Thursday, September 23, 2010

සහෝදරවරුන් සමග / Walking with the comrades - 7

Bob cut බ්‍රිගේඩය - බස්තාර් හිදී ‍මෙම කොන්ඩා මෝස්තරය සහිත වීම යනු
මරන වරෙන්තුව අත දරා සිටීමකි

නාන්තර තැපෑල පැමිනේ.කොම්රේඩ් වෙනු මට "විස්කෝතු" එවා ඇත.විස්කෝතු යනු වනයේදී ලියුම් සදහා පර්යාය පදයකි.නැවත නැවතත් නවනු ලැබූ කුඩා කඩදාසි කැබැල්ලක හෙතෙම ගීතයක වචන ලියා මවෙත එවා තිබුනි.එය මට ලබාදෙන බවට හේ පොරොන්දු වී තිබින.එය කියවද්දි නර්මදා සහෝදරිය සිනාසෙයි.ඇය මේ කතාව දනී.කතාවේ ඉතිහාසය පක්ෂය කෙරෙහි මිනිසුන් විශ්වාසය තැබීම ආරම්භ කල,සිය "අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන්" පක්ෂය වෙත රැගෙන ආ 80 දශකය දක්වා දිවෙයි.ප්‍රශ්න පක්ෂය වෙත ගෙනා පලමු පිරිස කාන්තාවෝ වූහ.ගීතයේ කථා නායිකාව සන්ධ්‍යාවක ගිනිමැලයක් අසල සිට ගැයූ මැදිවියේ කාන්තාවකි.ඇය විවාහක මාදියා ස්ත්‍රියකි.චාරිත්‍රානුකූලව මොවුන් විවාහ වූ පසු තම හැට්ට ඉවත් කොට උඩුකය නිරුවත්ව සිටිය යුතු බවට නියමයක් විය.

Jumper polo intor Dada, Dakoniley
Taane tasom intor Dada, Dakoniley
Bata papam kittom Dada, Dakoniley
Duniya kadile maata Dada, Dakoniley

( අපට අපගේ හැට්ටා තබා ගත නොහැකි බව ඔවුහු කියනවා ඩාඩා
ඒවා ඉවත් කරන්නැයි ඔවුන් අපට කියනවා ඩාඩා
අපි මොන පවද කරලා තියෙන්නේ ඩාඩා
ලෝකය වෙනස් වෙලා,එහෙම නේද ඩාඩා)

Aatum hatteke Dada, Dakoniley
Aada nanga dantom Dada, Dakoniley
Id pisval manni Dada, Dakoniley
Mava koyaturku vehat Dada, Dakoniley

( ඒත් අපි කඩපිලට යද්දි හැමවෙලේම ඩාඩා
අඩ නිරුවතිනුයි අපි යන්න ඕනෙ ඩාඩා
අපිට මේ ජීවිතය ඕනෙ නැහැ ඩාඩා
එබව අපේ මුතුන්මිත්තන්ට කියන්න ඩාඩා)

මෙය වනාහි පක්ෂය සටන් කිරීමට තීරනය කල මුල්ම කාන්තා ප්‍රශ්නයයි.එය සූක්ෂම ලෙස ශල්‍යකර්මීය අවධානයකින් අතගැසිය යුතු ප්‍රශ්නයක් වූයේය.1986 දී ආදිවාසි මහිලා සංගමය ස්ථාපනය කෙරින.එය පසුව ක්‍රාන්තිකාරි ආදිවාසි මහිලා සංගමය බවට පරිනාමය වූ අතර අද වන විට 90 000 ට අධික ප්‍රමානයක් එහි සාමාජිකත්වය දරයි.එය ඇතැම්විට මුලු රටේම විශාලතම කාන්තා සංවිධානයද විය හැක.
( කෙසේ වුවද මේ සියලු දෙනාම,එනම්  90000 ම මාඕවාදීන්ය.මොවුන්ව අතු ගා දමන්නට යනවාද?සංස්කෘතික සංවිධානයේ 10000 ට සිදුවනුයේ කවරක්ද?ඔවුන්ද අතු ගා දැමෙනු ඇත්ද?)
මහිලා සංගමය බලහත්කාර විවාහ සහ පැහැරගෙන ගොස් විවාහ සිදුකිරීමේ පැරනි ගෝත්‍රික සම්ප්‍රදායන්ට එරෙහිව සටන් කරන්නට වන්නේය.මල්වර වූ  ගැහැනු ගමෙන් හා මනුශ්‍ය වාසයෙන් පිට කැලෑ වල හුදෙකලා කුටි වල රදවා තැබිමේ සම්ප්‍රදායන්ට එරෙහිව.ද්විවිවාහ සහ ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට එරෙහිව.සංගමය සිය සියලු සටන් ජයගත්තේ නැත.කෙසේ වෙතත් එවැනි දෙයක් මුලුමනින්ම සාර්ථක කර ගත් කිසිදු ස්ත්‍රීවාදයෙක් සිටිද?නිදසුනක් ලෙස දන්ඩකාරන්‍යයේදී අද පවා කාන්තාවන්ට බීජ වැපිරීම තහනම්ය.පක්ෂය විසින් කැදවන රැස්වීම වලදී මෙම පුරුද්ද වැරදි බවටත් එය පිටුදැකිය යුතු බවටත් පිරිමින් එකග වේ.නමුත් භාවිතයේදී ඔවුන් සරලවම ඊට විරෝධය පායි.පක්ෂය මෙහිදී කාන්තාවන් මහජන ආන්ඩුවලට අයත් පොදු ඉඩම් වගා කිරිමේදී බීජ ඉසිම සදහා යොදා ගත යුතු බවට තීරනය කලේය.එවැනි ඉඩම් වල ඔවුහු බීජ ඉසිති.එලවලු වවති.අර්ධ ජයග්‍රහනයක්- කෙසේ වෙතත් එය සම්පූර්න ජයක් නොවේ.

බස්තාර් හි පොලිස් මර්ධනය ඉහල යද්දී මහිලා සංගමයේ කාන්තාවන් සියගනන් හා ඇතැම්විට දහස් ගනන් වලින් සංවිධානය වෙමින් පොලිසිය සමග භෞතිකව අභිමුඛ වීම ආරම්භ විය.මහිලා සංගමය මෙලෙස පැවතීම යන කරුනම ගතානුගතික ආකල්ප බොහොමයක් රැඩිකල් ලෙස අභියෝගයට ලක්කොට තිබේ සහ කාන්තාවන්ට එරෙහි ගතානුගතික ස්වරූපයේ සූරාකෑමේ බොහෝ විධි අධෛර්යයට පත්කොට තිබේ.බොහෝ තරුන ගැහැනුන්ට ගරිල්ලා හමුදාවට සම්බන්ධ වීම යනු සිය ප්‍රජාවන් අතර ඇති සම්ප්‍රදායික සීමාවන්ගෙන් නිදහස ලැබීමකි.මහිලා සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන සුසිලා සහෝදරිය සංගමයේ කාන්තාවන්ට එරෙහි සල්වා ජුදුමයේ ප්‍රචන්ඩත්වය පිලිබද අපට පවසයි.ඇය පැවසූ පරිදි ඔවුන්ගේ එක් සටන් පාඨයක් වූයේ Hum do bibi layenge! Layenge! ( අපට බිරින්දෑවරු දෙදෙනෙක් අවශ්‍යය.අප බිරින්දෑවරු දෙදෙනකු ගන්නෙමු ) යන්නයි.දූෂන සහ ලිංගික අඩත්තේට්ටම් කිරීම්‍ සංගමයේ කාන්තාවන් වෙත විශේෂයෙන් ඉලක්ක වූයේය.මෙම උමතු ප්‍රචන්ඩත්වය දුටු බොහෝ තරුන කාන්තාවන් පසුව ගරිල්ලා හමුදාවට එකතු වූ අතර මේ වනවිට කේඩරයේ සියයට 45 පමන කාන්තාවන්ගෙන් සංයුක්ත වේ.එවැනි අය කිහිප දෙනෙකු නර්මදා ‍සහෝදරිය විසින් මට හදුන්වා දුන්නාය.

රින්කි සහෝදරියට ඇත්තේ ඉතා කෙටි කෙස් කලඹකි.ගොන්ද් භාෂාවට අනුව එය බොබ් කට් එකකි.එය ඇගේ නිර්භයත්වය පෙන්නුම් කරයි.මන්ද මෙහි බොබ් කට් එකක් සහිත වීම යනු මාඕවාදී වීමකි.දුටු තැන වරෙන්තු රහිතව මරා දැමීම සදහා පොලිසියට එය උවමනාවටත් වඩා වැඩි සාක්ෂියකි.2005 රින්කිගේ ගම්මානයට නාග බැටැලියනය සහ සල්වා ජුදුමය කඩා වැදුන අතර ඒ කාලයේ ඇය ගමේ මිලිටරි අංශයේ වැඩ කරමින් සිටියාය.ඇගේ මිතුරියන් වූ සුක්කි හා ලුක්කිද එසේම විය.මොවුහු සියල්ලෝ මහිලා සංගමයේද සාමාජිකත්වය දැරූහ.ගම ගිනිබත් කල ඉක්බිති බැටෑලියනය ලුක්කි හා සුක්කිව අල්ලාගත් අතර තවත් දැරියක ද ඇතුලු ඔවුන් තිදෙනාම රංචු ගැසී දූෂනය කල සෙබලු ඉක්බිති ඔවුන් මරා දැම්මාහ."ඔවුන්ව දූෂනය කරනව මට දකින්න ලැබුන.ඒක උනේ තනකොල ගොල්ලක් උඩ"රින්කි කියයි." ඒත් සියල්ල ඉවර වෙද්දි තවදුරටත් කිසිම තනකොලයක් ඉතිරි වෙලා තිබුනේ නැහැ"නාග බැටැලියනය ඉවත්ව ගොස් මේ වනවිට වසර ගනනාවකි.නමුත් පොලිසිය තවමත් පැමිනෙයි.
"ඔවුන්ට කුකුලන් හෝ ගැහැනුන් අවශ්‍ය වූ විට ඔවුන් කිසිදු විමසීමක් නැතිව නැවත නැවත එනවා"

අජිතා ද බොබ් කට් එකක් සහිතය.ජුදුමය ඇගේ ගම අසලට පැමින තිදෙනෙකුව දියේ ගිල්වා මරා දැම්මේය.අජිතා මිලිෂියාවේ වැඩ කල අතර පාරාල් නාර් නැමැති ගම්මානය දක්වා ජුදුමය සිදු කරන ක්‍රියා නිරික්ෂනය කිරීමේ අවස්ථාව ලැබුවාය.මිනිසෙකුගේ උගුරට වෙඩි තබා ඔහුව මරා දමන ආකාරයත් කාන්තාවන් සය දෙනෙකු දූෂනය කෙරෙන ආකාරයත් ඇය දුටුවාය.

සුන්දර ගැහැනු ලමයෙකු වන ලක්ෂ්මි සහෝදරිය ජුදුමය විසින් සිය ගමේ ගෙවල් 30 ක් ගිනි තබා විනාශ කරන ආකාරය දුටු අයුරු මට විස්තර කලාය."අපිට ඒ කාලේ ආයුද තිබුනෙ නැහැ" ඇය කීවාය." බලාගෙන ඉන්නව හැර විකල්පයක් තිබුනෙත් නැහැ"
ඉක්බිති නොබෝ කලෙකින් ඇය ගරිල්ලා හමුදාවට එකතු වූවාය.2007 නයාගර් සිට ඔරිස්සා දක්වා මාස තුන හමාරක් තිස්සේ ඇවිද ගිය 150 ක භට පිරිස අතර ඇයද වූවාය.මෙම භට පිරිස පොලිස් ආයුද ගබඩාවක් වැටලූ අතර රයිෆල් 1200 ක් සහ පුපුරන ද්‍රව්‍ය අති විශාල තොගයක් තමන් සතු කර ගත්හ.

සුමිත්‍රා සහෝදරිය ගරිල්ලා හමුදාවට සම්බන්ධ වන්නේ 2004 දීය.ඒ සල්වා ජුදුමය සිය භීෂන ක්‍රියා ආරම්භ කිරීමට පෙර කාලයයි.තමා ගරිල්ලා හමුදාව සමග එකතු වූයේ නිවෙසින් පලා යාමට තිබූ අවශ්‍යතාවය මත බව ඇය කියයි.”ගැහැනුන්ව සෑම ආකාරයටම පාලනය කෙරෙනවා”ඇය මට කීවාය.අපේ ගම්මානයේදී ගැහැනු ලමයින්ට ගස් නගින්න අවසර නැහැ.එහෙම කලොත් රුපියල් පන්සියයක දඩයක් හරි කිකිලියක් හරි දෙන්න වෙනවා.පිරිමියෙක් ගැහැනියකට ගහන විට ඇය පෙරලා ගැහුවොත් ඇයට ගමට එලුවෙක් දඩ විදිහට දෙන්න වෙනවා.පිරිමි කදුකර ප්‍රදේශවල මාස ගනන් දඩයමේ යනවා.දඩයම් කල සතුන් ලගට යාමට ගැහැනුන්ට ඉඩ දෙන්නෙ නැහැ.හොදම මස් කොටස මේ නිසා හැමවෙලාවෙම ලැබෙන්නෙ පිරිමින්ට.ගැහැනුන්ට බිත්තර කෑම පවා තහනම්”

මහිලා සංගමයේ වැඩ කල තම මිතුරියන් දෙදෙනෙකු වූ පාර්වතී හා කමලා ගැන සුමිත්‍රා කියයි.පාර්වතී දකුනු බස්තාර් ප්‍රදේශයේ පොලේකයා ගමේ උපත ලද අයෙකි.එම ගමේ අනෙත් සියලු දෙනා මෙන්ම ඇයද තම ගම සල්වා ජුදුමය විසින් ගිනිබත් කරනු බලා සිටියාය.
ඉන්පසු ඇය ගරිල්ලා හමුදාවට බැදුනාය.2009 ඇය සහ කමලා මාර්තු 8 දින කාන්තා දින සැමරුමක් තමන් වැඩ කල ප්‍රදේශයේ සංවිධානය කලා පමනි.වද්ගෝ නම් ග්‍රාමයෙන් පිටත කුටියක ඔවුහු රෑ ලැගුම් ගෙන සිටියහ.පොලිසිය රැයේ පැල වට කල අතර වෙඩි තබන්නට විය.කමලා පෙරලා වෙඩි තැබුවාය.නමුත් අවසානයේ තුවාල ලැබ එතනම මිය ගියාය.වෙඩි වැදුනු පාර්වති පලා යාමට සමත් වූවත් පසුව ඇගේ මල සිරුරද වනයේ තිබි හමුවිය.

ගිය වසරේ කාන්තා දිනයේදි සිදුවූයේ එයයි.‍මේ වසරේ කාන්තා දිනය පිලිබද පලවූ පුවත්පත් වාර්තාවක් මෙසේය.

බස්තාර් හි කැරලිකරුවෝ කාන්තා අයිතින් වෙනුවෙන් පිතිහරඹයේ යෙදෙති
සහර් ඛාන් mail today රායිපූර් 2010 මාර්තු 07


මාඕවාදි ව්‍යසනය මැඩපැවැත්වීමට රජය සියලු පියවර ගෙන ඇතිවා විය හැක.නමුත් චත්තිස්ගාර්හි කැරලිකරුවන්ගෙන් කොටසකට ස්වකීය පැවැත්මටත් වඩා වැදගත් ප්‍රශ්න තිබෙනවා වැනිය.ජාත්‍යන්තර කාන්තා දිනය ලං වන පසුබිමක කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සදහා බස්තාර් ප්‍රදේශයේ මාඕවාදීන් සතියක් පුරා දිවෙන සැමරුම් මාලාවක් ප්‍රකාශයට පත්කොට තිබේ.බස්තාර් හි බිජාපූර් නගරය පුරා පෝස්ටර් ඇලවි ඇත.තමන් කාන්තා නිදහසේ වීරයන් බවට තමා විසින්ම ප්‍රකාශයට පත්කරගෙන තිබෙන මොවුනගේ හැසිරීම ප්‍රාන්ත පොලිසියේද විස්මයට හේතු වී තිබේ.බස්තාර්හි ඉන්ස්පෙක්ටර් ජෙනරල්වරයා වන ටි.ජේ.ලොන්ග්කුමාර් පවසන පරිදි "ප්‍රචන්ඩත්වය සහ ලේ වැගිරීම ආගම කරගත් නැක්සලයිට්වරුන්ගෙන්  මෙවැනි ව්‍යාපෘතියක් මා දුටු පලමු වතාව මෙයයි"

වාර්තාව දක්වන පරිදි පොලිස් නිලධාරියා තවදුරටත් මෙසේ කියයි.

"මම හිතන්නෙ මාඕවාදීන් අපගේ අති සාර්ථක මහජන අවදිකිරිමේ ව්‍යාපාරයට විරුද්ධ ව්‍යාපෘතියක් විදිහටයි මේක කරන්නෙ.අපි එම ව්‍යාපාරය ආරම්භ කලේ ග්‍රීන් හන්ට් මෙහෙයුමට අවශ්‍ය ජන සහයෝගය ලබාගැනීමට.එහි අවසන් අරමුන අති වාමවාදී අන්තවාදය සහමුලින් පරාද කිරීමයි"

අනව‍බෝධයේ සහ ද්වේශයේ මෙම අපූර්ව මිශ්‍රනය අසාමාන්‍ය වූවක් නොවේ.මෙවැනි උදාහරන ගනනාවක් පක්ෂයේ ප්‍රකාශකයා වන ගුද්සා උසෙන්දි දනී.ඔහුගේ කුඩා පරිගනකය සහ එම්පී 3 ධාවකය මාධ්‍ය නිවේදන,ප්‍රතික්ෂේප කිරීමේ නිවේදන,නිවැරදි කිරීමේ නිවේදන,පක්ෂ සාහිත්‍යය,මිය ගියවුන්ගේ ලැයිස්තු,රූපවාහිනි දර්ශන හා වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපාංග වලින් පිරී පවතී."ගුද්සා උසෙන්දි වීමේ නරකම හරිය" ඔහු කියයි."නරකම හරිය තමයි කවදාවත් පල නොවෙන නිවැරදි කිරීමේ නිවේදන යවන එක.අප ගැන කියන බොරු පිලිබද පැහැදිලි කරන එවැනි පල නොවූ නිවේදන සහිත වෙනම පොතක් වුනත් හදන්න ඇහැකි"ඔහුගේ කටහඩ තුල කනගාටුවක් හෝ කලකිරීමක් නැත.තිබෙනුයේ මද හාස්‍යයකි.

"ඔබ ප්‍රතික්ෂේප කල වඩාත්ම පදනම් විරහිත චෝදනාව කුමක්ද?"

ඔහු කල්පනා කරයි."2007 දී ‘Nahin bhai, hamne gai ko hathode se nahin mara ( නැත මිත්‍රය.මිටියෙන් ගසා ගවයන් මරා දැමූයේ අප නොවේ ) යන හිසින් අපිට නිවේදනයක් නිකුත් කරන්න සිද්ද වුනා.2007 රාමන් සිං ආන්ඩුව තමන්ගේ මැතිවරන පොරොන්දුවක් අනුව ගව ව්‍යාපෘතියක් පටන්ගත්තා.හැම ආදිවාසියෙක්ටම එක ගවයා බැගින් කියන එකයි ඒකෙ ‍තේමාව වුනේ.එක් දවසක රූපවාහිනී චැනල සහ පුවත්පත් වල වාර්තා පල වුනා නැක්සලයිට්වරු මිටි වලින් පහර දී මෙම ව්‍යාපෘතියේ ගවයන් සමූහ වශයෙන් ඝාතනය කොට තිබෙන බව.නැක්සලයිට්වාදය හින්දු විරෝධී සහ බීජේපී විරෝධී විම ‍මීට හේතුව බවයි ඔවුන් පැවසුවේ.හින්දු බහුතරය ඉන්න රටක මෙවැනි ගව ඝාතනයක් - ප්‍රතිඵලය කෙසේ වන්නට ඇද්දැයි ඔබට සිතා ගත හැකියි නේද?‍අපි වහාම ‍චෝදනාව ප්‍රතික්ෂේප කලා.නමුත් කිසිතැනක එය පලවුනේ නැහැ.පසුව හෙලිදරවු වුන පරිදි ගවයන් බෙදාහැරීමට භාර වූ පුද්ගලයා අවස්ථාවෙන් උපරිම වාසි ලැබුව බව වාර්තා වුනා.ඔහු ගවයන් විකුනා දමා නිදහසට කරුන විදිහට අප අවුත් උන් පැහැරගෙන ගිය බව කියන්නට වුනා"

නමුත් මෙයටද වඩා බරපතල දැ සිදුව තිබේ.

"තව දුසිම් ගනන් සිද්දි තිබෙනව.සල්වා ජුදුමය පිහිටවූ මුල් කාලයේ ඔවුන් අම්බේලි නම් ග්‍රාමයට පහර දිල එය ගිනිබත් කරල කොට්‍රාපල් කියන ගම වෙත ගමන් කරන්නට වුනා.නාග බැටැලියනය,පොලිසිය.විශේෂ පොලිස් භටයන් - මේ සියල්ලන් ඒකාබද්ධව.ඔබ කොට්‍රාපල් ගැන අහල තියෙනවද?එය සුවිශේෂී ගම්මානයක්.යටත් වීම ප්‍රතික්ෂේප කල නිසා 22 වතාවක් එය ගිනිතබනු ලැබුවා.නමුත් මේ පාර ජුදුමය ගම වෙත ලගාවෙද්දි ග්‍රාමාරක්ෂක මිලිෂියාව සූදානමින් සිටියා.ඔවුන් වටකොට පහර දීමක් සූදානම් කලා.විශේෂ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සටනේදී මිය ගියා.සත්දෙනෙක් අත්අඩංගුවට පත්වුනා.සෙසු අය පලා ගියා.නමුත් ඊලග දවසේ පුවත්පත් වල පලවුනේ වෙනම කතාවක්.ඒ අනුව නක්සලයිට්වරු අසරන ආදීවාසීන් කපා කොටා මරා දමා ඇති බවට ප්‍රකාශ වුනා.සමහරු අපි සියගනනක් මරා දැමූ බව පැවසුවා.frontline වැනි ගෞරවනීය සගරාවක පවා අපි ආදිවාසින් 18 ක් මරා දැමූ බව පලවුනා.කරුනු පිලිබද දැඩි ලෙස සුපරික්ෂාකාරී වන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් වෙන කේ.බලගොපාල් පවා මෙය පුනරුච්චාරනය කලා.අපි නිවැරදි කිරීමේ නිවේදනයක් යැවුවා.නමුත් කිසිතැනක නැහැ පලවුනේ.පසුව තමන්ගේ කෘතියක බලගොපාල් තමන්ට මේ සම්බන්ධයෙන් වැරදීමක් සිදුව තිබුනු බව පිලිගෙන තිබුනා.නමුත් ඒ වෙනකොට සියල්ල අවසානයි.කවුද ඒව අවධානයට ගන්නෙ?"

අල්ලා ගත් සත්දෙනාට කුමක් වීදැයි මම ඇසීමි.
"ප්‍රාදේශිය කමිටුව මහජන උසාවියක් කැදෙව්වා.මිනිස්සු හාරදාහක් පමන ඊට සම්බන්ධ වෙලා හිටියා.මුලු කතාවටම ඔවුන් ඇහුම්කන් දුන්න.විශේෂ පොලිස් නිලධාරින් දෙදෙනාට මරන දඩුවම නියම වුනා.තවත් පස් දෙනෙක්ට අවවාද කොට යන්න දිය යුතුයි කියා තීන්දු වුනා.තීරනය ගත්තෙ මිනිස්සු.අද විශාල ප්‍රශ්නයක්ව තිබෙන ඔත්තු සපයන්නන් පිලිබද පවා නඩු විභාග පැවැත්වෙනවා.මිනිස්සු ඔවුන‍්ගේ පාපොච්චාරන,කතා වලට සවන්දෙනවා.Iska hum risk nahin le sakte (අප මේ අය විශ්වාස කිරීමේ අවදානම භාර ගැනීමට සූදානම් නැත්තෙමු)’,හෝ ‘Iska risk hum lenge ( අප මේ අය විශ්වාස කරමු.අවදානමක් ගන්නෙමු) කියන තීරන දෙකෙන් එකකට ඔවුන් එලඹෙනවා.මාධ්‍ය හැම වෙලාවෙම මරා දැමෙන ඔත්තුකරුවන් ගැන පමනයි ප්‍රකාශ කරන්නේ.නමුත් නිදහස් කෙරෙන ඊට වඩා වැඩි ගනන ගැන කතා කෙරෙන්නෙ නැහැ.මෙය පලිගැනීමක් නෙමෙයි.මෙය පැවැත්ම සහ අනාගත ජීවිත ආරක්ෂා කිරිම පිලිබද ප්‍රශ්නයක්.අපි දන්නවා ගැටලු තිබෙනවා.අපි අතින් වැරදි වෙලා තිබෙනව.පොලිස් නිලධාරින් කියන වැරදි වැටහීම උඩ වටලා පහරදීම් වලදී අපි අතින් වැරදි පුද්ගලයන්ව ඝාතනය වුන අවස්ථා නැතිවා නෙමෙයි.නමුත් එය සැම විටම මාධ්‍ය වල පින්තාරු කෙරෙන ආකාරයේ ගොරතර චිත්‍රයක් නෙමෙයි"

රුධිර පිපාසිත "මහජන උසාවි".අප ඒවා පිලිගත හැක්කේ කෙසේද?යුක්තිය පසිදලීමේ මෙම රලු ආකාරය අප අනුමත කල යුතුද?

නමුත් අනිත් අතට පොලිස් නිලධාරින් වෙත පදක්කම්,මුදල් ත්‍යාග සහ උසස්විම ගෙන දෙන වැටලිම් සහ එම වැටලිම් වලදී කෙරෙන ක්ෂනික ඝාතනයන් පිලිබද තත්වය කුමක්ද? මෙම පොලිස් නිලධාරින්,ඔවුන් විසින් මරා දමන මාඕවාදීන් ප්‍රමානය වැඩි වනවාට සමානුපාතිකව ඔවුන් ලබන ත්‍යාග ප්‍රමානය ඉහල යයි.ඔවුන් මෙහෙයුම් විශේෂඥයන් සහ  නිර්භීත සොල්දාදුවන් ලෙස අභිෂේක කෙරේ.එබදු වැටලීම් වලදී කෙරෙන මරා දැමීම් ප්‍රශ්න කරන අප වැන්නවුන් ජාතිභ්‍රෂ්ටයන් ලෙස හංවඩු ගැසේ.
මොහොමඩ් අෆ්සාල් ( 2001 දෙසැම්බර් පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයේ සැකකරු ) මරනීය දන්ඩනයට යටත් කල ශ්‍රේෂ්ඨාධිකරනය ගැන කුමක් කිව යුතුද?ඔහු වැරදිකරු බව තීරනය කිරිමට ප්‍රමානවත් සාක්ෂි නොමැති බව පිලිගත් නමුත් "සමාජයේ සාමූහික විඥානය සන්සුන් කිරීම සදහා විත්තිකරු වෙත මරනීය දන්ඩනය පැනවීම හැර අන් විකල්පයක් නැත"යන පදනම මත අධිකරන එහිදි සිය තීන්දුවට එලඹුනේය.

කොට්‍රාපල් හි මහජන උසාවිය පිලිබද කරුනේදී අඩුම තරමින් "සාමූහික ජන විඥානය" තීරනය ගැනීමෙහිලා ‍භෞතිකව සම්බන්ධ වූවා යැයි කිව හැක.එය සාමාන්‍ය සමාජය සමග සබදතාවය සෑහෙන කලකට පෙර බිදගෙන සිටින,නමුත් ජන විඥානය වෙනුවෙන් කථා කිරීමට තමනට අයිතියක් තිබේ යැයි කල්පනා කරන "උගත්" විනිශ්චයකාරවරුන් කිහිපදෙනෙකු විසින් ගනු ලැබූ තීරනයක් නොවේ.

හැරත් කොට්‍රාපල් ජනතාව වෙන කුමක් කල යුතුද?මම සිතමි.අල්ලාගත් පිරිස පොලිසිය වෙත භාර දීම?
මෙය සත්‍ය වශයෙන්ම විකාරයකි.

2 comments:

  1. අද තමයි සේරම ලිපි ටික කියවන්න ලැබුනේ.අපූරු වටිනා පරිවර්තනයක්.පුංචි යෝජනාවක් කරන්නම්.බ්ලොග් පාඨකයන්ට විතරක් මේ ලිපි බැලීමේ අවස්ථාව ලැබීම පොඩි අඩුවක්.මේක පහු කාලෙක හරි පොතක් විදියට පල කලොත් නරකද?

    ReplyDelete
  2. @ sithuwilimandiya

    යෝජනාවට ස්තුතියි.බ්ලොග් එකකට සීමා වෙන එක අඩුවක් තමයි.ඒත් පොතක් වගේ දෙයක් කොයි තරම් ප්‍රායෝගිකද කියන ගැටලුව තිබෙනවා.කොහොමත් විකල්ප විධියක් ගැන අවධානය යොමුකරමිනුයි තිබෙන්නේ

    ReplyDelete