේ නව හැවිරිදි වියේදීය.
මාධව් බෙහෙවින් කනගාටුවට පත්ව සිටියේය.සිදු වූ පමාව පිලිබද හේ නැවත නැවතත් සමාව අයැදීය.නියම සැලසුමට අනුව මා පලමු රාත්‍රියේදීම ප්‍රධාන කදවුර වෙත යා යුතුව තිබුනි.නමුත් ප්‍රමාදදෝෂයක් සිදුව ඇත."අප නිසා ඔබට ඇවිදින්න වුනා.අප නිසා ඔබට රස්තියාදු වෙන්න සිද්ද වුනා.ඔබ මෙහි ආ බවට පනිවිඩය ලැබුනු විට අපට හැම තැනම දුව පනින්න වුනා"හේ කීයේය.එය ගැටලුවක් නොවන බව මම පැවසීමි.මා කොහොමත් මෙහි පැමිනියේ රස්තියාදු වීමට,ඇවිදීමට හා අසාසිටීමට සූදානම්වය.මාධව් අප වහා යා යුතු බව පැවසීය.කදවුරේ අය අප එන තුරු පෙරමං බලමින් සිටී.


කදවුර වෙත ගමන පැය කිහිපයක පා ගමනකි.අප එහි ලගාවෙද්දී රෑ බෝ වී තිබිනි.ජංගම මුරකාවල් සහිත සංචාරක මුර සේවා වලලු කිහිපයකින් කදවුර වටවී තිබේ.අඩුම තරමින් සහෝදරයින් සියයක් පෙල ගැසී තීරු දෙකකට සැදී සිටිති.සැම කෙනෙක්ම අත ගිනි අවියකි.සිනා මුසු මුවින් ඔවුහු ගැයූහ.
Lal lal salaam lal lal salaam aane vaale saathiyon ko lal lal salaam'
(අලුතින් පැමිනි සහෝදරවරුනි ආයුබෝවන්!ඔබලාට අපගේ විප්ලවීය ආචාරය!)
 ගංගා අසබඩ ජනගීයක් මෙන් වනාන්තරයේ මල් පොහොට්ටුවක් සේ විනීති ස්වරයකින් ඔවුහු ගැයූහ.ආචාර සමාචාර,අතට අත දීම් මිට මෙලවූ අතින් ආචාර කිරීම්,ලාල් සලාම් යැයි කෙරෙන මිමිනීම් මොහොතකට අවට සියල්ල මේවායෙන් වැසී ගියේය.


රාත්‍රියේ මා හට නිදාගැනීමට ලැබුනු ස්ථානය දිනක වෙහෙසකර පා ගමන වෙනුවෙන් ලද පරිත්‍යාගයක් වූවා වැනිය.මා හිස ඉහලින් වහලයක් විය.වහලයක් සහිත කුටියක් මා වෙත ලැබී තිබූ අතර සම්පූර්න ගමනේම වහලයක් යට නිදාගැනීමට මා ලබන අවසාන අවස්ථාව මෙය වනු ඇත.රෑ අහරින් පසු මට කිහිප දෙනෙකු හදුනාගැනීමේ ඉඩ ලැබුනේය.
රජය විසින් හිසට මිලක් නියම කරන ලද ක්‍රාන්තිකාරි ආදිවාසි කාන්තා සංගමයේ කොම්රේඩ් නර්මදා,ඇගේ ගිනි අවිය තරම් පමනක් උස වූ මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ කොම්රේඩ් සරෝජා,නැවත හිසට මිලක් නියම කෙරුනු කොම්රේඩ් මාසි,මා භාරව සිටි ඩිවිෂනයේ අනදෙන්නා වූද තාක්ෂන විශේෂඥයා වූද කොම්රේඩ් රාජු සහ කොම්රේඩ් වෙනු ඒ අතර විය.වෙනු ඔවුනතරින් පැහැදිලිවම ජ්‍යෙෂ්ඨයා විය.ඇතැම් විට මධ්‍යම කාරක සභිකයෙක් සමහර විට දේශපාලන මන්ඩල සභිකයෙක්ද විය හැක.මා හට ඔහුගේ නිලය පිලිබද කිසිවක් නොපැවසුනි.මා කිසිවක් ඇසුවේද නැති.ගොන්දි,හල්බි,තෙලිගු,පන්ජාබි හා මලයාලම් බසින් අපි අදහස් හුවමාරු කරගතිමු.මාසි සහෝදරිය පමනක් ඉංග්‍රීසි දැන සිටී.ඇය උස වූද නිහඩ වූද චරිතයකි.ඇය කෙතරම් නිහඩද යත් සංවාදයකට අවතීර්න වීමට වේදනාකාරී කටු අකුලක් තුලින් රිංගා ඒමට සිදු වූවා වැන්න.නමුත් ඇය මට ආචාර කරනු වස් වැලද ගත් ආකාරයෙන් ඇය කියවීම් රිසියෙකු බවත් වනාන්තරයේ පොත් නැති වීමේ කාංසාවෙන් පෙලෙන බවත් මට අනුමාන කල හැකි විය.ඇය ඇගේ කතාව මට කීවේ පසුවය.මා විශ්වාස කල හැකි බව ඇය සද්භාවයෙන්ම තේරුම් ගත් අනතුරුවය.


නරක ප්‍රවෘත්තිය ලගා විය.එය ලගා වූයේ වනාන්ත‍රයේ නරක පුවත් ආරංචි වන ස්වභාවයෙනි.පනිවුඩකරු දිව ආයේය.අතින් ලියන ලද සටහන් සහිත කොල සමූහයක් අමුනා නවා බෑගයක් පුරා පුරවා ඔහු රැගෙන විත් තිබුනේය.සෑම ප්‍රදේශයකින්ම පැමිනි ප්‍රවෘත්ති එම මල්ලේ ඇත.ඔන්ගාර් ගම්මානයේ පොලිසිය විසින් පස් දෙනෙකු මරා දමා තිබේ.සිවුදෙනෙකු කැරලිකරුවන්ය.එකෙකු සාමාන්‍ය ගම් වැසියෙකි.සන්තු පොට්ටයි (22) ෆූලු වාද්දේ (22) කන්ඩේ පොට්ටයි (22) රමෝලි වාද්දේ (20) දස්ලායි කෝරාම් (22).මේ සමහර විට මාගේ පෙරදින තාරකා පිරි රාත්‍රී නිදන "කාමරයේ" සගයන් වූ ලමුන් විය නොහැකිද?


ඉනික්බිති හොද පුවත ලගාවිය.තරබාරු තරුනයෙකු පෙරටු කරගත් මිනිසුන් සමූහයකි.තරුනයා ලජ්ජාශීලි භාවයක් මෙන්ම සතුටු දායක හැගීමක්ද පෙන්වයි.
හේ වෛද්‍යවරයෙකි.සේවය අතහැර වනයේ සහෝදරයින් හා ජීවිතය බෙදා ගැනීමට පැමින තිබේ.වසර ගනනාවකින් මෙපිට වෛද්‍යවරයෙකු දන්ඩකාරන්‍යය වනයට පැමින නැත.


ගුවන් විදුලි ප්‍රවෘත්ති අභ්‍යන්තර කටයුතු ඇමති සහ "අති වාමාංශික ක්‍රියාකාරකම්" වලින් තර්ජිත ප්‍රාන්ත වල ප්‍රධාන ඇමතිවරුන් අතර සාකච්ඡාව පිලිබද සදහන් කරමින් සිටියේය.ජාර්කන්ද් හා බිහාරයේ අමාත්‍යවරුන් සාකච්ඡාවට පැමින තිබුනේ නැත.ගුවන්විදුලිය වටා වාඩි වී සිටි සියල්ලෝ සිනාවෙන්නට පටන් ගත්හ."මැතිවරන කාලවල"ඔවුහු මට පැහැදිලි කර දෙති.මැතිවරන කාල වලදී සියලුම වර්ග වල දේශපාලඥයෝ ප්‍රචාරක රැලි වලදී,බලයට පත්ව පලමු මාස දෙක තුන තුලදී නැක්සලයිට්වරු අපගේම දූ පුතුන්ය වැනි "ආදරනීය" කතන්දර තො‍රතෝංචියක් නැතිව වමාරති.සිය ආදරනීය මනස වෙනස් කරගැනීමට හා උල් දත් වවා ගැනීමට ඔවුනට ගත වන්නේ කෙසේවුවද බලයට පත්ව කෙටි කාලයකි.


කම්ලා සහෝදරිය වෙත මා හදුන්වා දෙනු ලැබිනි.මාගේ පැදුරෙන් අඩුම තරමින් අඩි පහක්වත් ඇයට නොදන්වා මා ඉවත නොයා යුතු බවට මට අවවාද ලැබුනි.ඕනෑම අයෙකු අදුර තුල හා වනය තුල අතරමං වීමේ අවදානමක් ඇත.කෙසේ වුවද නින්දට වන් කල මා ලී කොටයක් වැනිය.ඇයව අවදි කරවීමේ අවශ්‍යතාවයක් නොවී.
උදෑසන කම්ලා කහ පැහැති පොලිතින් පැකට්ටුවක් මා වෙත දිගු කලාය.එය සෝයා තෙල් බහලනු පිනිස යොදා ගත් පැකට්ටුවකි.විප්ලවයේ මාවත තුල කිසිවක් අපතේ නොයවනවා වැන්න.


( දැන් පවා මට බොහෝ විට කම්ලා සහෝදරියව සිහි වේ.ඇය දාහත් හැවිරිදිය.ඇගේ ඉනෙහි දේශීයව නිපදවූ පිස්තෝලයකි.මුවග අලංකාර සිනාවකි.පොලිසියට ඇයව කොටු වුනහොත් නිසැකව ඇය ඝාතනය කෙරෙනු ඇත..බොහෝ විට ඝාතනයට පෙර දූෂනය කෙරෙනු ඇත.ප්‍රශ්න කිසිවක් නොඇසෙනු ඇති.ඇය අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනයකි.එවැන්නවුන් ප්‍රශ්න කිරීමෙන් තොරව වනසා දැමිය යුතුය)



No comments:

Post a Comment