Wednesday, September 15, 2010

සහෝදරවරුන් සමග / Walking with the comrades - 2



විරල අලංකාරය - කලගෙඩි,තුවක්කු,පැදුරු මේ ගම්මාන වල හැමදේම චාම්ය පිරිසිදුය


මා දාන්තේවාද වෙත පිටත් විමට පෙර දවසේ මගේ මව මා දුරකථනයෙන් ඇමතුවාය."මම සිතමින් සිටියෙ" ඇය නිදිබර වූද මවකට ආගන්තුක වුද ස්වභාවයකින් කීවාය."මේ රටට අවශ්‍ය කරන්නෙ විප්ලවයක්".

අන්තර්ජාලයේ ලිපියක දැක්වුන ආකාරයට ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය ඉන්දියාවේ සුපිරි පොලිස් නිලධරයන් තිස් දෙනෙකුට ඉලක්කගත පුද්ගලයන් ඝාතනය කිරිම ගැන විශේෂ පුහුනුවක් ලබා දෙමින් තිබේ.විශේෂඥ පුහුනුවේ අරමුන මාඕවාදී සංවිධානයේ හිස සුන් කොට දැමීමය.ඊශ්‍රායලයෙන් ආනයනය කල නව දෘඩාංග පිලිබද මාධ්‍යවේදීන් අතර විවිධ කතා පැතිර තිබේ.ලේසර් කිරන සහිත සෙවුම් යන්ත්‍ර,ඕනෑම උෂ්නත්වයක් උරා ගන්නා යුද උපකරන යනාදී අමෙරිකානු හමුදාව තුල බෙහෙවින් ජනප්‍රිය උපාංග මේ අතර වන බව පැවසේ.ඇත්ත වශයෙන්ම දුගීන් පිරිසකට එරෙහිව අංග සම්පූර්න ආයුධ සම්භාරයක් අත්හදාබැලෙමින් පවතී.

රායිපූර් සිට දාන්තේවාද දක්වා ගමන පැය 10 ක් පමන දීර්ඝය.ගමන වැටී ඇත්තේ "මාඕවාදී උපද්‍රව සහිත" ප්‍රදේශ යනුවෙන් හැදින්වෙන ප්‍රදේශ හරහාය.මෙම වචනය නොසැලකිලිමත් ලෙස නිර්මානය කරන ලද්දක් බව නොසිතන්න."උපද්‍රවය" යන්නෙන් රෝගයක්/විනාශකාරී කෘමීන් පිරිසක් පිලිබද අදහසක් ගම්‍ය වේ.රෝගයන් සුවපත් කල යුතුය.විනාශකාරී කෘමීන් මුලිනුපුටා දැමිය යුතුය.මාඕවාදීන් අතු ගා දැමිය යුතුය.මෙසේ බඩගාන සුලු හා අවිහිංසක ආකාරවලට සමූලඝාතනයේ භාෂාව අපගේ වාග් කෝෂය‍ වෙත පිවිස තිබේ.

අධිවේගී මාර්ගය ආරක්ෂා කරනු වස්,ආරක්ෂක හමුදා විසින් කැලෑ තීරු මාර්ගය දෙපසම ඉතිරි කොට තිබේ.එය වනාහි "සහෝදරයන්ගේ" රාජ්‍යයයි.

රායිපූර්හි බිල්බෝඩ් පන්නයේ දැන්විම් පුවරුවක වේදන්තා පිලිකා රෝහල පිලිබද වෙලද දැන්වීමක් ප්‍රදර්ශනය වෙමින් තිබේ.මෙම රෝහල අපගේ අභ්‍යන්තර කටයුතු ඇමති එක්තරා කාලයක සේවය කල සමාගම විසින් පවත්වාගනු ලබන්නකි.පතල් වලින් පිරි ඔරිස්සාවේ මෙම සමාගම විශ්ව විද්‍යාලයක් පවත්වාගෙන යයි.මෙවැනි ලිස්සා යන සුලු හා විනීත ආකාර වලින් පතල් සමාගම් අපගේ සිහින තුලට පිවිසේ.
ඒවා වූ කලී සැබැවින්ම සෙනෙහස දක්වන මහා පරිමාන යෝධයෝය.මෙම සංකල්පය CSR - corporate social responsibility (හවුල්කාර සමාගම් වල සමාජ වගකීම ) යන නමින් හැදින්වේ.එය මෙම පතල් සමාගම් වලට දැවැන්ත නලුවෙකු වූද ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන ඇමති වූද NTR තෙලිගු මිථ්‍යාමය කතාන්දර සහිත චිත්‍රපට වල රුපනය කල ආකාරයේ වීරෝධාර භූමිකාවන් රගපෑමට අවස්තාව ලබා දී ඇත.එකම චිත්‍රපටියේ වීරයා හා දුෂ්ටයාට එකවර රගපෑම - මෙය හිටපු ප්‍රධාන ඇමතිගේ නලු භූමිකාවෙන් විශාල සමාගම් උකහා ගෙන ඇති ආදර්ශයයි.
CSR සංකල්පය යනු අනෙකක් නොව ඉන්දියාවේ පතල් කර්මාන්තය තුලින් එම සමාගම් උරාගනු ලබන දැවැන්ත ආර්ථික ශක්තිය ආවරනය කරන වෙස්මුහුනකි.
නිදසුනක් ලෙස,කර්නාටක ප්‍රාන්තය සදහා වූ අලුත්ම ලෝක්සභා වාර්තාව අනුව පතල් වලින් පුද්ගලික සමාගමක් විසින් හාරා ගනු ලබන සෑම යකඩ ටොන් එකක් වෙනුවෙන්ම ආන්ඩුව රු 27 ක "පාරිතෝෂිකයක්ද" පතල් සමාගම් රු 5 000 ක ආදායමක්ද ලබයි.අලුමිනියම් කර්මාන්තයේ සංඛ්‍යා දත්ත වඩා සාහසිකය.අප මහ දවල් සිදුවන කොල්ලකැම් පිලිබද කතාකරන්නේ ඩොලර් බිලියන ගනන් වලින් සුසැදි තාලයන්ට අනුවය.මෙම අතිමහත් ලාභය ඕනෑම දෙයක් මිලදී ගැනීමෙහි සමත්ය.මැතිවරන,ආන්ඩු,විනිශ්චයකාරවරුන්,පුවත්පත්,රූපවාහිනි චැනල,රාජ්‍ය නොවන සංවිධාන සහ ආධාර සපයන ඒජන්සි - මෙවැනි ඕනෑම දෙයක් මෙකී ලාභය හරහා මිලදී ගත හැක. මෙවැනි සන්දර්භයක ඉදහිට තැනක "සමාජ සේවයක් ලෙස" ඉදිවන පිලිකා රෝහලක් යනු පුදුම විය යුතු දෙයක්ද?

වේදන්තා සමාගමේ නම චත්තිස්ගාර් ආන්ඩුව විසින් අත්සන් කල අවබෝධතා ගිවිසුම් සහත දීර්ඝ නාම ලේඛනයේ ඇතුලත්ව තිබූ බවට මතකයක් මා තුල නැත.නමුත් අදාල සමාගමේ පිලිකා රෝහලක් නගරයේ වේ නම්,සමතලා මුදුනක් සහිත බෝක්සයිට් ඛනිජය ලබා ගත හැකි කන්දක් කොහේ හෝ ලග පාතක තිබිය යුතු බවට සැක නොකර සිටීමට තරම් මම ප්‍රයෝග ශිල්පයෙහි දුර්වලයෙක් නොවෙමි.

අපි කන්කර් ප්‍රදේශය පසුකරමු.මෙය බ්‍රිගේඩියර් බී.කේ.පොන්වාර් විසින් ත්‍රස්ත විරෝධී කටයුතු සහ වනාන්තර සංග්‍රාමීය කටයුතු පිලිබදව පවත්වාගෙන යන පුහුනු කිරීමේ පාසල නිසා ප්‍රසිද්ධියට පත්වූ ප්‍රදේශයකි.
මෙම බ්‍රිගේඩියර්වරයා දූෂිත,ලිස්සන සුලු පොලිස් භටයන් නැමැති පිදුරු සමූහය වනාන්තර කොමාන්ඩෝවරුන් නැමැති රත්රං සමූහය බවට පත්කිරීමේ "භාරධූර" වගකීම උසුලයි.ගරිල්ලා ශෛලියට පිලිතුරු දිය යුත්තේ ගරිල්ලා ශෛලියෙනි! (fight a guerilla like a guerilla) යන පුහුනු පාසලේ ආදර්ශ පාඨය බිත්ති මත පින්තාරු කොට තිබේ.පාසලේදී මිනිසුන්ට දිවීමට,පිමි ගැනීමට හා හෙලිකොප්ටර් වලින් පැනීමටද,(කවර හෝ හේතුවක් නිසා ) අශ්වයන් පැදීමට ද සර්පයන් ගිලීමටද වනාන්තරයේ දැඩි ජීවිතයට හුරු වීමටද පුරුදු කෙරෙනු ලැබේ.බ්‍රිගේඩියර්වරයා "ත්‍රස්තවාදීන්" සමග සටන් කිරීමට වීදි සුනඛයන් පුහුනු කිරී‍මෙන් ලද සාර්ථකත්වය නිසා අභිමානයෙන් පසුවන්නෙකි.සෑම සති හයකටම වරක් අටසියයක් පොලිස් නිලධාරීන් යුද පුහුනු පාසලෙන් පුහුනුව ලැබ විසිර යයි.මෙවැනි තවත් පාසල් විස්සක් ඉන්දියාව පුරා පිහිටුවීමට සැලසුම් කොට ඇත.පොලිස් භට සේනා ක්‍රමානුකූලව හමුදා සේනාංක බවට පරිවර්තනය කෙරෙමින් තිබේ.
(කාශ්මිරයේදී කෙසේ වුවද සිදුවන්නේ මෙහි අනිත් පැත්තයි.එහිදී හමුදාව පරිපාලන කටයුතු සිදුකරන පොලිසියක් ‍බවට පත්වි තිබේ )
ඉහල පහල මාරු වී ඇත.ඇතුලත පිටත කලවම් වී ඇත.කොයි අතට මාරු වුවද සියල්ලෙහි ස්වභාවය එකකි.සතුරා වූ කලී ජනතාවයි.

අප ජග්දාල්පූර් වෙත එන විට තරමක් ප්‍රමාද වී තිබුනි.තරුන කොංග්‍රසයට එකතු වෙන ලෙස ආයාචනා කරන රාහුල් ගාන්ධිගේ දැන්වීම් පුවරු වලින් පිරි ජග්දාල්පූර් නගරය නින්දේ ගිලී තිබේ.
රාහුල් ගාන්ධි මෑත මාස කිහිපය තුල දෙවතාවක් බස්තාර් ප්‍රදේශයට පැමින තිබුනද යුද්ධය පිලිබද කිසිවක් ප්‍රකාශ කොට තිබුනේ නැත.මෙවැනි විවාදාත්මක ඉසවුවකට මැදිහත්වීම "ජනතාවගේ කුමාරයා"ට තරමක් කරදරකාරී කටයුත්තක් ලෙස හැගුනා වැන්න.ඔහුගේ මාධ්‍ය කලමනාකරුවන් මෙම ප්‍රශ්නයේදී පිලිතුරක් නොදී මගහරින ස්වභාවයක් පෙන්වයි.සල්වා ජුදුමය - ආන්ඩුවේ අනුග්‍රහය සහිතව මාඕවාදීන් මර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක වෙන අතුරු හමුදාව- ස්ත්‍රී දූෂන,මිනීමැරුම්,ගම්මාන ගිනිබත් කිරීම් හා සියගනන් මිනිසුන් ඔවුන්ගේ නිවාස වලින් පන්නා හරිනු ලැබීමට වග කිව යුතුය යන කරුන සහ එම අතුරු හමුදා මෙහෙයවනු ලබනුයේ කොංග්‍රසයේ සාමාජිකයෙක් වන මහේන්ද්‍ර කර්මා විසිනි යන කරුන රාහුල් ගාන්ධි වටා සූක්ෂම ලෙස වියනු ලැබ තිබෙන ජනප්‍රියත්වයට තවමත් එතරම් බාධාවක් වි නොමැත.එම කරුන වද්දා ගැනීමට ගාන්ධිද මැලිවන සෙයකි.

අවසානයේ මා "හමුවීම" සදහා පැමිනිය යුතුව තිබූ දාන්තේශ්වරි මන්දිර් වෙත නියමිත වෙලාවට පැමිනියෙමි.මා වෙත ලබා දී තිබුනු අවස්ථා හතරෙන් පලමු දිනයේ පලමු අවස්ථාවම මම හිමිකරගතිමි.මගේ කැමරාව,කුඩා පොල් ගෙඩියක් හා නලල මත තබන ලද රතු පැහැ පොට්ටුව යන හදුනාගැනිමේ සලකුනු මම දරාගෙන සිටියෙමි.යමෙකු මා වෙත විමසිල්ලෙන් බලා සිටියේ නම් එය සිනා උපදවන සුලු දසුනක් වනු ඇත.මිනිත්තු කිහිපයක් තුල තරුන ගැටයෙකු මා වෙත පැමිනියේය.හේ තොප්පියක් පැලද සිටි අතර පාසල් බෑගයක් කරලා සිටියේය.රතු පැහැති නිය සායම් නියපොතු වල තැවරී තිබූ අතර අවුට්ලුක් සගරාවක් ‍හෝ කෙසෙල් ගෙඩියක් නම් ඔහු අත නොවීය.
"ඇතුලට යන තැනැත්තා ඔබද?"හේ මගෙන් විමසීය. නමස්කාර් ගුරු ජී - රහස් මුර පද කිසිවක් නැත.කුමක් කිව යුතුදැයි මම නොදත්තෙමි.ඔහු තෙතබරිත කොල කැබැල්ලක් මා වෙත දිගු කලේය.outlook nahin mila - අවුට්ලුක් සගරාවක් සොයාගත නොහැකි විය ,කොල කැබැල්ලේ සටහන්ව තිබුනි.

"එතකොට කෙසෙල් ගෙඩි" මම ඇසුවෙමි.
"මම ඒවා කෑව"හේ පැවසීය."සෑහෙන බඩගින්නක් තිබුන"
මොහු සැබැවින්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක්ම වන්නේය.

තමාගේ නම මන්ග්ටු බව කොලු ගැටයා මට කීවේය.මා පිවිසීමට නියමිත වනාන්තරය වන දන්ඩකාරන්‍ය වනය විවිධ නම් සහ දියාරු අනන්‍යතා සහිත විශාල පිරිසකගේ නවාතැන බව මම වැඩිකල් නොගොසින් දැනගතිමි.එම අදහස මට මහත් සහනයක් විය.මොහොතකට තමා තමා නොවී වෙනත් කෙනෙක්ගේ නමකින් වෙනත් කෙනෙක් ලෙස පෙනී සිටීම කෙතරම් අපූර්ව වනු ඇද්ද?

අපි බස් නැවතුම්පොල වෙත ඇවිද ගියෙමු.එය පන්සලේ සිට මිනිත්තු කිහිපයක ගමනකි.බස් නැවතුම්පොල ජනාකීර්නය.
සියල්ල ක්ෂනිකව සිදුවිය.යතුරු පැදි වලින් මිනිස්සු දෙදෙනෙක් පැමිනියහ.කිසිදු කතාවක් සිදු නොවිනි.දැකගත හැකි වූයේ හුදු හදුනාගැනීමේ ශරීර චලනයක්,ශරීර බර තැනෙකින් තව තැනකට වෙනස් කිරීමක් හා එන්ජිනය පන ගැන්වෙන හඩක් පමනි.අප යන්නේ කොහාටදැයි මට අදහසක් නොවීය.අපි පොලිස් අධිකාරිවරයාගේ නිවෙස පසුකලෙමු.එම විශාල බංගලාව පොලිස් අධිකාරිගේ බව හදුනාගැනීමට මට හැකිවිය.
මම අවසන් වර මෙහි පැමිනි අවස්ථාවේ පොලිස් අධිකාරිවරයා මුනගැසී‍මේ අවස්ථාව ලද්දෙමි.හෙතෙම විවෘත පුද්ගලයෙකි.
"ඇත්ත‍ටම මහත්මිය,මේ ප්‍රශ්නය අපට - පොලිසියටවත් හමුදාවටවත් විසදන්න පුලුවන් එකක්‍ නෙමෙයි"අවසන් වර මා මුනගැසුනු අවස්ථාවේ හේ පැවසීය.
"මේ ගෝත්‍රිකයන්ගේ තියෙන වැරැද්ද මේ අය ලෝභකම කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැහැ.ඒ අය ලෝභකම හදුනාගන්නා තුරු අපිට විකල්පයක් නැහැ.මම මගේ ප්‍රධානියාට කිව්වා - හමුදාව ඉවත් කරල ඒ වෙනුවට හැම ගෝත්‍රික නිවෙසකම රූපවාහිනියක් සවි කරන්න කියල.සියල්ල එවිට ස්වයංක්‍රීයව සාමාන්‍ය තත්වයට පත්වේවි "

ඉතා ඉක්මනින් අපි නගරයෙන් ඉවතට පැමිනියෙමු.එය පැය තුනක ගමනක් විය.
ගමන හදිසියේ දෙපසින්ම වනයෙන් වටවුනු හුදෙකලා පාරක් මැද,අනපේක්ෂිතව නතර විය.මන්ග්ටු ඉවතට බට අතර මමද ඉවත් වුයෙමි.යතුරු පැදි පිටත් විය.මගේ ගමන් මල්ල ගත් මම මාගේ මාර්ගෝපදේශකයා වූ කුඩා "අභ්‍යන්තර ආරක්ෂක තර්ජකයා" පසුපසින් වනය තුලට ඇදුනෙමි.එය අලංකාර දවසක් විය.වනාන්තරයේ පොලොව රන් එලන ලද පලසක් මෙන් දිස්වින.

මද වේලාවක් තුල අපි සුදු පැහැති,දිග වැලිතලාවක් සහිත පලල් ගංඉවුරක් වෙත පිවිසියෙමු.ගංගාව අඩු වැඩි වශයෙන් වැලි තට්ටුවකි.මධ්‍යයේ විලුඹ දක්වා ගැඹුර ඇති දිය දහරාවකි.ගංගාවෙන් එහා පස වූයේ "පකිස්ථානයයි".
"එහා පැත්තෙ මහත්මිය" විනීත පොලිස් අධිකාරිවරයා මට පවසා තිබුනි."එහාපැත්තෙ තමයි මගේ කොල්ලො මරන්න වෙඩිතියන්නෙ".
ගග තරනය කරන අතර එය මා සිහියට නැගින.මා පොලිස් භටයෙකුගේ රයිෆල් එල්ලයට හසුවුනු ඡායාවක් වීම පිලිබද දර්ශනය මා තුල මැවිනි.එහෙත් මන්ග්ටු කිසිදු චකිතයකින් තොරව ගග තරනය කරයි.මම ඔහු අනුගමනය කලෙමි.

එහා පස ඉවුරේ අප පිලිගැනීමට චන්දු බලාසිටියේය.ඔහුගේ කොල පැහැති කමිසයේ හෝර්ලික්ස් යනුවෙන් මුද්‍රනය කොට තිබුනි.හෙතෙම තරමක් වැඩුනු අභ්‍යන්තර ආරක්ෂක තර්ජකයෙකි.ඇතැම්විට විසි හැවිරිදි විය හැක.සිත්ගන්නා සුලු හිනාවක් සහිත වූ චන්දු උනුකල ජලය සහිත කැනයක් හා ග්ලුකෝස් බිස්කට් පැකට්ටුවක් අත දරා සිටියේය.මද වෙලාවක් ඉසිඹු ලෑ අපි යලි ගමන ඇරඹීමු.මෙවර මාර්ගය පා පැදි වලට කිසිසේත් යෝග්‍ය නොවිය.අපි තියුනු කදු බඩ ගෑ අතර පාෂානමය පටු මාවත් දිගේ බැස ගියෙමු.වාහනය පැද ‍යා නොහැකි අවස්ථා වල චන්දු සයිකලය ඔසවා කර මත තබාගන්නේය.බර පිලිබද සවිඥානිකත්වයක් ඔහු තුල නැතිවා සේය.මෙම ගැමි තරුනයාහට කවර පන්නයේ හෝ ආයුධයක් ඔසවා ගෙන යාම එතරම් කාර්යයක් නොවන බව මම පසුව අනාවරනය කර ගතිමි.
"LMG ආයුධයක් හැර" හෙතෙම සිනාමුසුව මා නිවැරදි කලේය.

රෑ බෝ වන තුරු අපේ ගමන නතර වුනේ නැත.චන්දු රාත්‍රියේ ද පෙනීම සහිත අයෙක් වැන්න.මම මගේ විදුලි පන්දම භාවිතා කලෙමි.කනාමැදිරියන් අප අවට රගදීම ආරම්භ කල අතර සැනෙකින් අප අවට සැනකෙලියක් සේ දිස්විය.මා හට රෑ අහස නැරඹීමේ දැඩි අවශ්‍යතාවක් පැවතුනද බිම බලාගෙන යාම අනිවාර්ය වූ හෙයින් එම ආශාව මම මැඩගතිමි.එක්වරට එක් අඩියක් බැගින් ප්‍රවේශම්සහගතව පියමැනිය යුතු විය.

සුනඛයන් සමූහයක බිරීම් හඩ ඇසෙන්නට වන්නේය.බිරුම් හඩ පැමිනියේ කෙතරම් දුරකින්ද යන්න මට නිශ්චය කර ගැනීම අසීරු විය.මම මො‍හොතකට අහස දෙස බැලිමි.එම දසුන මා තුල මහත් ආනන්දයක් ජනිත කලේය.අපගේ ගමන ඉක්මනින් නිමාවනු ඇතැයි මට සිතුනි.
"ඔවු.ඉක්මනින්ම" චන්දු පැවසීය."ඉක්මනින්" යනු අඩුම තරමින් තව පැයක් වත් විය හැකියැයි ඔහුගේ ස්වරය අනුව මම නිගමනය කලෙමි.දැවැන්ත වෘක්ෂ සමූහයක සෙවනැලි මා ඉදිරිපස වූයේය.

අවසානයේ අපි පැමිනියෙමු.
අප පැමිනි ගම්මානය මහත් ඉඩකඩ ඇති එකකි.ගෙවල් එකිනෙකින් ඈත්ව පිහිටා තිබුනි.අප පිවිසි නිවස අලංකාර එකක්.ගෙතුල ගිනිමැලයක් වූ අතර මිනිසුන් එඅවට වාඩි ලා සිටියේය.ඇතැමුන් එලිමහනේ අදුර තුල රැදී උන්නේය.කී දෙනෙක් සිටියාදැයි මට නිශ්චිතබවක්‍ නොවීය.මුනු මුනු ගෑමක් අවට පැතිර ගියේය.
Lal salaam kamraid(ආයුබෝවන් සහෝදරිය)ඔවුහු ආචාර කලහ.Lal salaam මම පිලිතුරු දුනිමි.මා සිටියේ අතිශය වෙහෙසට පත්වය.නිවැසි කාන්තාව මට ඇතුලට කතාකොට බෝංචි සමග වියන ලද කුකුලු මස් ව්‍යංජනයක් හා රතු පැහැති බත් පිලිගැන්වූවාය.ඇගේ දරුවා මා පසෙකින් නිදා සිටී.ඇය‍ගේ රිදී පා වලලු ගින්නෙන් නිකුත් වූ එලියට දිලිසේ.

රාත්‍රී අහර නිම වූ විගස මම නිදාගැනීමට සැරසුනෙමි.යමෙක් රේඩියෝව පනගැන්වීය.බීබීසී හින්දි සේවයේ හඩ ඒ තුලින් ගලා ආයේය.එංගලන්ත පල්ලිය වේදන්තා සමාගමේ ව්‍යාපෘතියක් වෙත සපයනු ලැබූ අරමුදල් නතර කිරීමට තීරනය කොට තිබේ.ව්‍යාපෘතියේ පරිසර විනාශය සහ ඩොන්ග්‍රියා කොන්ද් නම් ගෝත්‍රයේ අයිතින් ඔවුන් විසින් උල්ලංඝනය කිරීම මෙම නතර කිරීමේ හේතුවයි.ගවයන්ගේ ගෙජ්ජ් හඩ මට ඇසේ.දුම්කුඩු උරන හඩ,නහයෙන් පිඹින ශබ්ද - ලෝකයේ සියල්ල ඉතා හොදින් සිදුවෙනවා වැන්න.මගේ දෙඇස ක්‍රමයෙන් පියවුනි.

2 comments:

  1. කදිමයි. ‍ඔබගේ මෙම අගනා ව්‍යායාමයට 'අඹ ගහ යට' මිතුරු පිරිස වෙනුවෙන් නොමඳ ස්තුතිය.

    http://ambagaha.blogspot.com/

    ReplyDelete
  2. @ Charmi

    ස්තුතියි.මෙම පරිවර්තනය කෙතරම් සාර්ථකද යන්න ගැන මට අදහසක් නැත.අඩුපාඩු පෙන්වා දිය හැකි නම් එය යෙහෙකි.

    ReplyDelete